Print this Article


ජීවිතයට අරමුණක් අරමුණට සැලසුමක්

ජීවිතයට අරමුණක් අරමුණට සැලසුමක්

තම අරමුණට අදාළ ගමනක් යාමේ දී කවර බාධා පැමිණිය ද, ඒවා පසෙකලා අරමුණට යා යුතු ය. එහෙත් යා යුතු ස්ථානයට යාම අත හැර බොහෝ අය මග දී නතර වනු ලැබේ. අපගේ ජීවිතය සකස් කරගත යුත්තේ අරමුණ වෙත නිරන්තරයෙන් ගමන් කිරීම සඳහා ය. ඒ අරමුණට යාම සඳහා තම මනස තීව්‍රකර ගැනීම ද අනිවාර්යයෙන් කළ යුත්තකි.

ජීවිතයේ මෙතෙක් අරමුණක් නොමැති වූ අය අරමුණක් ඇතිකරගත යුතු යි. එමෙන්ම අරමුණු ඇති අය නින්දෙන් පිබිදුනු හිමිදිරියේම තම අරමුණ මෙනෙහි කළ යුතුය. එසේ මෙනෙහි කළ දිනයන්හි දින සටහනේ ද එය ලකුණු කර ගත යුතු වේ.

ඒ අයුරෙන් අත්දකින එම ක්‍රියාවන් හෙට සිට ආරම්භ කළහොත්, හෙට දින සටහන් පොතේ හරි ලකුණක් සටහන් වේ. හෙට මෙන් ම අනිද්දා ද එසේම සිහියට නැගි දින සටහන් පොතෙහිද ලකුණු වේ. එහෙත් අනිද්දා දිනයෙන් පසු දින දෙකක් අරමුණ සිහියට ගැනීම එක දිගට ම සිදුවීමට පටන් ගනී. එසේ වූයේ කෙසේදැයි විමසා බලන්න. අරමුණ සිහිකිරීමේ පුරුද්දට හුරුවීම නිසා එසේ සිදුවන බව අවබෝධ වනු ඇත.

එක දිගට ම තම අරමුණ මෙනෙහි කරන්න. මෙනෙහි කරමින් ඒ අරමුණෙහි හිත තීව්‍රව ගමන් කරන ආකාරයට හිත සකස් කර ගත යුතු ය. අනතුරුවත් වැරැදී ගිය අවස්ථා පවා නැවත නැවතත් පිරික්සා කළ යුතු වේ.

සිල් ආරක්ෂා කරන, භාවනා වඩන හැම දෙනාමත් සිහියෙන්ම සිය කාලය ගත කළ යුතු වේ. අපි මොහොතකට සිතමු අධ්‍යාපනය සඳහා ම හිත යොදවන ලද ශිෂ්‍යයෙකු දිනක දී රූපවාහිනිය නැරඹුවහොත් එම ශිෂ්‍යයාගේ මූලික අරමුණෙන් බැහැරවීම නිසා ශිෂ්‍යයා එහිදී පරාජයට පත්වීමට ඉඩ ඇත. එසේ පරාජයට පත්වීමෙන් තමන්ට විශාල පාඩුවක් සිදු වූ බව තමා කල්පනා කළ යුතුයි. එසේ කල්පනාකර ඊළඟ දිනයේ දි පාඩම් කිරීමට ම සිතිවිලි පහළ වූ ශිෂ්‍යයාට රූපවාහිනිය නැරඹීමේ සිතිවිල්ලක් පහළ වුවහොත්, එදාට ද ඔහු පරාජයට පත්වේ. එසේ පරදින්නේ තමන්ගේ හිතේ පවතින තීව්‍ර ගතිය නොමැති නිසයි. තමා නැවත එබඳු නොපරදින අයුරෙන් තම සිත සකස් කර ගැනීමෙහි දැඩි වීර්යයෙන් කටයුතු කළ යුතුයි. මූලික අරමුණ මෙනෙහි කළ අවස්ථාව අඩු බව තේරුම් ගෙන නිරන්තරයෙන් අරමුණ මෙනෙහි කිරීමෙහි නිරත වන්න.

කවර අරමුණකට යාමේදී වුව ද අපගේ ජීවිතය ඒ අරමුණ වෙත යාමට සිත සකස් කර ගත යුතු බව කල්පනාවට ගන්න.

