Print this Article


කඨින පින්කම්

කඨින පින්කම්

මීරිගම කටුවාකැලේ ධර්ම ගවේෂණ විවේකාශ්‍රමයේ කඨින පින්කම

මීරිගම කටුවාකැලේ කොස්කන්ද වනාන්තරයේ ගිරිලෙන් ආශි‍්‍රතව පවත්වාගෙන යනු ලබන ධර්ම ගවේෂණ විවේකාශ්‍රමයේ , කඨින මහා පින්කම මෙම මස 9 වන දා, සහ10 වනදා දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ආශ්‍රමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අයගම චන්දවිමල නා හිමියෝ පවසති.

09 වනදා සවස 4.00 ට බෝධි පූජාව හා දේව පූජාව පැවැත්වෙන අතර, කොළඹ පිටකොටුව ගෝල්ඩන් ටී සෙන්ටර් හි සිරි රත්නායක සහ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සේවයේ නියුතු අයගම අසංක විමල කීර්ති විට්ටච්චි දෙපළගේ මූලිකත්වයෙන් සිදුකරන කඨින චීවර පෙරහර කටුවාකැලේ නුවන් කුමාර මහතාගේ නිවසින් 10 වනදා අලුයම 2.30 ට ආරම්භ වී උදෑසන 5.00 ට ආශ්‍රමයට ලඟා වීමට නියමිතය.

10 වන දා උදෑසන 5.30 ට කඨින චීවර පූජාව හා ධර්මානුශාසනාව 6.30 ට උදෑසන බුද්ධ පූජාව සහ හීල්දානය 10.30 දවල් බුද්ධ පූජාව 11.00ට සපිරිකර සංඝගත දක්ෂිණාව හා කල්පවෘක්ෂ පූජාව දහවල් 12.30 ට ධර්මානුශාසනාව හා පුණ්‍යානුමෝදනාව 1.00 ආහාර පාන සංග්‍රහයක් ද පැවැත්වේ.

****

හැඩිදෙමළකන්ද දුටුගැමුණු රජමහා විහාරය

ඓතිහාසික හැඩිදෙමළකන්ද දුටුගැමුණු රාජමහා විහාරස්ථානයේ කඨින පින්කම මෙම 8 - 9 දිනයන්හි දී වැලිවිටියේ සුමන නාහිමියන්ගේ අනුශාසනා පරිදි කේ.ජී.හසිත එරංග තරුණ මහතාගේ ප්‍රධාන දායකත්වයෙන් සිදු කෙරේ. නොවැ. 08 දින සවස් භාගයෙහි කඨින වස්ත්‍රය රැගත් පූජා පෙරහර විහාරස්ථ දායක පේරුවල ගමන් කොට 09 දින උදෑසන විහාරස්ථානයට පැමිණ එදින උදෑසන 6.00 ට පමණ පෞරාණික චාරිත්‍ර විධි අනුව කඨින වස්ත්‍රය මහා සංඝරත්නය විෂයෙහි පූජා කරනු ලැබේ.

****

කලපළුවාව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය

රාජගිරිය, කලපළුවාව ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරස්ථානයේ කඨින චීවර පූජා මහෝත්සවය මෙම මස 10 වන දා පැවැත්වේ. ශාස්ත්‍රවේදී උළුවිටියේ අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාවේ අනුශාසක දිල්හාන් සංජීව මහතා ප්‍රධාන පවුලේ පින්වතුන් මෙවර පින්කමෙහි ප්‍රධාන දායකත්වය දරති. කඨින චීවර පූජාවෙන් පසු උදෑසන 50 නමකට සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වේ. කඨිනානිශංස ධර්ම දේශනය පවත්වනු ලබන්නේ 12 දින රාත්‍රී 7.30 ට බොරැල්ලේ කෝවිද හිමියන් විසිනි.

****

කොබවක ශ්‍රී සුමනාරාමය

කොබවක ශ්‍රී සුමනාරාම විහාරයේ කඨින මහා පින්කම් මාලාව මෙම මස 09, 10 දෙදින පැවැත්වේ. 09 වෙනි දින සවස 06.30 ට ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජා, අටවිසි පූජා විදුලි ආලෝක පූජාවක් ද පැවැත්වෙන අතර රාත්‍රී 09.00 ට කොබවක ඒ.ඩී. අබේරත්න මහතාගේ නිවසින් කඨින වස්ත්‍රය රැගත් පෙරහර ආරම්භ වේ. 10 වන දා පෙරවරු 11.00 කඨින වස්ත්‍රය සඟසතු කොට පූජා කිරීම හා සපිරිකර සංඝගත දක්ෂිණාව. ශ්‍රී සුමනාරාම විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි වීරියගම අනුරුද්ධ හිමියන්ගේ මෙහෙයවීමෙන් පින්කම සිදු කෙරේ.

