Print this Article


නොතිත් ආශා අඳුර ගෙනෙයි

නොතිත් ආශා අඳුර ගෙනෙයි

පසුගිය දිනවල උත්තරද්‍රවයේ, ගී‍්‍රන්ලන්තයේ ඉතා දුර්ලභ ගුණ සමරු උත්සවයක් පැවැත්වුණි. විශාල පිරිසක් එක්රැස්ව, චාරිත්‍රානුකූල ව, ඉතා අනුවේදනීය අයුරින් මියගිය හිතවතෙක් සිහිපත් කළ හ.

මේ හිතවතා නම් අඩි තුන්සියයක් පමණ උසැති, මීටර් දෙදහසක් පමණ දිගු ග්ලැසියරය කි. සරලව කියනවා නම් අයිස් පර්වතයකි. පසුගිය වසර හය තුළ තිස්සේ ම මේ ග්ලැසියරය දියවෙමින් විනාශයට පත්විය. එහි ප්‍රතිඵලය ලෙස දැන් එම ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළයාමට පටන්ගෙන ඇත. මෙය ලෝක ඉතිහාසය පුරාම පැවැති අයිස් කන්දකි.

ලෝක උෂ්ණත්වය ඉහළයාම දැන් විශාල ගැටලුවක් බවට පත්වෙමින් තිබේ. ලෝක උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රධානතම ම හේතුව සකසුරුවමක් නොමැතිකම ය. එසේත් නැතිනම් සම්පත් අනිසි ලෙස පරිභෝජනය කිරීම ය.

පසුගිය දිනයන්හි ජාත්‍යන්තර සකසුරුවම් දිනය සැමරුණේ මෙවන් වාතාවරණයකට මුළු ලෝකයම මුහුණ දී සිටින අවස්ථාවක ය.

‘සකසුරුවම් යනු අතිශයින් හුරු පුරුදු වචනයකි. එහි අදහස සම්පත් සැලකිලිමත් ව පරිහරණය කිරීම, සම්පත් අපතේ නො යැවීම හා අරපරෙස්සමෙන් පරිහරණය කරමින් ය. එහෙත් වර්තමාන සමාජයේ සකසුරුවම ක්‍රියාකාරිත්වයෙන්, ප්‍රායෝගිකත්වයෙන් ඈත් වී ඇති වචනයකි.

බෞද්ධයන් ලෙස, බෞද්ධ සංකල්පයට අනුව අප සකසුරුවමට මුහුණ දෙන්නේ කෙසේද? බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ ලෝකයේ ඇති සම්පත් ඉතා සීමිත බවත්, එම නිසා අසීමිතව පරිහරණය නො කරන ලෙසත් ය.

සම්පත් භාවිතයේ දී අතෘප්තියෙන් වැඩ නොකරන ලෙසත්, තෘප්තිමත්වන ලෙසත් ය. එය ආධ්‍යාත්මික ගුණ වගාව පමණක් මුල් කොටගත් දේශිතයක් පමණක් නොවේ. මෙතැන විශාල සකසුරුවමක් තිබේ.

පංච ඉන්ද්‍රියයන් මුල් කරගෙන, බාහිර සමාජයේ ඇති සම්පත් පරිහරණයට ගන්නේ කාමය හෙවත් කැමැත්ත මුල්කරගෙන ය.

ආහාර ගැනීමේ කාමය, අයත් කර ගැනීමේ ආශාව, ලස්සනට හැඳ පැළඳ ජීවත්වීමේ ආශාව, අනුන් ඉදිරියේ කැපී පෙනීමේ ආශාව, සම්භාවනීය ලෙස ජීවත්වීමේ කැමැත්ත ආදී වශයෙනි. මේ කාමය අසීමිතව පවත්වා නො ගත යුතු ය. එහි අතෘප්තියට පත් නො විය යුතු ය. අතෘප්තිමත් පුද්ගලයා ආධ්‍යාත්මික ව පිරිහීමට ගෙන යයි. පරිහානියට ගෙන යයි. ලෝකය ද පරිහානියට ගෙන යයි.

ලෝකය පරිහානියට පත් වන්නේ ඇයි? ලෝකයේ සම්පත් අසීමිත නො වන නිසා ය.

අතීතයේ ගම්වල ‘මොර’ නම් වූ පලතුර ඉතා ජනපි‍්‍රය විය. බොහෝ දෙනා මොරගෙඩි කඩා ගත්තේ අතු ද කඩා දමමිනි. එවිට සිදු වූයේ ඊළඟ කන්නයේ මොර හට නො ගැනීම ය. ආශාවන් සපුරා ගැනීමේ දී මොර කඩා කන්නා සේ විනාශකාරි හා නො සැලකිලිමත් ලෙස කටයුතු කරන්නට ගියේ නම් සිදුවන්නේ අනාගතයේ සුන් වූ බලාපොරොත්තු ඇතිකර ගන්නට ය.

වර්තමානයේ ඇතැම් මූල්‍ය සමාගම් සිය ආත්මාර්ථකාමී ව්‍යාපාරික අදහස් මුදුන් පමුණුවා ගන්නට ඉතා බරපතළ ලෙස ජනතාව පරිභෝජන වාදයට තල්ලු කරමින් සිටී. ඕනෑතරම් ණය පහසුකම් දෙන බව එම මූල්‍යායතන හිමියන් පවසයි. පහසුවෙන් ණය ලබාගත හැකි වීම නිසා බොහෝ ජනතාව ද ඊට පෙළඹෙයි. ණයකරුවන් වීමෙන් පසු ඔවුන්ට සිදු වන්නේ මූල්‍ය සංවිධානයන් හි ගැත්තන් වී,වහලුන් වී කටයුතු කරන්නට ය. ඒ පුද්ගලයන් ඇතැම්විට මිය යන තුරුම කරන්නේ ණය ගෙවීම ය. තමන් ලබන ආදායම අනුව වියදම් කිරීමේ ධර්මෝපදේශය එතැන දී සම්පූර්ණයෙන් ම කඩා වැටේ. බුදුරජාණන් වහන්සේ විසින් සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය ආදී සූත්‍ර දේශනාවන්හි දී අවධාරණය කරනු ලැබුවේ පමණ දැන වියදම් කළ යුතු බවට ය. එහි දී තමන් උපයා ගන්නා ධනය සිව් කොටසකට බෙදා වියදම් කරන ආකාරය උන්වහන්සේ පැහැදිලි කළහ.

