Print this Article


වස්සානයයි කඨින චීවර පූජාවයි 14:  කඨිනයෙහි අනුසස් නොබිඳිය හැකියි

කඨිනයෙහි අනුසස් නොබිඳිය හැකියි

පඨවි රිව න ජාතු කම්පතේ
න චලති මේරුරිවානි වායුනා
වජිරමි ව න භිජ්ජ තෙ ඝනං
තමිදමතෝ කඨිනත්ති වුච්චති

කඨින චීවර පූජාවේ ආනිශංස දැක්වෙන තැන ඉහත සඳහන් ගාථාව දක්වා ඇත. කඨිනයෙහි ආනිශංස මහ පොළව සේ ශක්තිමත් ය.

මහමෙර සේ කවර ආකාරයකින්වත්, මහ සුළි සුළඟකින් වත් සෙළවිය නො හැකි ය. දියමන්ති පර්වතයක් සේ කැඩී බිඳී යන්නේ නැත. එවැනි මහා ශක්තිමත් , ස්ථාවර, ශක්තිසම්පන්න කුසල බලවේගයක් කඨින පින්කමකින් ලැබෙන බව දක්වා තිබේ. කඨින යන වචනයේ අදහස ද නො බිඳිය හැකි, නො කැඩිය හැකි, විනාශ කළ නො හැකි බලවත්, සවිමත් ආනිශංස ලැබෙන බව ය. මෙතරම් ශක්තිමත් ආනිශංස රාශියක් කඨින පින්කමකින් ලබාදීමට හේතුව කුමක් දැයි යන්න දැනගත යුතු කරුණකි. කරුණු දෙකක් නිසා වෙනත් පින්කමකට වඩා බලගතු ආනිශංස රාශියක් මෙම පින්කමෙන් ලැබේ.

භික්ෂූන් වහන්සේලා මෙම ග්‍රන්ථයෙහි මුලින් සඳහන් කළ පරිදි වස් තුන්මාසය නිමවන තුරු චීවර මාසය නමින් දැක්වෙන හතර වැනි මාසයේ බොහෝ විට කඨින පින්කම් නිමවන තුරු යම් යම් ප්‍රතිපදාවන් සමාදන් ව ආරක්ෂා කරගනිමින් භාවනාවෙහි යෙදෙති. තේචීවරිකාංගය නමින් දැක්වෙන තුන් සිවුරෙන් පමණක් ජීවත්වීම ඒකාසනිකාංගය ආදී පිළිවෙත් රකිති. තව ද දිනපතා උදේ, දවල්, සවස බුද්ධ වන්දනාව, සවසට වත පිරිත් දේශනාව, අලුයම වඩන මෛත්‍රී භාවනාව, ගිලන් උවටැන්, ආචාර්යයන් වහන්සේලාට කෙරෙන වතාවත් දායක භවතුන් වෙනුවෙන් කෙරෙන බුද්ධ පූජා, බෝධිපූජා, භාවනා ක්‍රමයන්හි යෙදවීම, ධර්ම සාකච්ඡා , ධර්ම දේශනා, අභය දානය දීම ආදි විවිධ කුසල ක්‍රියාවන්හි යෙදීම නිසා වෙනදාට වඩා උන්වහන්සේලාත් බොහෝ පින්කම් කරගන්නා හ. එනිසා කඨින චීවර පූජාමය ආනිශංසය වැඩිවන්නේ ය.

