නාමරූපයන්ගේ හට ගැනීම
කර්මයට අනුවයි
පොල්ගහවෙල
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
ශ්‍රීක ජාතිකයෙකු වූ මිළිඳු රජතුමාත්, ශාසනයේ චිර පැවැත්මට කැමැති නාගසේන මහරහතන්
වහන්සේත් ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර පන්සියයක් ගෙවුණ තැන මුණ ගැසුණේ
ය.
දෙදෙනා ම සසරේ ප්‍රාර්ථනාවක් කර තිබුණි. මිළිඳු රජතුමා බුද්ධ ශාසනය පිළිබඳ ව යම්
ප්‍රශ්නයක් ඇසුවේ ද, නාගසේනයන් වහන්සේ නො පැකිළිව ඉතා රම්‍ය වූ පිළිතුරු ලබාදුන්
සේක.
දිනක් මිළිඳු රජු විසින් මෙසේ ඇසුවේ ය.
“ස්වාමීනි නාගසේනයන් වහන්ස, පිළිසිඳ ගන්නේ කවුද?
“මහරජාණෙනි, පිළිසිඳ ගන්නේ නාමරූපයි”
“එසේනම් මේ නාමරූප ම ද පිළිසිඳ ගන්නේ?”
“මහරජාණෙනි, පොදු ව්‍යවහාරයේ දී නාමරූප පිළිසිඳ ගන්නා බව කතා කරන නමුත් පිළිසිඳ
ගන්නේ මේ නාමරූප පමණක් නොවේ. මහරජාණෙනි , මේ නාමරූපය භාවිත කරමින් යම් සුන්දර වූ හෝ
, පාපී වූ හෝ කර්මයක් කරයි නම්, ඒ කර්මය කරණ කොටගෙනයි නාමරූපය පිළිසිඳ ගන්නේ”
“එසේනම් ස්වාමීනි, පිළිසිඳ ගන්නේ මේ නාමරූප ම නෙවෙයි නම්, පාප කර්මයන්ගේ අනාගත
විපාකවලින් ඒ පුද්ගලයා නිදහස් වෙනවා නේද?”
තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“පිළිසිඳ ගන්නේ නැත්නම්, පාප කර්මවල අනාගත විපාකයන්ගෙන් නිදහස් වන්නේ වෙයි. නමුත්
මහරජාණෙනි යමක් , හේතුවක් නිසා පිළිසිඳ ගන්නේ නම්, ඒ හේතුව නිසයි ඔහු පාප
කර්මයන්ගෙන් නිදහස් නො වෙන්නේ” .
ස්වාමීන් වහන්ස, උපමාවක් වදාළ මැනව“
“මහරජාණෙනි, කිසියම් පුරුෂයෙක් තවත් පුරුෂයෙකුට අයත් අඹ ගෙඩියක් සොරකම් කරයි. එවිට
අඹ හිමිකරු ඔහු රැගෙන ගොස් රජුට පෙන්වයි.” දේවයන් වහන්ස, මේ පුද්ගලයා මගේ අඹ සොරකම්
කළා’ කියා. එවිට සොරා මෙසේ පවසයි. ‘නැත දේවයන් වහන්ස, මම මොහුගේ අඹ සොරකම් කළේ
නැහැ. මොහු යම් අඹයක් රෝපණය කළා නම් , ඒවා වෙනත් අඹ. මා විසින් යම් අඹයක් සොරකම්
කළා නම් ඒවා වෙනත් අඹ. මම දඬුවම් නො ලැබිය යුතු වෙමි.’ මහරජාණෙනි, කිම? ඒ පුුරුෂයා
දඬුවම් ලැබිය යුතු කෙනෙක් නේද?
“එසේය ස්වාමීනි, ඔහු දඬුවම් ලැබිය යුතු කෙනෙකි.”
”මහරජ, ඒ දඬුවම් ලබන්නේ මක් නිසාද?”
“ස්වාමීනි. ඒ පුද්ගලයා එසේ කියන නමුත්, කලින් සිටුවන ලද අඹය පිළිබඳ හේතුව නො සලකා
එයින් උපන් පසු අඹය හේතුවෙන් ඒ පුරුෂයා දඬුවම් ලැබිය යුතුයි.”
”මහරජාණෙනි, සසර ගමනත් එවැනි දෙයකි. මේ නාමරූපය කරණ කොට ගෙන සුන්දර වූ හෝ , පවිටු
වූ හෝ කර්මයක් කරයි ද? ඒ කර්මය නිසයි අන්‍ය වූ නාමරූපයක් පිළිසිඳ ගන්නේ. ඒ හේතුව
නිසයි පාප කර්මයන්ගෙන් නිදහස් නො වන්නේ.”
