Print this Article


පූජාච පූජනියනං

අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහ නා හිමි

අම්බලන්ගොඩ පොල්වත්තේ ඕ. ලුවිස් සිල්වා සහ තුයියගම්හේවා සාඤ්චිහාමි දම්පතීන්ගේ පුත්ව 1887 ජුලි 23 දින ඉපිද 1899 නොවැම්බර් 02 දින පොල්වත්ත අග්ගාරාමාධිපති පෝරඹ ධම්මාධාර රාජගුරු නා හිමි වෙතින් පැවිදිබව ලද්දේ ය. ගුරු හිමි ඇසුරින් බණ දහම් පොත පත කියවමින් මහත් දැනුමක් හිමි කර ගත්හ.

1902 දී බුරුමයට මුලින්ම වැඩියහ. යළි 1907 දී වැඩමවා එහි අභිධර්ම විභාගයෙන් ඉහළින් සමත් විය. උන්වහන්සේ බුරුමයේ ස්වර්ණ මණි විජ්ජාන මන්දිරයේ දී උපසම්පදාව ලබා 1911 දී යළි ලක්දිවට වැඩම කරවන ලදී.

බුරුම බසින් 1908 පොත් ගණනාවක් ලියූ අතර උන්වහන්සේගේ මුල්ම සිංහල පොත වූයේ 1911 පළවූ අභිධර්ම මාතෘකා ස්වරූපය යි. පාලි බසට කළ සේවාව විශාල ය. පාලි භාෂාවතරණය 1, 2, 3 පාලි සිංහල අකාරාදිය, පාලි වාක්‍යය රචනාව ආදී බොහෝ ග්‍රන්ථ උන්වහන්සේ ලියු ග්‍රන්ථ අතර වේ. වියතුන් සමග අදහස් හුවමාරු කළේ පාලි භාෂාවෙනි.

සිංහල, පාලි, සංස්කෘත, බුරුම, ඉංගී‍්‍රසි, රෝම ආදී විවිධ භාෂාවන්ගෙන් පොත්පත් ලියූ බුද්ධදත්ත හිමියෝ විවිධ පොත් සංස්කරණය කළහ. සමය සමයාන්තර ඥානය, ග්‍රන්ථ විශාරදත්වය, බහුශ්‍රැත භාවය, පාණ්ඩිත්‍යය, බුද්ධි ප්‍රභාව උන්වහන්සේගේ ථෙරවාදී බෞද්ධාචාරියයෝ භාරතීය බෞද්ධාචාර්යයෝ අටුවා පරීක්ෂණ හා අටුවා කථා වත්ථු ග්‍රන්ථ පෙන්වා දෙයි.

1923 දී ආනන්ද විද්‍යාලයේ පාලි ආචාර්ය ධූරයට පත් උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ධුරයකට ද පත් වූ හ.

සිය ගුරු හිමි අපවත්වීමෙන් පසු 1936 දී අග්ගාරාම විහාරාධිපතිත්වයට පත් උන්වහන්සේ 1953 දී ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අනුනායක ධූරයට ද, 1957 දී මහානායක ධූරයට ද පත්වෙමින් විශාල මෙහෙවරක් සිදුකළහ. කල්‍යාණිවංශ නිකාය, කල්‍යාණි ශිලා ලිපි, කල්‍යාණි ශාසන වංශය ආදී ග්‍රන්ථ ගණනාවක්ම ලියමින් නිකාය පිළිබඳ බලවත් හැඟීමකින් ක්‍රියා කළහ.

ලංකා බෞද්ධ මණ්ඩලය, ත්‍රිපිටක පරිවර්තන මණ්ඩල, බෞද්ධ විශ්ව කෝෂය සාහිත්‍ය උපදේශක මණ්ඩලය ආදියෙහි කටයුතු කළ උන්වහන්සේ සමස්ත ලංකා භික්ෂු සම්මේලනය තුළින් ජාතික ආගමික ශාසනික ආදී විවිධ කරුණු පිළිබඳව කටයුතු කළහ.

1956 ඔක්තෝබර් 20 දින ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙන් සම්මාන පණ්ඩිත උපාධිය ලද උන්වහන්සේ 1956 දී ලංකාදීප පත්‍රයෙන් සාහිත්‍ය කීර්ති ගෞරව සම්මානයෙන් පිදුණි.

විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙහි බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රථම මහාචාර්ය වූ බුද්ධදත්ත හිමියන්ට එම විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්තී උපාධියද විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද පිරිනැමිණි.

බුරුමයේ පැවති ජට්ඨ සංගායනාවේ පුරෝගාමී වූ උන්වහන්සේ, අග්ගමහා පණ්ඩිත නමැති බුරුම රජයෙන් පිරිනැමෙන ඉහළම ගෞරවයෙන් පිදුම් ලැබුහ.

තෙවළා දහමට, බුද්ධ ශාසනයට මෙන්ම ශාස්ත්‍රීය හා නන් ලෙසින් අනූපම අමිල සේවාවක් කළ දේශ දේශාන්තර පතළ කීර්තිධර මේ මහා පඬිරුවන 1962 නොවැම්බර් 09 දින අපවත් වී වදාළහ.

