Print this Article


වනවාසී භික්ෂු ජීවිතය පිළිබඳබෞද්ධ ආකල්පය

වනවාසී භික්ෂු ජීවිතය පිළිබඳ බෞද්ධ ආකල්පය

ආධ්‍යාත්මික දියුණුව තුළින් පරම සත්‍යය අවබෝධ කොටගෙන විමුක්තිය සාදා ගැනීමේ අරමුණින් ගිහිබව හැර පැවිදි ව, වනයට පිවිසීම ආදියෙහි පටන් ම භාරතීය චින්තකයන් අතර පැවැති බවට බොහෝ සාධක තිබේ. ආදි අනාර්ය සමාජයෙහි ද පැවැති බව පෙනී යන මෙම පිළිවෙත බ්‍රාහ්මණ යුගයේ දී අසංවර්ධිත තත්ත්වයෙක පැවැතියේ ය.

චතුර්විධ ආශ්‍රම ධර්ම අතර එන වානප්‍රස්ථ ආශ්‍රමය බෙහෙවින් ම දියුණුවට පත්වූයේ බ්‍රාහ්මණ යුගයට පසුව එන ආරණ්‍යක යුගයේ සිට ය. උපනිෂද් යුගයතුළ තව තවත් සංවර්ධනය වූ වනවාසී ආගමික දිවි පැවැත්ම භාරතීය පැවිදි සංස්කෘතියෙහි පොදු ලක්ෂණයක් වූ බව පෙනේ. ආදී බුදු දහම තුළ ද පැවිද්දෙකු සිය පිළිවෙත් හි ඵලදායකත්වය පිණිස විවේකී, ජනශූන්‍ය අරණ්‍යාදිය ඇසුරු කිරීමෙහි අගය පිළිගත් බවට සූත්‍රාන්තයන්හි නිබඳව ම හමුවන පහත සඳහන් පාඨය නිදසුන් කොට දැක්විය හැකි ය.

“බුදු සස්නෙහි මහණ තෙමේ ආර්ය සීලස්කන්ධයෙන් සමන්විත වූයේ, ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් සමන්විත වූයේ, ආර්ය ස්මෘත සම්ප්‍රජානනයෙන් සමන්විත වූයේ, ආර්ය සන්තුෂ්ටියෙන් සමන්විත වූයේ, අරණ්‍ය වෘක්ෂමූල, පර්වත, කඳුරැලි, ගිරිගුහා, සොහොන්, වනපෙත් එළිමහන් පිදුරු ලෙන් යන මෙකී ජනශූන්‍ය වූ කිසියම් සෙනසුනක් ඇසුරු කරයි. හේ පිඬු සෙවීමෙන් පෙරළා ආයේ පසුබත් සමයෙහි පලක් බැඳ උඩුකය කෙළින් තබා කමටහන් අභිමුඛ කොට සිහිය පිහිටුවයි.” මෙසේ චිත්ත සමාධිය අපේක්ෂා කොට අරණ්‍ය වෘක්ෂමූල, ශූන්‍යාගාර ඇසුරෙහි පිළිවෙත් පිරීම බුද්ධ වචනයෙහි ද උගන්වන ලද්දේ ය. භාවනාමය වූ සතර සතිපට්ඨානයන් උපදවනු පිණිස එම ස්ථාන ඇසුරු කිරීම අවශ්‍ය යැයි දක්වන ලද්දේ ය. කිං සච්චගවේසී වූ සිදුහත් බෝසතුන් ද වනවාසී දිවි පැවැත්ම ප්‍රගුණ කළ සිත් ගන්නා සුළු පුවත් නිකාය ග්‍රන්ථවල සඳහන් වෙයි.

