Print this Article


මරණයට බිය නොවන්න ගතට වඩා සිත හදන්න

මරණයට බිය නොවන්න ගතට වඩා සිත හදන්න


මරණය කියන්නේ ජීවිතයේ ම කොටසක්. උපත සමඟින් ම අරගෙන එන, උපන්නා වූ සෑම කෙනෙකුට ම ඒකාන්තයෙන් ම මුහුණ දෙන්නට සිදුවන, උපන් කිසිවෙකුටත් මඟ හැර යන්නට බැරි මරණයට, කුඩා අයටත්, මහලු අයටත්, නුවණ ඇති අයටත්, නුවණ නැති අයටත් ඒකාන්තයෙන් ම තම තමන්ගේ කර්මානුරූපී ව මුහුණ දෙන්නට සිදුවනවා.

එසේ නම් කළ යුත්තේ ‘මරණය’ මනා ලෙස තේරුම් ගැනීම යි. එයට සාර්ථක ව මුහුණ දීමට සූදානම් වීමයි. මරණයට සාර්ථක ව මුහුණදීමට නම් ජීවිතය තේරුම් ගන්නට ඕනෑ. ජීවිතය තේරුම් ගත්තාම මරණය ප්‍රශ්නයක් වන්නේ නැහැ. එයට සතුටු සිතින් මුහුණ දීමට හැකියාව ලැබෙනවා. ජීවිතය කියන්නේ මරණයෙන් කෙළවර වීමක්. (මරණන්තං හි ජීවිතං) මරණය කියන්නේ සත්ත්වයාගේ එක භවයක කෙළවරක් වුවත්, කෙලෙස් සහිතව මැරෙන අයගේ නම් භව ගමනක ආරම්භයට උපකාරී වන දෙයක්.

කෙනෙක් මේ භවයෙන් ඉවත් වුණේ නැතිනම්, මැරුණේ නැතිනම් නැවත භවයක උපතක් ලබන්නේ ද නැහැ. ඒ අනුව මරණය, උපතටත් උපකාර කරනවා.

මිනිසුන් මරණයට බිය වන්නේ මරණය ගැන නිසි අවබෝධයක් නැති නිස යි. ස්වභාව ධර්මයේ ස්වභාවය අභාවය බව තේරුම් ගන්නා තැනැත්තා මරණ ධර්මය තමාට පමණක් උරුම වූ දෙයක් ලෙස දකින්නේ නැහැ. එසේ කල්පනා කරන විට ලෝකයේ සිටි රාජ රාජ මහාමාත්‍යාදීන් පවා මරණ ධර්මයට යටත් වූ අයුරු වටහා ගත හැකි වෙනවා. මරණය කියන්නේ පොදු ධර්මතාවයක් වශයෙන් වටහා ගන්නා තැනැත්තාට, පුද්ගලිකත්වයෙන් නො ගන්නා තැනැත්තාට මරණයක දී ඇතිවන දුක වේදනාව තුනී කර ගැනීමට හැකි වෙනවා.

මරණය හෙවත් අභාවය නම් වූ ලෝක ධර්මතාව ලෝකයේ ක්‍රියාත්මක වූයේ නැති නම් ලෝකයේ ඉදිරියට යාමක් වන්නේ නැහැ. ලෝකය පවතින ස්වභාවයට ම දිගට ම පැවැතීමක් පමණයි වන්නේ. නමුත් ලෝකය කියන්නේ විවිධ වෙනස්කම්වලට ලක්ව ඉදිරියට යන එකක්.

එසේ වන්නේ පවතින සියල්ල වෙනස් වෙන නිස යි. මරණයක දී සිදු වන්නේ ද ඒ වෙනස යි. මරණය ගැන කරුණු අවබෝධයෙන් කල්පනා කරන්නා මෙලොව ද, පරලොව ද යන දෙලොව ම ජය ගැනීමට උත්සාහවත් වෙනවා. අප්‍රමාදී පුද්ගලයෙකු වෙනවා. මරණය ගැන සිහිපත් කරන තැනැත්තා ජීවිතයේ ඇති අනියත බව ද, මරණයේ ඇති නියත බව ද කල්පනා කොට මරණ ධර්මය තමා වෙත පැමිණෙන්නට කලින් තම ජීවිතය සාර්ථක කර ගැනීමට උත්සාහවත් වෙනවා.

මැරෙන මිනිසෙකු ලෙස සිතා කටයුතු කිරීම නිසා ලෝකය සමඟින් අනවශ්‍ය ලෙස ඇලෙන්නේ හෝ ගැටෙන්නේ නැතිව කටයුතු කිරීමට පුළුවන්. නමුත් වර්තමානයේ බොහෝ දෙනා නො මැරෙන මිනිසුන් සේ සිතා ජීවත් වන බවක් දක්නට ලැබෙනවා. ලෝකයේ වර්තමාන ආධ්‍යාත්මික පරිහානියට මූලික හේතුවත් එය යි.

