Print this Article


මේ වස්සාන කාලයයි 13: වස්සච්ඡේදනය

වස්සච්ඡේදනය

භික්ෂූන් වහන්සේලාට වස් සමාදන්ව සිටින ස්ථානයෙන් වස් කඩාගෙන යාමට ද පහත සඳහන් කරුණු අනුව විනයානුකූල ව ඉඩකඩ සැලසී තිබේ.

ගංවතුර ගැලීමකින් හෝ ඉඩෝරයකින් හෝ සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, නා, පිඹුරු ආදී දරුණු සත්වයන්ගෙන් හෝ ජීවිතයට හානියක් පැමිණෙන බව නිසැකව ම දැනේ නම් වස් කඩාගෙන යා හැකි ය. එයින් ඇවතක් නො වේ.

අහිවාතක, අතීසාර දරුණු උණරෝග, බිහිසුණු කුෂ්ටරෝගා දී වසංගත රෝග පැතිරීම නිසා ගම්වාසීන් ද ගම් අතහැර ගිය විට වස් විසූ භික්ෂූන් වහන්සේට ද ඒ ගම අතහැර දා යා හැකි ය. ඇවැත් සිදු නොවේ.

එසේ ම දරුණු සොර සතුරු බිය සහ කැරළි කෝලාහල නිසා යුදබියක් ඇතිවුණි නම් වස් කඩාගෙන යා හැකි ය. ඇවතක් නො වේ. දායකයින් නිසි පරිදි සැලකුව ද, ඒ වස් විසූ ස්ථානයෙහි වාසය කිරීමෙන් තමන්ගේ සීල භේදයක් වන බව ස්ථිරව ම දැනේ නම් වස් කඩාගෙන යා හැකි ය. මෙයින් අදහස් කරන්නේ ඇතැම් ගම්වල ඇතැම් කාන්තාවන් අනිසි වේලාවන්හි ද විහාරස්ථානයට නිතර යන එන විට යම්කිසි අවස්ථාවක දී එයින් මට සීල භේදයකට පවත්විය හැකි ය. යන ස්ථිර නිගමනයකට පැමිණිය හැකි නම් සීලයට බාධාවක් වේය යන බිය නිසා වස් කඩාගෙන යා හැකි ය. එසේ ම වස් විසූ ස්ථානයට දරුණු සොර සතුරන් සැඟවී සිටීමට නිතර එන යන ගතියක් ඇත්නම් පෙර කී පරිදි වස් පොළෙන් නො කියා ම පිට වී යා හැකි ය. එය ද ජීවිත හානියට හේතුවක් විය හැකි බැවිනි.

වස් විසූ ගමෙහි මිනිසුන් යම්කිසි අතුරු අන්තරාදියක් නිසා ගම අතහැර වෙනත් තැනකට පදිංචිය පිණිස ගියහු නම්, ඔවුන්ගේ ආරාධනය පරිදි වස් විසූ භික්ෂූන් වහන්සේට ද දායක පිරිස ගිය ප්‍රදේශයෙහි ඔවුන්ගේ උපස්ථාන ලබමින් ඉතිරි වස්කාලය ගත කළ හැකි ය.

යම් වස් විසූ සේනාසනයෙහි භික්ෂූන් දෙපසකට බෙදී වාද භේද කරගනී නම් , එම ප්‍රශ්නය සංඝ භේදයකට තුඩුදිය හැකි යැයි සිතේ නම් වස් කඩාගෙන යා හැකි ය. එයින් ද ඇවැත් සිදු නොවේ.