එතුමන් වැඩූ චතුරංග සමන්නාගත වීර්යය විස්තර කරන පෙළ දහම සඳහන් කරනුයේ ප්‍රකර්ශ විවේකයෙන් කල් යැවූ තවුසන් අතර අතිශයින් ම දැඩිව එතුමන් එම පිළිවෙතෙහි යෙදුණු සැටි ය. “සාරිපුත්තය, එහි මේ මාගේ හුදකලා වාසය වෙයි. මම එක්තරා වනයකට වැද වාසය කරමි. යම් කලෙක ගෝපාලයෙකු හෝ, පසුපාලකයෙකු හෝ තණ ගෙන යන්නෙකු හෝ, දර ගෙන යන්නෙකු හෝ වන කැමියෙකු හෝ දකිම් ද එකල මම සිටි වනයෙන් අන් වනයෙකට, සිටි ලැහැබින් අන් ලැහැබකට, සමබිමින් සමබිමකට, උස්බිමින් උස්බිමකට යමි. කුමක් නිසා ද යත්, ඔහු මා නොදකිත්වා. මම ද ඔවුන් නොදකිම්වා’යි යන අදහසිනි. වන මුවන් මිනිසුන් දැක වනයෙන් වනයට, ලැහැබින් ලැහැබට, සමබිමින් සමබිමට, උස්බිමින් උස්බිමට යන්නේ ද එසේ ය.’ මෙසේ බෝසත් අවදියේ පටන්මැ වනගත, හුදකලා දිවිය බුදුරදුන් විසින් ප්‍රගුණ කරන ලදී. එහිලා තමන් වහන්සේ ලත් අත්දැකීම් හෙළි කරමින් ජානුස්සෝණි නම් බමුණෙකු අමතා පවසන ලද්දේ වනයෙහි දුර, ඉතා දුර පිහිටි සෙනසුන්හි විසීම දුෂ්කර බව ය. හුදකලා වාසය දුෂ්කර බව ය. චිත්තේකාග්‍රතාවෙහි ඇල්ම දුෂ්කර බව ය. චිත්ත සමාධිය නො ලබන භික්ෂුවගේ සිත වනය විසින් පැහැරගනු ලබන බව ය. බුදු බවට පෙර උන්වහන්සේට එම අදහස ඇති විය.

එසේම අපිරිසුදු කායකර්ම ඇති, වාත්කර්ම ඇති, මනඞකර්ම ඇති, එබඳු ආජීව ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ස්වකීය එකී දෝෂයන් නිසා මැ වනගත වූවෝ සාවද්‍ය ලෙස තැති ගනිති. බියවෙති. විෂම ලෝභය, කාමය, තියුණු රාගය, විකෘති වූ පවිටු සංකල්පනා, ථීනමිද්ධය නොසන්සුන් සිත්, සැකමුසුබව, අත්තුක්කංසනය, පරවම්භනය, තැති ගැන්ම, බිය, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවන්හි ගිජුබව, කුසීතබව, අසිහිය, කෙළතොලුබව ආදී දෝෂ ඇත්තෝ ද එලෙසින් ම වනවාසී වන්නෝ සාවද්‍ය ලෙස තැති ගනිති. බියවෙති. එහෙත් එකී ආධ්‍යාත්මික දෝෂයන්ගෙන් තොර වූ බුදුරදුන්ට වනපෙත් සෙනසුන් කොට වසද්දී එබඳු තැති ගැනුම්, බිය නූපන් බව ද එහි දැක්වෙයි.

බුදු බවට පත්වෙමින් පසුව ද, නිබඳව ම ජනශූන්‍ය වූ සිත්කළු වූ වනපෙත්වල වැඩ සිටීමත්, එබඳු තන්හි දහම් දෙසීමත් බුදුරදුන් වෙසෙසින් පි‍්‍රය කළ බව පෙනේ. එබඳු ස්ථාන හඳුන්වා ඇත්තේ අරඤ්ඤ, වනපත්ථ සේනාසන නමිනි. අල්ප වූ ශබ්ද ඇති, ඝෝෂාවෙන් තොර, සුළඟින් පීඩා නොදෙන, මිනිසුන්ට රහසිගතව සිටීමට සුදුසු, පෞද්ගලික කතාබහට යෝග්‍ය වූ එබඳු ස්ථාන කාය චිත්ත විවේකය පිණිස ම උපකාරී වූයේ ය. විසල්පුර මහවනය, කොසොල් රට ඉච්ඡානංගල නම් මහවනය, උක්කට්ඨානුවර සභග වනය,නාදිකගම චූලගෝසිංහ වනය, බරණැස ඉසිපතන මිගදාය එසේ බුදුරදුන් වැඩසිටි, දහම් දෙසූ ස්ථාන කිහිපයකි. එසේ වනගත ව, ශූන්‍යාගාර ඇසුරු කොට බුදුරදුන් නිබදව ම කල්ගෙවීම උන්වහන්සේ නුදුටු, ඇසුරු නො කළ ඇතමුන් විසින් දෝෂ දර්ශනයට ද ලක් කළ අවස්ථා විටෙක පෙළ දහමෙහි මැ වාර්තා වී තිබේ. බෞද්ධයෙකු වූ සන්ධාන නමැත්තෙකු බෞද්ධයෙකු නො වූ න්‍යග්‍රෝධ පිරිවැජියා අමතන්නේ, ‘මේ භවත් අන්තොටු පිරිවැජියෝ එක්තැන්ව, එක්රැස්ව ඝෝෂා ඇත්තාහු උස්හඬ, මහහඬ ඇත්තාහු රාජකතා, චෝරකතා, ස්ත්‍රී කතා, පුරුෂකතා, ඉත්ථිභවාභවකතා යන මෙබඳු වූ අනේකවිධ (දෙතිස්) තිරශ්චීන කථාවෙහි යෙදුනාහු අන් සැටියෙකින් ම වෙසෙත්, ඒ භාග්‍යවතුන් වහන්සේ ස්වල්ප හඬ ඇති, මඳ හඬ ඇති, ජනවාත රහිත වූ හුදකලා කටයුත්තට සුදුසු වූ, තනිව මැ විසීමට යෝග්‍ය වූ අරණ්‍ය, වනපෙත්, ගොදුරුගමට දුර සෙනසුන් සේවනය කරන්නාහු අන් සැටියෙකින් ම වෙසෙත්’.