වස් ආරාධනා කළ දායක භවතුන් ද මේ හාර මාසය තුළ විශේෂ වත් පිළිවෙත් රකිති . ගිහියන් වශයෙන් ආරක්ෂා කළ හැකි පංචශීලය රැකීම ද පහ ම බැරිනම් අඛණ්ඩ ව සික පද තුන හතරක්වත් ආරක්ෂා කිරීම ද පෝය දිනයන්හි සිල් සමාදන් වීම ද දායක භවතුන්ගේ සිරිත යි. එසේ ම විහාරස්ථානවලට ගොස් වත් පිළිවෙත් කොට බුද්ධ වන්දනාදියෙහි යෙදීම ද, තවත් අංශයකි. ඒ අතර දානාදී පින්දහම් කර ගැනීම, වස් ආරාධනාව කරන ලද විහාරස්ථානය වෙත ගොස් ඇති පමණින් සිව්පස පහසුකම් සැලසීම, තමන් දිනපතා ඉඩ ඇති කවර වේලාවක හෝ මෛත්‍රීභාවනාදිය වැඩීම, ධර්ම ශ්‍රවණමය පින්කම්වලට සහභාගි වීම ආදි විවිධ කුසල ක්‍රියාවෝ බෞද්ධ රටවල පින්වත්හු සිදු කරති. සිව් මාසයක් පුරා වඩන මේ ප්‍රතිපත්තියේ බලය ද කඨින පින්කමේ ආනිශංස වැඩිවීමට දෙවැනි හේතුව බව සැලකිය යුතු ය.

නාගිත තෙරණුවෝ

කඨින පින්කම් පිළිබඳ ව ආනිශංස කියැවෙන තන්හි බුදුරදුන් දවස වැඩසිටි නාගිත නමැති මහරහතන් වහන්සේ නමක් විසින් ප්‍රකාශ කරන ලද කඨිනානිශංස පිළිබඳ වැදගත් විස්තරයක් සඳහන් වේ. ඒ නාගිත මහ රහතන් වහන්සේ බුදුන් දවස මහාසාල බ්‍රාහ්මණ කුලයක උපත ලදහ. සසර කරන ලද පින් ඇති මේ බ්‍රාහ්මණ කුමාරයා තථාගතයන් වහන්සේ වෙත පැමිණ බණ දහම් අසා බුදුරදුන් වෙතින් පැවිද්දට පත්විය. පැවිද්ද ලබාගත්තේ ඒහි භික්ෂු භාවයෙනි. සසර බො හෝ පින්කර ගැනීම පමණක් නොව මවුපිය උපස්ථාන , වැඩිහිටි ගෞරවය , නිහතමානී බව, කිසිදාක අනුන් පහත් කොට නො සැලකීම, කාගේත් සැපතට අති කැමැත්ත , ක්‍රමවත්ව සැදැහැ සිතින් පිළියෙළ කරන ලද අෂ්ට පරිස්කාර පූජාමය පින්කම් සහ විවිධ දානාදී පින්කම් කරගත් උතුමෝ බුදුවරයන් වහන්සේ නමක් වෙතට පැමිණි කල්හි බුදුවරයන් වහන්සේලා ඔහු සසර වඩාගත් කුසල කර්මයක් බලා “ඒහි භික්ඛවෝ , චරථ බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අත්තකිරියාය” යන වාක්‍යය පවසත් ම එකී පුද්ගලයා නියම පැවිද්දෙක් බවට සැණෙකින් පත්වේ. ඔහු සසර පුදන ලද අෂ්ට පරිස්කාර ආදියෙහි ආනිශංස ඉදිරිපත් ව, ඍද්ධිමය බලයකින් එම තත්ත්වයට පත්වීම පුණ්‍ය මහිමයේ ශක්තිය බව සැලකිය යුතු ය. නොබෝ කලකින් උන්වහන්සේ ඍද්ධි බල සහිත මහරහත් බවට ද පත් වූ සේක.