එකේන භොගෙ භු ඤ්ජ්‍යෙය
ද්වීහි කම්මං පයෝජයේ
චතුත්තං ච නිධා ප්‍යෙය
අපදාසු භවිස්සති

ඒ අනුව තමන් පරිභෝජනයට ගත යුත්තේ තමන් උපයන ධනයෙන් එක් කොටසකි. අනාගත ආයෝජනය සඳහා කොටස් දෙකක් යෙදවිය යුතු ය. ඉතිරි කොටස් ආපදාවක දී , කරදරයක දී ප්‍රයෝජනයට ගනු පිණිස තැන්පත්කර තැබිය යුතු ය.

දියුණුව කැමැති පුද්ගලයකු විසින් අනුගමනය කළ යුතු කරුණු රැසක් කරණීය මෙත්ත සුත්‍රයෙහි ද අන්තර්ගත ය.

සන්තුස්ස කෝ ච සුභරෝ ච
අප්ප කිච්චෝ ච සල්ලහුක වුත්ති
සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච
අප්පගබ්බෝ කුලෙසු අනනුගිද්ධෝ

මෙහි සල්ලහුක වුත්ති යන්නෙහි අර්ථය අතෘප්තිමත් නොවී, පවත්නා සම්පත්වලින් තෘප්තියට පැමිණීම ය . එනම්, තමන්ගේ ආදායම වියදම් කළයුත්තේ අසල්වැසියන්, සමාජයේ අනෙක් අය වියදම් කරන ආකාරයට නොවේ. ආදායමේ ප්‍රමාණය අනුව ය. තමන්ගේ ආදායම තමන් කළමනාකරණය කරගත යුතු ය.

සකසුරුවමින් තොර ජීවිතය බෞද්ධ ජීවිතයක් නොවේ. බෞද්ධයෙක් නම්, ඔහු සකසුරුවම් ය. ඒ සකසුරුවම තුළ ඇති ඉතාම වැදගත් දෙය නම් ‘ලෝකයේ අයිතිකරු මම නොවේ’ යන නිහතමානී කල්පනාව යි. බෞද්ධ ධර්මයට අනුව

‘සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා’

යන්නෙහි සියලු සත්ත්වයන්ට ‘මමත්’ අයිති ය. එහෙත් ‘මම’ සුවිශේෂී නැත. ඒ අනුව මම මේ ලෝකයේ අයිතිකරු හෝ, සම්පත්වල අයිතිකරු හෝ වන්නේ ද නැත.

වර්තමානයේ අපට කවදාවත් නො ඇසූ රෝගාබාධ ගැන අසන්නට ලැබේ. මනුෂ්‍යයාගේ ආයුෂ දිනෙන් දින කෙටි වී ගෙන යයි. අවට පරිසරය, ආහාරපාන, ජලය ඇතුළු සියලු දේ මිනිස් ශරීරයට අහිතකර වෙමින් පවතී. හුස්ම පොදෙහි පවා වස විෂ ය. මේ ලෝකය මනුෂ්‍යයාට පමණක් නොව සකල සත්ත්වයාට ම ජීවත්වීමට නුසුදුසු තැනක් බවට පරිවර්තනය වෙමින් තිබෙන්නේ ඇයි? සකසුරුවමක් නැති නිසා ය. තමන් තමන්ට ම නිහතමානී විය යුතු ය. එම නිහතමානී වීම තුළ මා මේ ලෝකයේ ජීවත්වන කුරා කුහුඹුවාගේ සිට අප්‍රමාණ සත්ත්ව සංතතියේ එක් අංගයක් පමණි. ඇසට නො පෙනෙන ක්ෂුද්‍ර ප්‍රාණීන්ට පවා මේ ලෝකය අයිතිය, යන සිතිවිල්ල ප්‍රමුඛ විය යුතු ය. තමන් පමණක්, තම නෑදෑ හිතවතුන් පමණක්, ජීවත් විය යුතු යැයි යන අහංකාර හැඟීම. ආධිපත්‍යවාදී හැඟීම, පරිභෝජනවාදී හැඟීම සම්පූර්ණයෙන් ඉවත් කිරීමට අදිටන් කරගත යුතු ය. බුද්ධ වචනයට අනුව සකසුරුව ම බෞද්ධයාට මැනවින් අනුකූල ය. ධර්මානුකූල පැවැත්ම එය වන්නේ ය. එය තේරුම් ගත්තේ නම් මෙලොව ජීවිතයත් සකසුරුවම් ය. පරලොවත් සකසුරුවම් ය. සදාකාලික සතුට, සාමය, නිරෝධය, විමුක්තිය සඳහා වූ ගමනට හේතුවන්නේ ද සකසුරුවම යි. අපි ඒ සඳහා පෙළ ගැසෙමු. තමන් සකසුරුවම අනුගමනය කරන අතරේ අනෙක් අයටත් මේ ධර්මය කියා දෙමු.