අප මේ ලෝකයට පැමිණෙන විට මරණය නමැති තොණ්ඩුව බෙල්ලේ දමා ගෙනමයි පැමිණෙන්නේ. ඒ තොණ්ඩුව කොයි මොහොතක, කො තැනක දී තද වෙයිදැයි කිව නොහැකි යි. ඒ අවිනිශ්චිත ස්වභාවය ම පන්නරය කොටගෙන අප්‍රමාදී ව කටයුතු කිරීමයි කළයුතු වන්නේ. බෞද්ධයන් වශයෙන් අපට මරණානුස්සති භාවනාව පුරුදු කිරීම තුළින් ද ජීවිතය හා මරණය තුළ ඇති සබඳතාව ගැන මනා වැටහීමක් ඇතිකර ගන්නට පුළුවන්. මරණය ගැන නිරන්තරයෙන් සිතන තැනැත්තා තමා විසින් මරණය පිළිගත යුත්තේ කවරාකාරයකින්දැයි සිතා සූදානම් වෙනවා. තම ජීවිතය අර්ථවත් ව ගත කිරීමට උත්සාහවත් වෙනවා. මරණ ධර්මතාවෙන් ද පෙන්වන්නේ ජීවිතයේ ඇති අනිත්‍යතාව යි. ඒ අනිත්‍යතාව මැනැවින් වටහා ගන්නා තැනැත්තා මරණය ද නිත්‍ය ස්වභාවයක් නොවේ යැයි වටහා ගෙන, එය ද නැවත උපතත් සමඟින් වෙනස් වෙනවා යැයි වටහාගෙන, වියෝගයේ දී කඳුළු සළන්නේ නැති ව සිටිනවා. සිය ආධ්‍යාත්මය සංවර්ධනය කර ගන්නවා. සිත ශක්තිමත් කර ගන්නවා. ඒ නිසා ම ඒ තැනැත්තාගේ මරණින් පසු ජීවිතය ද සුරක්ෂිත වෙනවා.

මරණයට බිය වූවාට පලක් නැහැ. අප බය වුණත්, නැතත් මරණය අප කරා පැමිණෙනවාම යි. එසේනම් කළයුත්තේ නොබිය ව එයට මුහුණදීම යි. ජීවත් වන කාලය තුළ සුන්දර ව ජීවත් වුණොත් ඒ තැනැත්තාට මුහුණ දෙන්නට වන මරණය ද බොහෝ විට සුන්දර යි. අතීත කර්මවල බලපෑමක් නොමැති නම් සුන්දර මිනිසුන්ගේ මරණය ද සුන්දර ආකාරයටයි සිදුවන්නේ. එවන් අය මරණින් පසු සුගතිගාමී වෙනවා.

යමෙක් දුප්පතෙකු ලෙස ඉපිද, දුප්පතෙකු ලෙස මියැදෙන්නේ නම්, එය ඒ තැනැත්තාගේ ලොකු දුර්වලකමක්. දුප්පත් ව ඉපදීම අතීත කර්මයක විපාකයක් විය හැකියි. නමුත් ඒ තැනැත්තා මියැදෙන්නේ ද දුප්පත් ව නම්, ඔහු අගය කළ හැකි කෙනෙක් නොවේ. දුප්පත්ව උපදින සැවොම දුප්පත්ව ම මියැදිය යුතුයැයි නියමයක් නැහැ. ඔවුන්ට ස්වශක්තියෙන් තමන්ගේ ජීව්තය වෙනස් කර ගත හැකියි. අතීත කර්ම වුවත් තමන්ගේ වර්තමාන පැවැත්ම මත වෙනස් කර ගත හැකි බවයි බුදු දහමින් අපට පෙන්වා දී තිබෙන්නේ. මේ ලෝකයේ ජීවිත ලබන අපට බොහෝ බලාපොරොත්තු, අපේක්ෂාවන්, අදහස් තිබෙනවා. ඒවා යම් පමණකට හෝ සඵල කර ගන්නේ නැති ව කෙනෙක් මිය යන්නේ නම්, ඔහු පරාජිතයෙක්. පුහුදුන් සිතේ ඇතිවන සියලු අදහස් එක් භවයක දී සඵල කර ගැනීමට හැකියාවක් නැහැ. නමුත් යමෙකුට උත්සාහය හා කැපවීම තිබෙනවා නම් කිසියම් දුරකට ඒ තැනැත්තාගේ ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන්.

බොහෝ දෙනා අනවශ්‍ය බලාපොරොත්තු සිත තුළ රඳවා ඒ සියල්ල එක සැණින් සම්පූර්ණ කර ගැනීමට උත්සාහ කරනවා. එය ද වරදක්. සියල්ල සම්පූර්ණ කර ගත් කිසිවෙකුත් ලෝකයේ නැහැ. ඒ නිසා ජීවත් වෙන කාලය තුළ, කැමැති දේ ලබා ගැනීම උත්සාහයෙන්, කැපවීමෙන් කටයුතු කරන ගමනේ ම, ලද දෙයින් සතුටු වන්නට හැකියාව තිබේ නම්, ඔහු පොහොසතෙක්. ලද දෙයින් සතුටු වන්නට බැරි බොහෝ දෙනා පරාජිතයන් සේ මියැදෙන අවස්ථා අපි කොතෙකුත් දැක තිබෙනවා. කාම වස්තූන්ට හෙවත් භෞතික ලෝකයට ඇලීම සාමාන්‍ය සත්ත්වයාගේ ස්වභාවය යි.