මෙසේ කී කල්හි න්‍යග්‍රෝධ පිරිවැජි තෙමේ සන්ධාන ගෘහපතියා අමතන්නේ, “එසේ නම් ගෘහපතිය දැනගන්න ශ්‍රමණ භවත් ගෞතමයන් කවරෙකු හා කතාබස් කෙරේ ද? කවරෙකු හා සාකච්ඡාවට බසින්නේ ද? කවරෙකු හා උතුරු පිළිතුරු කතාවෙන් ප්‍රඥාවන්ත භාවයට පැමිණෙත් ද? මහණ ගොයුම්හුගේ ප්‍රඥාව ශූන්‍යාගාරයෙහි ම නටුයේ ය. මහණ ගොයුම් අවිසාරද බැවින් පිරිස් මැදට බස්නට අසමත් ය. අල්ලාප සල්ලාපයට සමත් නොවෙයි. ඇඟේ කිසිවක් හැපෙතැයි මග හැර යන එකැස් කණ දෙනක සේ (පණ්ඩිතයන් විසින්) ප්‍රශ්න අසතැ’යි බියෙන් ගමින් බොහෝ දුර වූ සේනාසන සේවනය කරන්නේ යැ’යි චෝදනා කළේ ය. (එහෙත් පසුව සන්ධාන පිරිවැජි උන්වහන්සේ සමඟ කතාබස් කොට දැහැමි කතාවෙන් උන්වහන්සේ විසින් කරුණු දැක්වීමෙන් පසු පූර්වෝක්ත සිය ප්‍රකාශය ඉවත් කර ගත්තේ ය.

“සසර බිය දක්නා, ඉන් මිදීලනුවස් කෙලෙස් ගිනි නිවාලනු කැමති භික්ෂුව විසින් හුදකලා වාසය පි‍්‍රය කළ යුතු යැ’යි වදාළ අවස්ථා පෙළ දහමෙහි දක්නා ලැබෙයි. ‘කිම, මාගේ සිත ශුන්‍යාගාරයෙහි ම ඇලෙන්නේ දැ’යි පැවිද්දා විසින් නිතර විමසිලිමත් ව විසිය යුතු ය.’ යනු බුද්ධාවවාදය යි. ‘වන සතුනට රජු වූ කේශර සිංහ තෙමේ දළ බලකොටු ඇත්තේ, යම් සේ කායබලයෙන්, තේජසින් සතුරන් අබිබවා හැසිරේ ද? එසේම, (චිත්තබලය ඇති පැවිද්දා) වනයෙහි දුර සෙනසුන් ම සේවනය කරන්නේ ය. කඟවේණෙකු මෙන් හුදකලාව හැසිරෙන්නේ ය.” , “ලෞකික මහජනයා නො කැමතිවන, රමණීය වූ වන අරණට රහත්හු කැමති වෙති. ඒ උන්වහන්සේ කාමගවේෂී නො වන බැවිනි.’ සුප්‍රකට බුද්ධ ශ්‍රාවකයෙකු වූ මහාකාශ්‍යප මාහිමියන් පවසන්නේ මහජනයා විසින් පිරිවරා නො හැසිරිය යුතු බව ය. ගණ පිරිවර ඇති තැනැත්තේ විකෘති සිත් ඇත්තෙකු වෙයි. ඔහුට සමාධිලාභය ද දුර්ලභ ය. නොයෙක් මහජනයාට සංග්‍රහ කිරීම ද දුකෙකි. මෙසේ සමූහ වාසයෙහි ආදීනව දකිමින් එය කැමැති නොවිය යුතු ය. (හුදකලා වාසය මැ කැමති විය යුතුය) යනුවෙනි. වනයෙහි ධ්‍යාන කරන භික්ෂුවගේ ජවවේගය හංසයා හා සමවෙයි. ගිහියා කළු නිල් ගෙල ඇති මොණර පක්ෂියෙකු වැනි ය. කිසිකලෙකත් ඒ මොණර පක්ෂියාට හංසයාගේ ජව වේගය ඉක්මවා යා හැකි නොවේ.