“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනැව“
“මහරජාණෙනි, කිසියම් පුද්ගලයෙක් අධික සීත කාලයේ ගිනි ගොඩක් දල්වා ගිනි තැප එය නො
නිවා පිටත් වෙයි. එවිට ඒ ගින්න ඇවිලී තවත් කෙනෙකුගේ කුඹුරක් දවයි. ඉක්බිති කුඹුරු
අයිතිකාරයා අර පුද්ගලයා රැගෙන ගොස් රජුට පෙන්වයි. ‘දේවයන් වහන්ස, මේ පුරුෂයා විසින්
මාගේ කුඹුර ගිනි තබන ලද්දේ ය’ කියා. එවිට ඔහු මෙසේ පවසයි. ‘ස්වාමීනි, මම මොහුගේ
කුඹුර ගිනි තැබුවේ නෑ. මා විසින් නො නිවන ලද ගින්නක් ඇද්ද, එය අනෙකකි. මොහුගේ කුඹුර
දවන ලද යම් ගින්නක් ඇද්ද? එය තව එකකි. එනිසා මම දඬුවම් නො ලැබිය යුතු වෙමි” කියා.
කිම? මහරජාණෙනි, ඒ පුුරුෂයා දඬුවම් ලැබිය යුතුයි නේ ද?
“එසේය ස්වාමීනි, ඔහු දඬුවම් ලැබිය යුතුයි”
“කාරණය කුමක්ද?”
“ස්වාමීනි , ඒ පුද්ගලයා එසේ කියන නමුත්, කලින් නො නිවූ ගින්න පිළිබඳ හේතුව නො සලකා,
එයින් පසු ගින්න හේතුවෙන් ඒ පුරුෂයා දඬුවම් ලැබිය යුතුයි.”
”මහරජාණෙනි, මෙයත් එවැනි දෙයකි. මේ නාමරූපය කරණ කොට ගෙන සුන්දර වූ හෝ පවිටු වූ හෝ
කර්මයක් කරයි ද? ඒ කර්මය නිසයි අන්‍ය වු නාමරූපයක් පිළිසිඳ ගන්නේ. ඒ හේතුව නිසයි
පාප කර්මයන්ගෙන් නිදහස් නො වන්නේ?”
“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනැව“
“මහරජාණෙනි, කිසියම් පුරුෂයෙක් පහනක් දල්වාගෙන ප්‍රාසාදයකට නැගී එහි සිට ආහාර අනුභව
කරයි. පහන එහි දැල්වෙද්දී පිදුරු ගිනි ගනියි. පිදුරු ගිනි ගනිද්දී නිවස ගිනි ගනියි.
නිවස ගිනි ගනිද්දී ඒ ගින්න ගමට පැතිර ගොස් ගම ද ගිනි ගනියි. ගම්වැසියන් අර පුද්ගලයා
අල්ලා ගෙන මෙසේ අසයි. ‘එම්බා පුරුෂය, නුඹ ගම ගිනි තිබ්බේ ඇයි? ඔහු මෙසේ පවසයි.
‘භවත්නි, මම ගමක් ගිනි තිබ්බේ නෑ. යම් ආලෝකයක් නිසා මං ආහාර අනුභව කළා ද, ඒ පහන
අනෙකකි. යමකින් ගම ගිනි ගත්තා ද, ඒ ගින්න තව එකකි. මෙසේ ඔවුහු විවාද කරමින් ඔබ ළඟට
පැමිණෙති. මහරජාණෙනි, එතකොට ඔබ ගන්නේ කවරෙකුගේ පැත්ත ද?”
“ස්වාමීනි, මං ගන්නේ ඒ ගම්වැසියන්ගේ පැත්තයි”
“එසේ කිරීමට හේතුව කුමක් ද?”
“අර පුද්ගලයා කෙසේ පැවසුව ද, ඒ ගින්නෙන් ම යි අර ගින්න හටගත්තේ”
“ඔය අයුරින් ම මහරජාණෙනි, මරණාසන්න මොහොතේ මොන ආකාරයකින් නාමරූප තිබුණ ද, පිළිසිඳ
ගන්නා මොහොතේ මොන ආකාරයකින් නාමරූප තිබුණ ද කලින් කර්මානුරූප ව සකස් වූ නාමරූපයන්ගේ
උපකාරයෙනුයි එය උපදින්නේ . ඒ හේතුව නිසයි පාප කර්මයන්ගෙන් නිදහස් නො වන්නේ,”
“ස්වාමීනි තවත් උපමාවක් වදාළ මැනවැ”
“එක්තරා පුරුෂයෙක් සිටියි. ඔහු ළදරු වියෙහි සිටින දැරියක අනාගතයේ විවාහ කරගැනීම
පිණිස ඇය වෙනුවෙන් ධනය තැන්පත් කොට පිටත්ව යයි. කාලයාගේ ඇවෑමෙන් ඇය උස් මහත්ව
වැඩෙයි.