මේ තෙරණුවෝ සසර දී කරන ලද මහත්ඵල මහානිශංසදායී පුණ්‍යකර්මයක් දැක ඒ පිළිබඳ ව මහා සංඝයාත්, දෙවියන් සහිත සකල ලෝකයාත්, දැනුම්වත් කිරීම පිණිස වස් පවාරණය කළ දෙතුන් දිනකින් අනද තෙරුන් අමතා මෙසේ වදාළ සේක. “ඇවැත්නි, ආනන්ද අද සන්ධ්‍යා භාගයෙහි හිමාලයෙහි අනවතත්ත විලට යනු කැමැත්තෙමි. මා සමඟ ඒ ගමනට යාම සඳහා ඍද්ධිබල සහිත ඒහි භික්ෂුභාවයෙන් ම පැවිද්දට පත් වූ මහ රහත්වරු පන්සිය නමක් රැස්කරන්න. මේ දැනුම්දීම උඩ සහභාගි වීම පිණිස එක්රැස්වූ ඒ රහතුන් වහන්සේලා පන්සිය නමක් සමඟම භාග්‍යවතුන් වහන්සේ අහසට පැන නැගී හිමාලය වනය හාත්පස එකපැහැර බබුළුවමින් අනවතත්ත විල මැද පිහිටි මහා නෙළුම් මලක කෙමිය මත වැඩහුන් සේක. රහතන් වහන්සේලා පන්සිය නම ද එහි පිහිටි ඒ ඒ නෙළුම් මල් කෙමි මත එක එක නම බැගින් තැන්පත් ව වාඩි වූහ. අඳුරු වලාකුළුවලින් ගැවසීගත් අහසෙහි ෂඩ් වර්ණ බුද්ධරශ්මි මාලා විහිදුවමින් වැඩහුන් බුදුරජාණන් වහන්සේත්, රශ්මිධාරා විහිදුවමින් වැඩහුන් මහරහතන් වහන්සේලා නිසාත් අනවතත්ත හාත්පස ආලෝකවත් චමත්කාර ජනක දර්ශනයකින් යුක්ත පෙදෙසක් බවට සැණෙකින් පත්වී ය. මේ අසිරිය දුටු ලක්ෂ සංඛ්‍යාත දෙවි දේවතාවෝ ද, දෙවඟනෝ ද , දිව්‍ය නාග රාජයෝ ද , බ්‍රහ්ම රාජයෝද අහස පුරා කුඩා සියුම් ශරීර මවාගෙන අහසේ රාශිභූත වූ හ. එවැනි අවස්ථාවල දී දෙවිදේවතාවරු කුඩා සියුම් ශරීර මවාගන්නේ කෝටි ගණන් රැස්වන නිසා ය. ඉඩකඩ සලසා ගැනීම සඳහා ය.

ෂඩ් වර්ණ බුද්ධරශ්මි විහිදුවමින් සුවිශාල නෙළුමක් මත වැඩහුන් බුදුරජාණන් වහන්සේ මහරහත් පිරිස අමතා වදාරණ සේක්. ආයුෂ්මත් ක්ෂීනාශ්‍රවවරුනි , අපගේ මෙහි සැපත්වීම නිසා ගවු ගණනාවක් මේ අහස පුරා දිව්‍ය බ්‍රහ්ම හා නාගයන් රැස්ව ඇත. යූෂ්මතුන් වහන්සේලා ද දකින ඒ මහා දේව සමූහයා , බ්‍රහ්ම සමූහයා දැන් දැන් අපට අසිරිමත් දේශනාවක් අසන්නට ලැබේ යයි අපරිමිත සතුටකින් පසුවෙති. මා විසින් හෝ මේ රහත් පිරිස අතරින් කෙනෙක් මහා දේව සමූහයා සතුටු කරවනු පිණිස දේශනාවක් කළ යුතුව ඇත. සංසාරික ගමනේ දී යූෂ්මතුන් වහන්සේලා අතුරෙන් අතිවිශිෂ්ටතම, මහත්ඵල මහානිශංසදායී, පුණ්‍ය ක්‍රියාවක් සිදුකරගත් භික්ෂු නමක් මෙහි සිටී නම් බුද්ධ ප්‍රමුඛ මහරහතුන් ඇතුළු මේ දේව සමූහයා මැද දේශනා කිරීමට මේ උචිත ම අවස්ථාව යි. මෙම වැදගත් අවස්ථාවෙන් ලෝකයට අනාගතයේ දී මහඟු සේවාවක් සිදුවන්නේ ය. අනාගත ලෝකයා ද ඒ පුණ්‍ය විපාක අසා වඩ වඩාත් පින්දහම් කරගන්නෝ ය.