වනවාසයට අදාළ ව නිකාය ග්‍රන්ථවල එන එක් උපදෙසක් මෙසේ ය. මේ ශාසනයෙහි මහණ එක්තරා සෙනසුනක් ඇසුරු කොට වෙසෙයි.එසේ වනපෙත් ඇසුරෙහි විසුව ද, ඒ මහණහට පළමුව සිටි සිත එකඟ නොවන්නේ ද, පහවැ නො ගිය ආශ්‍රවයන් පහව නො යන්නේ ද, නො ලද රහත්බව නො ලැබෙන්නේ ද?..... පැවිද්දාගේ දිවි රැක්මට අවශ්‍ය සිවුරු, පිඬුවා, සෙනසුන්, ගිලන්පසත්, දුකසේ උපදනේ නම්, මහණෙනි, ඒ බව නුවණින් සලකන පැවිද්දා විසින් රාත්‍රී භාගයෙහි හෝ දිවා භාගයෙහි ඒ වනපෙතින් බැහැර විය යුතු ය. එහි නො විසිය යුතු ය. එසේම ඉහත කී ආධ්‍යාත්මික ප්‍රතිලාභ හා රහත්බව එලෙසින්ම සාධනය නොවන්නේ නමුදු (ආමිස ප්‍රතිලාභ ඇතත් උත්තරීතර අධ්‍යාත්ම ප්‍රතිලාභ නැති බැවින් ඒ බව නුවණින් සලකා) මහණහු විසින් එහිදී ද, වනපෙතින් බැහැර විය යුතු ය. එහි නො විසිය යුතු ය.

අනෙක් අතට යම් වනපෙතක් ඇසුරු කොට වෙසෙන පැවිද්දාගේ පෙර නො එළඹ සිටියා වූ සිහිය එළඹෙන්නේ ද, එකඟ නොවූ සිත එකඟ වන්නේ ද, පහව නො ගිය කෙලෙස් පහවැ යන්නේ ද, නො ලද රහත් බව ලැබෙන්නේ ද, එසේ වුවත් සිවුපසය දුකසේ උපදියි නම්, පැවිද්දා ඒ වනපෙතින් බැහැර නොවිය යුතු ය. එහි මැ විසිය යුතු ය. එසේ ම උක්ත අධ්‍යාත්ම ප්‍රතිලාභ සමගම සිවුපස සංඛ්‍යාත ප්‍රතිලාභ ද උපදනේ නම්, ඒ පැවිද්දා විසින් වනපෙතින් බැහැර නොවිය යුතු ය. එහි මැ විසිය යුතු යැයි එහිලා උගන්වනු ලැබේ.

මේ අනුව,

1. ආධ්‍යාත්මික දියුණුවකට මග නො සැලසේ නම්, එසේ ම සිවුපසය ද දුෂ්කර වේ නම්, ඒ වනවාසී දිවිය ද හැර දැමිය යුතු ය.

2. ආධ්‍යාත්මික දියුණුවට මග නො සැලසේ නම්, සිවුපසය පහසුවෙන් ලැබෙතත්, ඒ වනවාසී දිවිය ද හැර දැමිය යුතු ය.

3. ආධ්‍යාත්මික දියුණුවට මග සැලසේ නම්, සිවුපසය දුෂ්කර වුව ද, ඒ වනවාසය අත් නොහැරිය යුතු ය.

4. ආධ්‍යාත්මික දියුණූවට මග ද සැලසී, සිව්පසය ද පහසුවෙන් උපදියි නම්, ඒ වනවාසය ද අත් නොහැරිය යුතු ය.

මෙයින් පැහැදිලි වන්නේ හුදෙක් ආමිස ලාභය ම සලකා වනවාසී වීම මෙන් ම, ආධ්‍යාත්මික දියුණුවක් පිළිබඳ අපේක්ෂා නොමැතිව වනවාසී වීම ද, බුදුරදුන් විසින් අනුමත නො කරන ලද බව යි. ඒ දෙකින් ආධ්‍යාත්මික දියුණුව ම උසස් ය. සිවුපස පහසුව ඇතත්, නැතත් වනවාසී දිවිය ආධ්‍යාත්මික දියුණුව උදෙසා ම විය යුතු ය.

මෙම ලිපියේ ඉතිරි කොටස ලබන 19වනදා අව අට වක පෝදා පත්‍රයේ පළවේ.