Print this Article


උත්සාහය සහ අධිෂ්ඨානය

උත්සාහය සහ අධිෂ්ඨානය

මහා සීව නමින් ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ උත්සාහයෙන් වීර්යය වඩා, භාවනා කළා. මෙසේ සත් වසරක් ගත වුණා. තවත් වසර පහක් උත්සාහයෙන් ගත කළා. මෙසේ වසර 12 ක්ම ගතවුණා. භාවනායෝගීව ගත කරද්දී ම 12 වන වසරේ දී පාදයේ පතුල පැලී ගොස් වේදනාවට පත් වුණා. පතුල් පැලී ගිය ද තම උත්සාහය අත් නො හළ මහා සීව තෙරුන් වහන්සේ දෙ දණින් ඇවිදිමින් සක්මන් භාවනාවේ යෙදුණා.

පසුව දෙ දණ ද පැලී ගියා. මේ අවස්ථාවේ දී උන්වහන්සේ හඬමින් ගසක් පාමුල වැඩ සිටියා. අසවල් පුද්ගලයා රහත් වුණා. අනේ මට තවමත් රහත් ඵල ලැබුණේ නැතැයි දුක්වන්නට වුණා. මෙහිදී ඒ අසල දේවතාවෙක් ද හඬන්නට වුණා. මේ ශබ්දය වෘක්ෂය දෙසින් පැමිණි නිසා මහා සීව තෙරුන් ඒ ගැන අවධානය යොමු කරන්නට වුණා. එවිට ස්වාමීන් වහන්සේ 'මේ ගසේ සිට අඬන්නේ කවුදැයි' විමසුවා. ස්වාමීනි, මම වෘක්ෂ දේවතාවා වෙමි. මට ද මාර්ග ඵලයක් ලැබේවා'යි පතමින් මමත් හඬනවා යැයි පවසන්නට වුණා.

මෙය තදින්ම මහා සීව තෙරුන්ගේ සිත්හි තැම්පත් වුණා. මේ නිසා ම උන්වහන්සේ දැඩි අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන් සිය නුවණ දියුණුවෙන් භාවනාව අරඹා නොබෝ වේලාවකින් ම අරහත් ඵලය ලබා ගන්නට හැකියාව ලැබුණා.

සම්මා වායාමය මෙයට ඉතාම වැදගත් වුණා. සම්මා යනු උතුම්, ශ්‍රේෂ්ඨ, යහපත්, පිරිසුදු, නිවැරැදි, ලෙස හැඳින්විය හැක. එනම් යහපත හා නිවැරැදි උත්සාහය යි. ඒ අනුව දස සංයෝජන නිදහස් කිරීමට, පංචකාම තෘෂ්ණාව දුරුකරලීමට, කාමාශව, දිට්ඨාශව, භවාශව ආදී වූ ආශ්‍රව දුරුකරලීමටත් වීර්ය වැඩීම ඉතාම වැදගත් කොට සැලකිය යුතු වෙයි.

උට්ඨාන වීර්ය, සම්‍යග් ප්‍රධාන වීර්ය, විරිය සංබොජ්ඣංගය, විරිය සෘද්ධිපාද, වීර්ය පිළිබඳ කියැවෙන ඉගැන්වීම් අතර ප්‍රධාන වේ.

නිර්වාණ අවබෝධය තෙක් උත්සාහය අත්නොහළ මහා සීව තෙරුන් වහන්සේ ආදර්ශකොට අපගේ ජීවිත ද උත්සාහයෙන් වීර්යෙන් යුතුව සකසා ගැනීම සිදුකළ යුතු හා අතපසු නොකළ යුතු කාර්යයකි.