****

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධිකාරී කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ සහ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති මිරහවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන්, මහරගම නාවින්න පාරේ ලලිතා සපරමාදු මහත්මියගේ ප්‍රධාන දායකත්වයෙන් සහ විහාරස්ථ දායක පින්වතුන්ගේ සහභාගීත්වයෙන් කඨින පින්කම මෙම මස 09 සහ 10 යන දෙදින තුළ පැවැත්වේ. 09 වන දා සවස 6.00 ට අෂ්ඨපාන සහිත සත්බුදු පූජාව ද, 10 වන දා පෙරවරු 3.00 ට ලලිත සපරමාදු මහත්මියගේ මහරගම නාවින්න පාරේ අංක 238 දරණ නිවසින් කඨින චීවරය රැගත් පෙරහර පිටත්වීමද. 05.00 ට කිරිපිඬු පූජාව ද, 8.00 ට සුගත චීවර පූජාව, කඨින චීවරය කප්රුක් පූජාව ද, 09.00 ට කඨිනානිශංස ධර්මදේශනාව 10.30 ට ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා 75 නමකට දවල් දානය පිරිනැමීමද සිදු කෙරේ.

****

බෝපිටියේ සීලවංශාරාම පුරාණ විහාරය

පස්යොදුන්රට මතුගම බෝපිටියේ ශ්‍රී සීලවංශාරාම පුරාණ මහා විහාරයේ, කඨින මහා පින්කම නොවැම්බර් 08 වනදා සහ 09 වනදා දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි විහාරාධිපති, පාලින්දනුවර ප්‍රධාන සංඝ නායක, සද්ධර්ම කීර්ති ශ්‍රී මතුගම මංගල නා හිමියෝ පවසති.

දේශීය සංස්කෘතිකාංගවලින් ද සමන්විත මෙවර කඨින චීවරය රැගත් පෙරහර නොවැම්බර් 08 සවස 2.00 ට සතර පේරුවේ බෝපිටිය පාර්ශ්වයේ , අංක 130 “චාමික” නිවසේ පදිංචි නන්දලාල් උදය මුණසිංහ මහතාගේ නිවසින් ආරම්භ කෙරේ. විහාරස්ථ කාර්ය සාධක සමිතියේ සංවිධායකත්වයෙන් පසුදින කඨින චීවර පූජාව සහිත සංඝගත දක්ෂිණාව පැවැත්වේ.

****

වාද්දුව සමුද්‍රාරාම මහා විහාරය

වාද්දුව සමුද්‍රාරාම මහා විහාර ස්ථානයේ, කඨින පින්කම මෙම මස 02 වන දින පැවැත්වීමට වාද්දුව මොල්ලිගොඩ මහා විහාරාධිපති වාද්දුව සමුද්‍රාරාමාධිපති , වාද්දුව සිරි මහ මිහ¼ිදු පිරිවෙන්හි කෘත්‍යාධිකාරි ශාස්ත්‍රපති බෝපිටියේ ධම්මිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා තිබිණි.

මෙවර කඨින පූජෝත්සවයේ දායකත්වය දරන පානදුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීනි චන්ද්‍රලතා පෙරේරා මහත්මිය ගේ නිවසින් දෙවැනි දින අළුයම 3.00 පිටත් වී වීථි සංචාරය කිරීමට කටයුතු යොදා තිබිණි.

විහාරස්ථ කුළඟන සමිතිය, බෞද්ධ සමිතිය, දායක සභාව ඇතුළු ගම්වාසී දායක පිරිස පින්කම සංවිධානය කර තිබිණි.

****

කොටුගොඩැල්ල පුරාණ විහාරය

මහනුවර, කොටුගොඩැල්ල පුරාණ රජමහ විහාරයේ කඨින පින්කම මෙම මස 8, 9 දිනයන්හී පැවැත්වේ. 8 වෙනිදා සවස බෝධි පූජාවක් රාත්‍රී ධර්ම දේශනාව ශාස්ත්‍රපති පොළොන්නරුවේ සුමනසාර නාහිමි විසින් ද රාජකීය පණ්ඩිත මාතලේ අරියධම්ම හිමි විසින් පවත්වනු ලබන ධර්මදේශනාවක් ද මල්වතු මහා විහාරාධිවාසි අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ශාස්ත්‍රවේදී අමුණුගම ශ්‍රී සිරිනිවාස හිමියන්ගේ මූලිකත්වයෙන් සහ නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී කොරටියේ පේමරතන හිමියන්ගේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය සංජය සිල්වා මහතා විසින් දරණු ලබයි. 9 වෙනිදා දවල් මල්වතු මහා විහාරයීය මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන කඨින චීවර සහිත දක්ෂිණාවකි.

****

හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරය

අඹතැන්න, හපුගොඩ, ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරාධිපති උප ප්‍රධාන අධිකරණ සංඝ නායක ශාස්ත්‍රවේදී පණ්ඩිත බටුගොඩ සංකිච්චායන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කඨින පින්කම මෙම මස 2 සහ 3 දිනවල පැවැත්වීමට නියමිතව තිබිණි.

