Print this Article


පහන් සිතක කවි

මුනුබුරාණෙනි

හරිම දුක යි අපගේ ජීවන ගමන
බුදු මඟ ගියොත් දුක අඩුවෙයි යන ගමන
මව් පිය දෙපළ රැක යන සසරේ ගමන
පින් පිරෙනවා මුනුබුර, ඔබ හට භව ගමන

කාලය මාව ඇදගෙන යනවා මිය යන්න
මිනිසත් බවක් ලැබුණොත් පින්දම් කර ගන්න
නොතැවී නොහඬා බුදු හිමිට කන් දෙන්න
අත්තම්මාට හැකි වෙයි පින පව පවසන්න

****

ගමන

විශ්ව නීති සමුදායයි බුදු හිමි පවසන්නේ
මෙත් කරුණා මුදිතා ගුණ සිත් සනසන්නේ
එසේ නොවන්නන් සසරේ දිගු ගමනක් යන්නේ
බුදු සමිඳුගෙ බණ දහමෙන් අපි නිවන් ලබන්නේ

****

කඨින පින්කම

යෙදෙන පුන් පොහෝ දිනයට පෙරැළී ඉල් මාසේ
සඟරුවන වෙත කඨින පුද කළ යුතු ය සිව් දෙසේ
සවන බුදු සමිඳු දෙසු විනය සික පද ලෙසේ
කඨින පින්කම් කරන බොදුනු දන හඬ ඇසේ

****

ලෝකය

ලෝකය
අකුරු
වචන හරඹයක්
සුදු මුදු
සුන්දර සුකොමළ බව
කොහිද තියෙන්නෙ
වචනෙ ඇතුළෙද
නෑ ලෝකය මායාවක්
සිතින් මවාගත්
සංකල්ප ගොඩක්

****

මව

මවකගෙ ආදරය සෙනෙහස අපිරිමිත
ඈ විඳි ගැහැට දරුවන් වෙනුවෙන් දියත
දිනෙක කොතැනක කවුරු ලියුවත්
දිනෙක කොතැනක කවුරු ගැයුවත්
ලියුවත් ගැයුවත් මගෙ මව ගැනම යි

****

දඹදිව යමු

බුදු හිමි සිහි කරන් තුන් සිත පහද ගෙන
බුදු හිමි දෙසූ සේ සිව් තැන් වැඳ පුදා ගෙන
අරමුණ ලෙසින් නිති කුසලය දරා ගෙන
අපි සොම්නසින් යමු දඹදිව සොයා ගෙන

මනසින් දකිමු බුදු හිමි වැඩ සිටි අයුරූ
නුවණින් වඳිමු බුදු හිමි බණ දෙසු අයුරූ
සතුටින් වඳිමු වැඩ සිටි තැන් ඒ සොඳුරු
නිවනින් නිවෙමු දුරලමු බව දුක් අඳුරු

****

දැක්ම

දුටුවෙමි දෙවොලක්
නද දෙන සීනු හඬ
දැල්වෙන පහන් සිළු
පැතිරෙන සුවඳ දුම්
එකිනෙක පෙළ ගැසෙයි
කැවිලි පලතුරු වට්ටි
යහන මත පුද පඬුරු
අරමුණු ඉටු කර
පිහිට ලැබ දෙන්න
යාතිකා හඬ නඟන
හැරුනෙමි ආපසු
තුරු සෙවණක වාඩි වී
දෙනුවන් වසාගෙන
ගත කළෙමි මොහොතක්
මනසින් මවාගත්
හදවතේ බුදු කුටියෙ
සත්‍යයේ ආලෝකය
සදහම් සුගන්ධය
ගත සිත සැනසුනි
පා නඟයි ඉදිරිපිට
විශ්වයේ ශක්තියෙන්
බුදු පිහිට ලැබගෙන
අම නිවන දකින්නට

****

සිල් සුවඳයි මල් සුවඳයි

පුර අටවක පෝය අද යි
නිල් ගුවනේ සඳ පලුව යි
අතන මෙතන තරු ද දිලෙ යි
වෙහෙරේ රන් කොත බැබළෙ යි

පුර අටවක සඳේ රැසින්
වෙහෙරේ බෝ මළු දිදුල යි
සිල් සුවඳ යි මල් සුවඳ යි
පහන් වැටේ පහන් දිලෙ යි

****

කඨිනයේ අනුහස්

වස් තුන් මාසයේ ගොස් ළඟ ඇති පන්සලට
සිත් සන්තොසින් තෙරුවන් ගුණ සමා කොට
පින් දම් කළා මල් දම් තෙල් පුදා සිට
ඒ පින් බලෙන් යන්නෙමි සුර විමානෙට

මහ සඟ රුවන වඩමා ගෙන උදයේ ම
පිරිකර කැප කළා හිමිදිරි යේ ම
දන් පැන් පුදා සැදැහැති දන හැම ගේ ම
ආසිරි ලබා ගත්තා සතොසින් සැමගේ ම

****

නිවන සොයා

පවන සුව යි බෝපත් සිපගෙන හමන
සෙවණ නිවයි ගත දාහය දෙන ගිමන
සවන යොමයි නම් තම තම නැණ පමණ
නිවන තම යි කෙළවර සසරේ ගමන

****

සම්බුදු දහම යි අනියත දිවියයි

විසිතුරු සුවදැති මල් විකසිත වෙයි දස අත හැම පැත්තේ
උදයට පිබිදී සවසට පරවෙයි මේකයි ලෝ දහමේ තත්ත්තේ
අනියත දිවියක් පවසන විශ්වය බැහැ හංගන්නට මිහි මත්තේ
නිති පිළිතුරු දෙයි සම්බුදු දහමින් පිරිසුදු කර දී හද චිත්තේ

****

පින්බිම

අනුරපුරේ විසිතුරු ඇත කියන්නට
කෙතරම් පැවසුව ද තතු නැහැ නිමාවට
බුදුන් වැඩිය ඒ පින් බිම වඳින්නට
සෑම දෙනා යමු නිවනින් නිවෙන්නට

****

දවසේ ආරම්භය

පාසල් බස් රථය අලුයම හයට එතී
අපගේ නිවස අසලම එය ගමන් ගතී
තවත් ළමෝ සමඟින් බසයට නගිතී
මේ බස් රථය පාසල වෙතටම දුවතී

ළමා කැළගේ සුරතේ මල් වට්ටියක් ඇත
එය දුටු සැමගේ ම සිත පිවිතුරු ව ඇත
හදවත දිවෙන්නේ සම්බුදු පිළිමෙ වෙත
උදයේ සවස පිවිතුරු දහමට යි සිත

****

වෙහෙර බෝ මළු ඇම ද

ගිලන් පසින් මල් පහන් පුදාලා
බුදුන් වැඳලා ගුරුන් නම දී
අපේ පොඩි හාමුදුරුවෝ
කළ යුතු වත පිළිවෙත
නිම කොට වඩා මෙත් සිත
ගුරු හිමියන්ගෙ පා වැඳ
සැතපෙයි බවුන් වඩා
අපේ පොඩි හාමුදුරුවෝ

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස එළඹෙන ඉල් පුර පසළොස්වක පෝදා (නොවැම්බර් 12) සිට දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.