සම්මා සංකප්ප
හෝමාගම පුරාණ විහාරාධිපති
පළාත් සහකාර අධ්‍යාපන අධ්යක්ෂ (පිරිවෙන්)
මාදෝවිට
වජිරබුද්ධි හිමි
නිවැරැදි දෘෂ්ටිය සමඟ ඊළඟට පහළවන්නේ යහපත් සංකල්පනාවන් ය. මෙය අරි අටඟි මඟේ හඳුන්වා
ඇත්තේ සම්මා සංකප්ප යනුවෙනි. අපේ බුදුහාමුදුරුවන්ට යහපත් සංකල්පනා පිළිබඳ අදහස පහළ
වූයේ එය මිනිසාගේ චෛතසික විප්ලවයකට තුඩු දෙන නිසාවෙනි. බුදුරදුන් පහළවන විට බොහෝ
සාමාජික පිරිස් මිථ්‍යා වැරැදි සංකල්පනා තුළ එල්බ ගෙන සිටියහ. ඒ නිසා සමාජයේ බොහෝ
වැරැදි ක්‍රියාකාරකම් සිදු විය. සංකප්ප යන වචනය නිතරම චේතනා හෙවත් සිතිවිලි සමඟ
බද්ධ වේ.
මිනිස් චේතනා නපුරු වන විට සිත කය වචන තිදොරම නපුරු ක්‍රියාකාරකම්වලට ගොදුරු වේ. ඒ
නිසා සම්‍යග් සංකල්පනා නිතරම තමන්ටත් අනුන්ටත් හිත සුව පිණිස පවතී. අපේ සංකල්පනා
වැරැදි වූ විට අපට පසුතැවීමට සිදුවේ. අනුනට ද පසු තැවීමට සිදුවේ.
මජ්ක්‍ධිම නිකායේ සාලෙය්‍යක සූත්‍රයේ කාය සමාචාර, වාග් සමාචාර, මනෝ සමාචාර යනුවෙන්
යහපත් ක්‍රියාකාරකම් හඳුන්වා ඇත. එසේ ම වැරැදි මාවතට යොමුවන තුන්දොර කාය විෂමාචාර,
වාග් විෂමාචාර සහ මනෝ විෂමාචාර යනුවෙන් හඳුන්වා ඇත. බුදුරදුන් සම්මා සංකප්ප ඔස්සේ
ආර්ය මාවතේ පෙන්වා වදාළේ යහපත් ක්‍රියාකාරකම් විෂයෙහි පුද්ගල බලපෑම සහ
ක්‍රියාකාරිත්වය පදනම් වන ආකාරයයි. වැරැදි මිථ්‍යා සංකල්ප තුනක් පිළිබඳව බුදු දහම
හඳුන්වා දී ඇත. ඒ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප යනුවෙනි.
සමාජය වැරැදි මාවතට ඉතා ඉක්මනින් ගොදුරු වේ. එය මිනිස් ස්වභාවයයි. කාම, ව්‍යාපාද,
විහිංසා සංකල්පය වටහාගත් විට අපට උරුම වූ අප විසින් ගමන් කළ යුතු සංකල්ප කවරේදැයි
තේරුම්ගත හැකි ය.
කාම සංකල්ප නිරතුරුව ම පංච ඉන්ද්‍රියන් සමඟ බද්ධ වී පවතී. ඇස, කන, නාසය, දිව, ශරීරය
නැතිනම් චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා කාය යනු පංච ඉන්ද්‍රියන් වේ. මේවාට අනු පිළිවෙළින්
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන ඒවා ගොදුරු වේ. මේ තුළ ද විද්‍යමාන වන්නේ හේතුඵල
සංකල්පයයි. කාම සංකප්ප නිසා ඡන්දරාගය ඇතිවේ. කාමච්ඡන්දය පහළවේ. කාම වස්තූන්ට
ගොදුරුවීම, ඒවාට ආශා කිරීම, පංචඉන්ද්‍රියන් පිනවීම කාම සංකල්පයයි. කාමච්ඡන්දය යනු
නිවන් මඟ අවුරුණු අරිය පර්යේෂණය සොයා ගිය දුෂ්කර ගමනේ දී කාමසුඛල්ලිකානු යෝගය ලෙස
දුටුවේ මෙම කාම සංකප්පයෝ ය. කාම සංකප්පය පාලනයකරගත නොහැකි වූ විට වස්තු කාමය ක්ලේශ
කාමය ජනිත වේ.
අප බුදුරදුන් වදාළේ කාම සංකප්පය වෙනුවට සංසාර දුක තරණය කිරීමේ මාවතේ දී අපට
පිහිටවන්නේ නෙක්ඛම්ම සංකප්ප බවකි. මෙය නෛෂ්ක්‍රම්‍ය සංකල්පය නමින් ද හැඳින්වේ.
නෙක්ඛම්මය දස පාරමිතාවලින් එකකි. බෝසත් සංකල්පයකි. ගුණාංගයකි. නෙක්ඛම්ම යනු නික්මීම
හා හික්මීම ය. ඇස, කන, නාසය ආදි පංච ඉන්ද්‍රියයන්ට ගොදුරුවන රූප, ශබ්ද, ගන්ධ ආදිය
පාලනය කිරීම, ඒවාට ගිජු නොවීම, ඒවාට වසඟ නොවීම නෙක්ඛම්ම සංකල්පනාවෝ වෙති. මෙහි දී
මෙම දහම් මාවතේ දී පුද්ගල ප්‍රභේදය වැදගත් වේ. පුද්ගලයෝ දෙදෙනෙකි. එනම් පුථුජ්ජන,
අරියසාවක යනුවෙනි.