කාම වස්තූන් නිසා සිත තුළ කෙලෙස් අවුස්සා ගන්නේ නැති ව කෙනෙකුට සිටින්නට හැකි නම්, පරිහරණය කරන කාම වස්තූන් මේ ලොව අතහැර යන විට දමා යන්නට වේ යැයි සිතා කටයුතු කළ හැකි නම්, කිසිවක් මගේ යැයි සිතමින් තදින් අල්වා ගෙන කටයුතු කරන්නේ නැහැ. එවිට භෞතික වස්තූන් අත් හැර දමා යන විට කම්පාවීමක්, හැඬීමක් නැහැ. කාම වස්තූන්ට කිසියම් උපාදානයක්, තදින් අල්වා ගැනීමක් නැති ව මරණයට පත් වෙන තැනැත්තා අපරාජිතයෙක්. කාම වස්තූන් දමා යන විට හඬා වැටෙමින්, ඒවා නැවත නැවත අල්වා ගැනීමට උත්සාහ කරමින් සිටියදී, ඒවා දමා යන තැනැත්තා පරාජිතයෙක්. අපරාජිතයෙකු ලෙසින් මරණය වැළැඳ ගන්නට උත්සාහ කරන්න. ඒ නිසා මරණය හමුවේ සියල්ල දමා යන්නට වෙන බව නිරන්තරයෙන් සිහි කරන්න.

ඒ සඳහා බුදුපියාණන් වහන්සේ කිසාගෝතමියගේ පුතා මළ අවස්ථාවේ ඇයගේ සිත අවබෝධයට පත් කරවීම පිණිස සිදුකළ මඟ පෙන්වීම කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම වටිනවා.

තං පුත්තපසුසම්මත්තං
ඛ්‍යාසත්ත මනසං නරං
සුත්තං ගාමං මහෝඝෝව
මච්චු ආදාය ගච්ඡති
(ධම්මපද - මග්ග වග්ග)

යමෙක් දරුවන්, ගව සම්පත් ආදියෙන් මත් වී පඤ්චකාම සම්පත්තීන්හි ඇලුණු ගැලුණු සිතින් සිටී ද, එබඳු අය මහා ගංවතුරකින් නිදා සිටි ගම්වැසියන් මුහුදට ගසා යන්නා සේ මරුවා විසින් පැහැර ගෙන යනවා යන අදහසයි එම ගාථාවේ සඳහන් වෙන්නේ. ඒ නිසා අසීමිත ආශාවන්ගෙන් අත්මිදී, ඇලීම අඩු කරගත්, සන්සුන් දිව පැවැත්මක් ඇති කරගත යුතු වෙනවා. එවිට ජයග්‍රාහකයෙකු ලෙසින් මරණයට මුහුණ දිය හැකි වෙනවා.

මරණය සිදුවන විට ශරීරයෙන් විඤ්ඤාණය ඉවත් වෙනවා. ස්කන්ධ පඤ්චකය බිඳී යනවා. (ඛන්ධානං භේදෝ) විඤ්ඤාණය ඉවත්ව ගිය පසු අපගේ ශරීරය ප්‍රයෝජනයකට ගත නොහැකි ස්වභාවයේ ගැට සහිත දර කැබැල්ලක් වගෙයි. බුදුපියාණන් වහන්සේ පූතිගත්තතිස්ස ස්වාමීන් වහන්සේට කළ දේශනාව ශරීරයේ සහ ජීවිතයේ ස්වභාවය මනා ලෙස වටහා ගැනීමට උපකාරී වන දේශනාවක්. මේ කය වැඩි දුර පවතින එකක් නොවෙයි. මහ පොළොවට ම පස් වෙලා, උරා ගන්නා එකක්. මේ ශරීරයෙන් විඤ්ඤාණය ඉවත් ව ගිය පසු ශරීරය ප්‍රයෝජනයක් ගත නො හැකි, ගැට සහිත දර කැබැල්ලක් බවට පත්වෙනවා. ගැට සහිත දර කැබැල්ල අවම තරමේ ලිපට දැම්මත් ඇවිලෙන්නේ නැහැ.

එතරම් ම එය නිෂ්ප්‍රයෝජනයි. විඤ්ඤාණය ඉවත්ව ගිය ශරීරය ද එවන් නිෂ්ප්‍රයෝජන එකක් යැයි සලකා ශරීර පෝෂණයට වඩා සිත පෝෂණය කිරීමට උත්සාහවත් වන ලෙසයි බුදුපියාණන් වහන්සේ උපදෙස් ලබා දී තිබෙන්නේ.