එවිට වෙනත් පුරුෂයෙක් ඇයට ධනය දී විවාහ කර ගනියි. කලින් පුරුෂයා පැමිණ ඔහුගෙන් මෙසේ
විමසයි. එම්බා පුරුෂය, නුඹ මාගේ භාර්යාව රැගෙන යන්නේ ඇයි? ඔහු මෙසේ පවසයි. “නුඹගේ
බිරිඳක් මා රැගෙන යන්නේ නෑ. නුඹ යම් දැරියකට පොරෙන්දු වී ධනය දුන්නේ වෙයිද, ඕ ළදරු
කෙල්ලෙකි. යම් තරුණියකට මා පොරොන්දු වී ධනය දුන්නේ වෙයි නම් ඕ උස් මහත් වූ යොවුන්
ස්ත්‍රියකි. ඉදින් මොවුන් විවාද කරමින් ඔබ සමීපයට පැමිණ පැමිණිලි කළහොත් මහරජාණෙනි,
ඔබ ගන්නේ කවුරුන්ගේ පැත්ත ද?
“ස්වාමීනි, මා ගන්නේ කලින් පුරුෂයාගේ පැත්තයි”
“එසේ කිරීමට හේතුව කුමක් ද?”
“දෙවෙනි පුද්ගලයා කෙසේ කීවද උස් මහත් වී තරුණියක්ව සිටින්නී අර කලින් දැරිය ම ය.
“ඔය අයුරින්ම මහරජාණෙනි, මරණාසන්න මොහොතේ කුමන ආකාරයකින් නාමරූප තිබුණද, පිළිසිඳ
ගන්නා මොහොතේ කුමන ආකාරයකින් නාමරූප තිබුණ ද අර කලින් කර්මානුරූපව සකස් වූ
නාමරූපයන්ගේ උපකාරයෙන් එය උපන්නේ. ඒ හේතුව නිසාය පාප කර්මයන්ගෙන් නිදහස් නො වන්නේ”
“ස්වාමීනි තවත් උපමාවක් වදාළ මැනැව“
“මහරජාණෙනි, එක්තරා පුුරුෂයෙක් ගොපල්ලෙකුගේ කිරි කළයක් මිලට ගනියි. නැවත ඔහු ඒ
ගොපල්ලා අතම ඒ කිරි කළය තබා “මම හෙට අරගෙන යන්නම්’ යනුවෙන් පවසා පිටත් වෙයි. නමුත්
ඒ කිිරි, දී කිරි බවට පත්වෙයි. ඔහු නැවත පැමිණ ‘මගේ කිරි කළය දෙන්න’ කියා ඉල්ලයි.
ගොපල්ලා අර කිරි කළය පෙන්වයි. ”නෑ මම ඔබෙන් මිලදී ගත්තේ දී කිරි නො වෙයි. මට කිරි
කළය දෙන්න.
”ඔබේ කිරි දී කිරි වූ බව තේරෙන්නේ නැද්ද?” අනෙක් පුරුෂයා අසයි. ඉතින් ඔවුන් වාද
විවාද කරමින් ඔබ ළඟට පැමිණියොත් මහරජාණෙනි, ඔබ ගන්නේ කවුරුන්ගේ පැත්ත ද?
“ස්වාමීනි, ගොපල්ලාගේ පැත්තයි”
“එයට හේතුව කුමක්ද?”
“අර පුද්ගලයා කෙසේ පැවසුව ද ඒ කිරිවලින් ම යි දී කිරි උපන්නේ”
“ඔය විදිහට තමයි මහරජාණෙනි, මරණාසන්න මොහොතේ කුමන ආකාරයකින් නාමරූප තිබුණ ද ,
පිළිසිඳ ගන්නා මොහොතේ කුමන අයුරකින් නාමරූප තිබුණ ද, අර කලින් කර්මානුරූප ව සකස් වු
නාමරූපයන්ගේ උපකාරයෙන් ම යි එය උපන්නේ. ඒ හේතුව නිසයි පාප කර්මයන්ගෙන් නිදහස් නො
වන්නේ”.
“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක” යි මිළිඳු රජතුමා පැවැසී ය.
- නයනා නිල්මිණී |