සුගතිය ගැන හිතමු
පොල්පිටිමුකලානේ
පඤ්ඤාසිරි හිමි
මෙම ලිපියේ
පළමු කොටස
ඉල්පුර පසළොස්වක පෝදා (12වැනිදා) පත්‍රයේ පළවිය.
බුද්ධදාස රජතුමා සැම විටම අන් අය කෙරෙහි පුදුම කරුණාවකින් කටයුතු කළා. මේ උතුම්
රජදරුවෝ මුදල් උපයාගන්නට, ලාභ සත්කාර ලබා ගන්නට, බවභෝග සම්පත් වැඩිකර ගන්නට වැඩකළ
අය නොවෙයි.
තවත් දවසක මනුස්සයෙක් කලබලයෙන් මැඩිබිජු සහිත වතුර පානය කිරීම නිසා ඔහුගේ නාස්
සිදුරෙන් ජලයත් සමඟ මැඩි බිජුවක් මොළයට ගියා. ඒ මැඩි බිජුවෙන් මැඩියෙක් උපන්නා.
මැඩියා වැසි දිනවලදී හිස්මොළ තුළ ඇවිදිනවා. එවිට මිනිසාට බලවත් වේදනාවක් හටගන්නවා.
රජතුමා ඒ මිනිසාගේ හිස්කටුව බැහැර කර අර මැඩියා ඉවත් කර ඖෂධ බලයෙන් හිස් කබල එකට
පුරුද්දා සැණෙකින් ප්‍රකෘතිමත් බවට පත්කළ බව ජනශ්‍රැතිවල සඳහන් වෙනවා.
වෙද මැදුර
බුද්ධදාස රජතුමා ලක්වැසියන්ගේ යහපත පිණිස සෑම ගමක් පාසා වෙද මැදුරු කරවූවා. එහි
සේවයට දක්ෂ වෛද්‍යවරු පත් කළා. සියලු වෛද්‍ය ශාස්ත්‍රයන්ගේ සාරවත් අර්ථ කැටිකර
සාරාර්ථ සංග්‍රහය නමින් මහා වෛද්‍ය ග්‍රන්ථයක් සම්පාදනය කළා. සෑම ගම් දහයකටම එක්
විශේෂඥ වෛද්‍යවරයකු බැගින් පත්කළා. වෛද්‍යවරුන්ගේ ජීවන වැටුප් පිණිස කෙත් විස්සක
ආදායමෙන් භාගයක් දුන්නා. ඇත්, අස් බල සේනාවට ප්‍රතිකාර පිණිස වෛද්‍යවරු පත්කළා.
අන්ධ පුද්ගලයන්ට අදාළ ස්ථානවල ශාලාව තනවා ආහාරපාන ලබා දුන්නා. මහජනයාගේ විවේකය
උදෙසා මහාමාර්ගයේ විවේකශාලා කරවූවා. ධර්මදේශකයන් වහන්සේලාට සත්කාර කර නිතර ධර්මය
ශ්‍රවණය කළා. ධර්මදේශකයන් වහන්සේලාට වියදම් ලබා දුන්නා. එමෙන්ම මාලිගයෙන් බැහැරවයන
විට ඕනෑම තැනකදී ශල්‍යකර්ම කිරීම සඳහා රජතුමා ආයුධ මිටියක් සහ ඖෂධ උතුරු සළුව යට
ඉනේ රඳවාගෙන සිටියා. රෝගීව දුකින් පෙළෙන ජනයා දුටු තැන්හි ඒ අය රෝගී දුකින් නිදහස්
කළා.
දවසක් රජතුමා රාජාභරණයෙන් සැරසී සේනාව සමග ගමන් කරමින් සිටින විටදී එක්තරා කුෂ්ඨ
රෝගියෙක් රජු කෙරෙහි කිපී දෑත් පොළවේ ගසමින් නොයෙක් අයුරින් රජුට නින්දා අපහාස කළා.
රජු මෙය දැක මෙසේ කල්පනා කළා. මම කිසිවකුටත් වරදක් කර නැහැ. එහෙනම් මෙයා මේ ආත්මයේ
නොව පෙර ආත්මයේ මා සමඟ වෛර බැඳගත් අයකු විය යුතුයි. මා මේ වෛරය සන්සිඳුවා ලන්නට
කටයුතු කළ යුතු යැයි කල්පනා කළා. අපේ ජීවිතවලට විවිධ පුද්ගලයන් හමුවෙනවා. අපිට වෛර
කරන පුද්ගලයාට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කරනවා. නමුත් මෙතුමා තමන්ට එරෙහිව
වෛර සිතින් පැමිණි පුද්ගලයා දමනය කරගත් ආකාරය බලන්න. මෙය ලෝකවාසී සියලු දෙනාටම හොඳ
උදාහරණයක්.
රජතුමා චරපුරුෂයෙක් යොදවා කුෂ්ඨ රෝගියාගේ හැසිරීමට හේතුව දැනගන්න කිව්වා. චර
පුරුෂයා කුෂ්ඨ රෝගියාගේ යහළුවකු සේ ගොස් ‘මිත්‍රය ඔබ කුමන කරුණක් නිසා රජතුමා සමඟ
මේ තරම් කේන්තියෙන් පසුවන්නේ දැයි විමසුවා. ඔය බුද්ධදාසයා මගේ දාසයෙක්. පෙර කළ
පිනක් නිසා දැන් රජ වී සිටිනවා. ඇත් රජු පිටින් මාගේ ඉදිරියෙන් ගමන් කරන්නේ මට
අවමන් කිරීමටයි. ඒ නිසා බුද්ධදාසයා මා සිටින දෙසට පැමිණියොත් දාසයන්ට කරන සියලු
නිග්‍රහය කර මම කවුරුන්දැයි පැහැදිලි කර දෙනවා. චරපුරුෂයා මේ සියලු තොරතුරු රජුට
පැවසුවා.