හිමිදිරියේ පිබිදිය නොහැකි අයෙක්, අරමුණ ඇතිකර ගෙන හිමිදිරියේ පිබිදෙනවා යැයි සිතමු. අපහසුතා, වේදනා ආදී දරාගත නොහැකි කාරණා ඇති විය හැකි ය. අපගේ සිත කෙටි කාලයක් තුළ අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමට පුරුදු පුහුණු කළ යුතු වේ.

යම් කිසිවක් පාඩම් කරන දරුවෙකුගෙන් පැයක තරම් කාලයකින් පසුව කවර වේලාවක් පාඩම් කර ඇද්දැයි අප අසා විමසා බැලුවහොත් බොහෝ දරුවන් ඊට දෙන පිළිතුර විනාඩි විස්සක් යන්න ය. පැයෙන් ඉතිරි විනාඩි හතළිහක් වට පිටාව බලමින් නැතහොත් මේසය මත හිස තබා ගෙන ආදී වශයෙන් කාලය ගත කර ඇති බව පෙනේ.

ජීවිතයට අරමුණක් , අරමුණට සැලැස්මක් තිබිය යුතුයි. ඒ සැලැස්ම ප්‍රායෝගිකව සිදුකළ හැකි ආකාරයට තම මනස, සකසා ගත යුතුය.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුසුකර ගැනීමෙන් අපගේ ප්‍රායෝගික ජීවිතය යහපත් කර ගන්නේ කෙසේදැයි විමසා බැලීම වටිනා කරුණකි.

හැම දෙනාටම ජීවිතයේ අරමුණක් තිබිය යුතු බව පෙරදී සඳහන් කළෙමු. කෙටිකාලීන, දිගුකාලීන වශයෙන් ඒ අරමුණෙහි ම නිරත විය යුතු ය.

බුදුපියාණන් වහන්සේ පාරමී දම් පිරූ සමයෙහි කාලයක, අරමුණකට සැලසුම් සහගත ව ළඟා වූ උතුමන් වහන්සේ නමක්, අරමුණට හැම දෙනාටම සැලැසුමක් තිබිය යුතුයි. බොහෝ විට ඇතැම් අයට ජීවිතයේ අරමුණු නොමැති බව පෙනේ. දවසකට අරමුණක් මෙන් ම, සැලසුමක් ද තිබිය යුතුයි. සංවිධානාත්මක චරිතයක් වනුයේ එවිටය. තමන්ගේ අඩුපාඩු සකසා ගැනීමටයි ඒ අරමුණ සහ සැලැසුම් අවශ්‍ය වන්නෙ, සියලු දේ සඳහා ම අරමුණු නැති අය අරමුණ ඇති කර ගත යුතුයි. ජීවිතයේ බොහෝ අරමුණු ඇති කරගත් අය සිටිති. එහෙත් අරමුණු උදෙසා සාර්ථක ව ළඟා විය නොහැකි වූ අවස්ථා බොහොමයක් තිබේ. ඊට හේතුව වූයේ අපේ අරමුණට අපේ සිතෙන්ම පැමිණෙන ප්‍රතිවිරුද්ධ බලවේගයයි. තමන්ගේම සන්තානය ඒ අරමුණට යා නොදී සිතෙන්ම ඇතිවන බලවේගය ප්‍රධාන ම බාධකය යි. මව,පියා, සහෝදර, සහෝදරියන් -ඤාතීන්, යහළු මිත්‍රයන් ආදියට වඩා තමන්ගේ ඇතුළාන්තයෙන් තමන් ම ආපස්සට අදින බලවේගය යි. දෙපිරිසක් එකතු වී දෙකට බෙදී කඹයක් ඇදීමේ දී වැඩිබර ඇති දෙසට කඹය ඇදී යන්නාක් මෙන් යමක් කරන්න ඕනෑ. එමෙන්ම බෑ යනුවෙන් තමන්ගේ ම සිතෙන් දෙපැත්තකට අදින විට, ඒ අවස්ථාවෙහි ක්‍රියාත්මක වනුයේ වඩාත් බලයක් සහිත වූ ප්‍රබල සිතිවිල්ල වේ. වඩාත් ප්‍රබල හැඟීම ක්‍රියාත්මක වේ. යහපත උදාවන සිතිවිල්ල ප්‍රබල කළ යුතුයි.