පෘථජ්ජනයා යනු ඇසූ පිරූ තැන් නැති, ධර්මය නොදන්නා පුද්ගලයා ය. (අස්සුතාවා
පුථුජ්ජනො) ඇසූපිරූ තැන් ඇති, ධර්මය දන්නා වූ, ධර්ම මාර්ගයේ ගමන් කරන්නා අරිය සාවක
නම් වේ. (සුතවා අරියසාවකො) ගිහි, පැවිදි ආර්ය ශ්‍රාවකයෝ මෙන් ම පෘථජ්ජන ගිහි
පැවිද්දෝ ද සිටිති. ඇසින් රූපයක් දුටු පමණින් කාම සංකල්ප පහළ නොවේ. කනින් ශබ්දයක්
ඇසූ පමණින් කාම සංකල්ප පහළ නොවේ. ඇසින් රූප දැක එය නිමිති වශයෙන් ගැනීම, එහි ලා
ඡන්ද රාගය පහළ කර ගැනීම නිසා එය කෙලෙස් බන්ධනයක් බවට පත්වේයැයි මජ්ක්‍ධිම නිකායේ
සේල සූත්‍රයේ සඳහන්වේ.
ව්‍යාපාද සංකල්පය ද සිතිවිලි සහ ක්‍රියාකාරකම් දූෂණයට හේතුවන ප්‍රබල සාධකයකි.
ව්‍යාපාදය ද පංච නීවරණවලට මෙන් ම දස සංයෝජන ධර්මවලට ද අයත් නිසා ව්‍යාපාද
සංකල්පනාවල බරපතල ප්‍රතිඵල කොතරම් දුරට තමාට මෙන් ම සමාජයට ද හානිකර දැයි සිතා
විමසා බැලිය යුතු ය. කාම ලෝකයේ හැසිර පවතින චෛතසිකයක් වූ ව්‍යාපාදය, පටිඝ නමින් ද
හැඳින්වේ. සම්මා සංකල්ප යටපත්වී මිථ්‍යා සංකල්ප මේ නිසා ඉස්මතුවේ.
විහිංසා සංකල්පනා නිසා පංච දුශ්චරිතය සිදුවේ. ප්‍රාණඝාත අදත්තාදාන ආදිය සිදුකරමින්
අනුන් සතු ජීවිතය, සම්පත් උදුරා දමන්නේ විහිංසා සංකල්පය නිසාවෙනි. සිද්ධාර්ථ
බෝසතුන් සම්බුද්ධත්වය අවබෝධ කරගත්තේ මෙරමා සසර දුකින් මුදවා ගැනීමේ මහා කරුණාව මුල්
කරගනිමිනි. බුදු දහම කරුණා මෛත්‍රී පූර්වක දහමකි. සමානාත්මතාවය, සහජීවනය අගය කර ඇත.
තමන් උපමාකොට සිතා අන් අයගේ ජීවිත සුරක්ෂිත කිරීම අවධාරණය කර ඇත. විහිංසා සංකල්පය
වෙනුවට දයා කරුණා ගුණයෙන් පිරි අවිහිංසා සංකල්පනාවෝ තමාට මෙන් ම අන්‍යයන්ට ද හිතකර
වේ. කිළිටි වස්ත්‍රයක් මෙන් අපේ සිත නිතර අපවිත්‍ර වුවහොත් එය සංසාරගමනට බාධාවකි.
ක්‍රෝධය, වෛරය, පටිඝ ආදිය කිළිටිවස්ත්‍ර මෙනි. ලොව සදාකාලික ලෙස කල්පනා කරන
පුද්ගලයෝ භව තෘෂ්ණාවට ගොදුරු වෙති. කාම, ව්‍යාපාද, විහිංසා සංකල්පනාවෝ සමාජයේ
ඉදිරිගමනට බාධාවක් ම කරනු ඇත. වචනය භාවිත කරනවිටත්, ඔවුනොවුන් ප්‍රිය නෙතින්
බලමින්, සාමූහිකව ක්‍රියා කරලමින් ආලෝකයෙන් ආලෝකය කරා ගමන් කළ යුතු ය.
ව්‍යාපාද විහිංසා සංකල්පය එක සමාන්තර ව ගමන් ගන්නා සංකේත දෙකකි. කිපෙන සුළු වූයේ,
ශරීර දුර්වණවේ. යහපත් දේ පවා අයහපත් ලෙස සිතන්නේ ය. වහා කිපෙන සුලු පුද්ගලයා කයින්
හා වචනයෙන් ද වධයට පත්වේ. නින්දාවට පත්වේ. ක්‍රෝධය අනර්ථය උපදවන්නේ ය. ක්‍රෝධය
හිංසාව නිසා සමථ විදර්ශනාදිය නොවැටහේ. ලජ්ජාව බිය නැතිවේ. තම මවට, පියාට මෙන් ම
ඤාති හිතමිත්‍රාදීන් විෂයෙහි ද අවැඩ අයහපත කරන පුද්ගලයෙකු බවට පත්වන බව අංගුත්තර
නිකායේ කෝධන සූත්‍රයේ සඳහන්වේ. |