උපායශීලීව
අනිවාර්යයෙන්ම මේ පුද්ගලයා පෙර ආත්මයක මාගේ වෛරක්කාරයෙක් බව රජතුමාට අවබෝධ වුණා. මේ
වෛරය දුරුකරන්න උපායශීලීව කටයුතු කළ යුතු ආකාරය පහදා දීලා චරපුරුෂයා කුෂ්ඨ රෝගියා
වෙත පිටත් කළා. ඉන් පසු මිත්‍රයෙක් ලෙසින් කුෂ්ඨ රෝගියා වෙත පැමිණිලා මෙසේ පැවසුවා.
බුද්ධදාස රජු විනාශ කිරීමට මා බොහෝ කාලයක සිට උත්සාහ කරනවා. ඒත් කවුරුත් මට ඒකට
උදව් කරන්නේ නැහැ. අපි දෙදෙනා එකතු වී රජු විනාශ කරමු. අපේ ගෙදර ගොස් ඒ සඳහා අවශ්‍ය
සැලසුම් සූදානම් කරමු. තව දින කිහිපයකින් අපට රජු මරණයට පත් කරන්න පුළුවන් වෙයි’
කිව්වා. ඉන්පසු කුෂ්ඨ රෝගියා නිවසට කැඳවාගෙන විත් හොඳින් නහවා සුවඳ විලවුන් ගල්වා
සිනිඳු සළුපිලි අන්දවලා රසමසවූලින් යුත් ප්‍රණීත බොජුන් වළඳවා යොවුන් කාන්තාවන්
වෙතින් ආදරය ලබාදී හොඳම පිළි අතුරන ලද යහන්වල නිදන්නට සැලැස්වූවා. දැන් මේ කුෂ්ඨ
රෝගියා පිනා ගිය ඉඳුරන් ඇතිව සැපවත් ව සිටිනවා.
අර පුරුෂයා කෙරෙහි බොහෝ විශ්වාසය ඇතිවෙලා දිනක් චර පුරුෂයා කිව්වා තොපට මේ සියලු
සැප සම්පත් ලබා දුන්නේ රජතුමා කියලා. එහෙත් ඔහු එය පිළිගත්තේ නැහැ. කිහිපවතාවක් ම
ප්‍රතික්ෂේප කළත්, අර පුරුෂයාගේ ඇවටිල්ල නිසාම පිළිගත්තා. මේ ලෙසට ක්‍රම ක්‍රමයෙන්
ඔහුගේ සිතේ රජු කෙරෙහි තිබූ වෛරය දුරු වුණා. විශ්වාසයක්, පැහැදීමක් ඇතිවුණා. දිනක්
ඒ පුරුෂයා “රජු මියගියා” කියල පැවසුවා. ඒ අවස්ථාවේ හටගත් මහා ශෝකයකින් ඔහුගේ පපුව
පැලී මිය පරලොව ගියා. මෙන්න මේ ආකාරයට බුද්ධදාස රජතුමා මනසේ හටගන්නා රෝගවලට
ප්‍රතිකාර කළා.බුද්ධදාස රජතුමා බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් බොහෝ කටයුතු සිදු
කළා.
සිව්පසය
එතුමා විසින් විසිපස් රියනක් උස මධුර නම් පිරිවෙනක් කරවූවා. සමනගම, ගෝනපාළුගම නම්
ගම්මාන ඒ පිරිවෙන්වල වියදමට පූජා කළා. ධර්ම දේශනා පවත්වන භික්ෂූන් වහන්සේ උදෙසා
කැපකරුවන් ලබා දුන්නා. සිව්පසය ලබාදෙන විහාරයන් පිරිවෙන් කරවා දන්සැල්, ප්‍රතිමා,
මන්දිර කෙරෙව්වා. ධාතුසේන රජතුමාගේ කාලයේ දී ම සූත්‍ර පිඨකය සිංහල භාෂාවට පරිවර්තනය
කළා. මේ රජතුමාට අභීත, ශූරවීර පින්වත් පුත් කුමාරවරු අසූ දෙනෙක් සිටියා. අසූමහා
ශ්‍රාවකවරුන්ගේ නම් තමයි ඒ කුමාරවරුන්ට දාල තිබුණේ. බොහොම දැකුම්කළුයි. වැඩිමහල්
පුතාගේ නම සාරිපුත්ත. මේ ආකාරයෙන් වසර විසිනවයක් උතුම් ලෙස රාජ්‍ය පාලනය කළ
බුද්ධදාස රජතුමා මියගොස් දෙව්ලොව උපත ලැබුවා. ඉන්පසු එතුමාගේ වැඩිමහල් පුත්
සාරිපුත්ත කුමාරයා උපතිස්ස නමින් රජකම ලබාගත්තා.
විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන වගකිවයුතු පිරිස බුද්ධදාස රජතුමාගේ
විශිෂ්්ට මෙහෙවර, උදාර ගුණ අවබෝධ කරගෙන ආදර්ශමත් ලෙස කටයුතු කිරීම ඉතා වැදගත්. අප
ධාර්මිකව රට පාලනය කළොත්, ධාර්මිකව ජීවත් වුණොත් අපට සුගතිය හිමිවෙනවා. අප පාප කාරී
ලෙස ජීවත් වුණොත් දුගතිය හිමිවෙනවා. ඒ නිසා හොඳින් පින්දහම් කරගෙන සුගතිගාමී වී සසර
දුකින් නිදහස් වීමට අධිෂ්ඨානය කරගනිමු. ඔබ සැමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ
වේවා.
-
අයන්ති විතාන |