****

දෙගල්ලස්සේගෙදර

පොතුහැර, මහපිටිය, දෙගල්ලස්සේගෙදර ශ්‍රී සංඝබෝධි පරමානන්ද පුරාණ විහාරස්ථානයේ කඨින චීවර පුණ්‍ය මහෝත්සවය මෙම මස 9 හා 10 යන දිනයන්හි මාබෝපිටියේ විමලඤාණ හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. 09 වන දින රාත්‍රී 07.00 ට විශේෂ ධර්ම දේශනාවක් කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති දෙණිකේ ආනන්ද හිමියන් විසින් ද පසුදින අලුයම 03.00 ට පමණ දෙගල්ලස්සේගෙදර විශ්‍රාමලත් පාඨශාලාචාරිණි ඩබ්ලිව්.එල්.ටිකිරි මැණිකා උපාසිකා මාතාවගේ නිවසේ සිට කඨින වස්ත්‍රය පෙරහරකින් විහාරස්ථානයට වැඩමවන අතර දවල් සාංඝික දානමය පින්කම හා කඨින චීවර පූජාව පැවැත්වීමට විහාරස්ථ දායක සභාව කටයුතු සංවිධානය කර ඇත.

****

හබරණ ශ්‍රී සම්බෝධි විහාරය

හබරණ දඹුල්ල පාර ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ කඨින පින්කම මහරැඹෑවැවේ පාලිත හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 9,10 දිනවලදී සිදු කෙරේ. කඨින වස්ත්‍ර පූජා පින්කම කමල් විජේසූරිය මහතා ප්‍රධාන එම පවුලේ පින්වතුන්ගේ ප්‍රධාන දායකත්වයෙන් හා විහාරස්ථ දායක පිරිසෙහි මෙහෙයවීමෙන් පැවැත්වේ.

****

නාරම්මල ශ්‍රී විජයවර්ධනාරාමය

මී වැව, නාරම්මල ශ්‍රී විජයවර්ධනාරාම පුරාණ මහා විහාරයේ කඨින පින්කම ගෞරව ශාස්ත්‍රවේදී දෙනිපිටියේ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මස 9 - 10 දිනවල දී පැවැත්වේ. කඨින වස්ත්‍ර පූජා පින්කම පාරලාවත්තේ ගංගානි දසනායක මහත්මිය ඇතුළු පවුලේ සැමගේ ප්‍රධාන දායකත්වයෙන් සහ සුචරිත තරුණ බෞද්ධ සමිතිය, සුචරිත දහම් පාසලේ සහ දායක පිරිසෙහි සහභාගීත්වයෙන් පැවැත්වේ.

****

හැඟව ශ්‍රී සුධර්මාරාමය

පන්නල හැඟව ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ කඨින චීවර පූජෝත්සවය මෙම මස 08 සහ 09 යන දිනවල සිදු කෙරේ. කඨින චීවරය රැගත් රිය පෙරහර 08 දින රාත්‍රිය පුරා සතරපේරුවේ ප්‍රදක්ෂිණා කිරීමට නියමිත ය. 09 දින කඨින චීවර පූජාව සහ 50 නමක් විෂයෙහි සඟසතු දානමය පින්කමකි. මාරස්සන මහින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි හැඟව ශ්‍රී පුණ්‍යවර්ධන දායක සභාව, සංඝමිත්තා කුළඟන සමිතිය, ශ්‍රී සෝමානන්ද දහම් පාසල ඒ සඳහා අනුග්‍රහය ලබා දී ඇත.

****

කිරිබත්කුඹුර පුරාණ විහාරය

කිරිබත්කුඹුර පළදාව පුරාණ විහාරාධිපති දෙනුවර ප්‍රධාන සංඝනායක විශ්‍රාමික පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත කිරිබත්කුඹුරේ සීවලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ කඨින පූජෝත්සවය මෙම 9 සහ 10 දිනයන්හි පැවැත්වේ. කේ. බණ්ඩාරනායක

****

දියගම සුධර්මාකර විහාරය

කළුතර දියගම ශ්‍රී සුධර්මාකර පුරාණ විහාරස්ථානයේ කඨින පින්කම මෙම මස 7, 8 වන දෙදින තුළ පැවැත්වේ. රාත්‍රී 7.00 ට කඨින වස්ත්‍රය රැගත් පෙරහර බරාහුපොල ඇග්නස් පීරිස් මහත්මියගේ නිවසෙන් පිටත්වේ. ගල්පාත සමූහ, එච්.සී. ඥාණපාල

****

කටුකුරුන්ද වාලුකාරාමයේ සම්බුදු මැදුර විවෘත කෙරේ

මොරටුව කොරළවැල්ල කටුකුරුන්ද වාලුකාරාමයේ අභිනව විහාර මන්දිරය විවෘත කිරීම මෙම මස 01 වනදා සිදුකිරීමට නියමිතව තිබිණි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් තෛ‍්‍රනිකායික මහා සඟරුවන සහ දෙස් විදෙස් සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් එම පින්කම සිදු කෙරේ. විහාරාධිපති නෑහින්නේ අරියඤාණ හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව එම පින්කම සංවිධානය කර ඇත. රත්නසිරි පතිරණ