බුද්ධදත්ත නාහිමි සමරු මුද්දර, බුද්ධදත්ත විද්‍යාලය, බුද්ධදත්ත මාවත, බුද්ධදත්ත ප්‍රතිමා ආදියෙන් උන්වහන්සේට ගෞරව කර සිහිපත්කර ඇත. උන්වහන්සේගේ 57 වන ගුණසමරු පුණ්‍යෙීත්සවය අග්ගාරාමාධිපති, අමරපුර කල්‍යාණිවංශ නිකායේ අනුනායක නින්දානේ වජිරඤාණ මාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් අග්ගාරාම විහාරස්ථානයේ දී සිදුවෙයි. පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහානායක හිමිපාණන් වහන්සේට නිවන් සුව අත්වේවා.

****

මහාචාර්ය කොටගම වාචිස්සර හිමි

දෙහිවල, පාමංකඩ ශ්‍රී මහා විහාරාධිවාසී ව වැඩ විසූ විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ බුද්ධ ධර්මය හා පාලි අධ්‍යයන අංශයේ පීඨාධිපති, පණ්ඩිත මහාචාර්ය කොටගම වාචිස්සරාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෙර අපර දෙ දිග භාෂා ශාස්ත්‍රයන් පිළිබඳ ප්‍රවීනත්වය ලැබූ මහා පඬිවරයෙකි.

සබරගමු පළාතේ කොටගම ග්‍රාමයේ දී රත්නායක මුදියන්සේලාගේ සෝමපාල බණ්ඩාර රත්නායක නිලමේ නමින් 1917 නොවැම්බර් මස 15 වන දින උපත ලද පින්වත් කුමරුගේ පියා රත්නායක මුදියන්සේලාගේ උක්කු බණ්ඩාර ගම්පති නිලමේතුමා විය. පණ්ඩිතරත්න මුදියන්සේලාගේ හාමු මැණිකේ මව වූවා ය.

පින්නවල ද්විභාෂා පාඨශාලාවෙන් අධ්‍යාපනය ලබමින් පසුවන විට පුරාකෘත පුණ්‍ය මහිමය නිසාම පාමංකඩ ශ්‍රී මහා විහාරය වෙත පැමිණ පැවිද්දට අවශ්‍ය වත් පිළිවෙත් ඉගෙන පාමංකඩ ශ්‍රී මහා විහාරය, කළුබෝවිල ශ්‍රී සුනන්දාරාමය යන උභය විහාරාධිපති කෝදාගොඩ ශ්‍රී පඤ්ඤානන්දාභිධාන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ අනුනායක හිමි පාමංකඩ ශ්‍රී මහා විහාරය කළුබෝවිල ශ්‍රී සුනන්දාරාමය යන උභය විහාරාධිපති කෝඹල මේධානන්ද මාහිමි, ඉමදූවේ සීලරතන මාහිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස 1928 දී කොටගම වාචිස්සර හිමි නමින් පැවිදි දිවියට ඇතුළත් විය.

1932 දී මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් ව 1937 දී ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් ගෞරව සාමාර්ථය ලැබ ගුණසේන ත්‍යාගය හිමිකරගත් අතර 1939 දී ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිට භාෂාත්‍රය ම ගෞරව සහිත සාමාර්ථය ලැබ රූපසිංහ ත්‍යාගය, එඩ්මන්ඩ් හේවාවිතාරණ ත්‍යාගය හා නීල් හේවාවිතාරණ ත්‍යාගය හිමිකර ගත් හ. 1941 දී විද්‍යෝදය අවසාන වර්ගයේ ප්‍රමුඛයාට පිරිනමන ස්‍යාම රාජ ත්‍යාගය ද 1943 ප්‍රාචීන පණ්ඩිත පරීක්ෂණයේ දී පාලි, සංස්කෘත, ප්‍රාකෘත, ඉතිහාසය , පුරා විද්‍යාව, තර්ක ශාස්ත්‍රය ආදී විෂයන්ගෙන් ගෞරව පන්තියේ පළමු වැනියා වෙමින් උභය ශේඛර ස්වර්ණ මුද්‍රිකාව දිනාගත්හ. 1945 දී මහනුවර ධර්මරාජ විදයාලයේ ඉංගී‍්‍රසි අධ්‍යාපනය ද ලැබූ අතර 1951 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති ආදී උපාධි ලැබූ උන්වහන්සේ එංගලන්තයේ ලිඩ්ස් විශ්ව විද්‍යාලයෙන් ළමා මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ද 1961 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයේ දී වැලිවිට සරණංකර නාහිමි සහ බුද්ධ ධර්මයේ පුනර්ජීවය නම් නිබන්ධනය ඉදිරිපත් කොට ආචාර්ය උපාධිය ලැබූහ.

1962 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලැබු අතර මහාචාර්ය රීඩ්ස්, මහාචාර්ය ලෝරි, මහාචාර්ය වර්නන් යන සම්භාවනීය උගතුන් සමඟ මනෝ විද්‍යාව හා අධ්‍යාපන විද්‍යාව පිළිබඳ පර්යේෂණ පැවැත් වූ හ.

1942 දී කෝට්ටේ ශි‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ භික්ෂුවක් ලෙස උපසම්පදාවට පත් උන්වහන්සේ 1945 සිට මහනුවර ධර්ම රාජ විද්‍යාලයේ බුද්ධ ධර්මය ආචාර්යවරයා ලෙස ද කොළඹ ආනන්ද විද්‍යාලය , එංගලන්තයේ ලීඩ්ස් නගරයේ මොඩන් ග්‍රැමර් හා මොඩන් ස්කූල් ඔෆ් බ්‍රිටන් යන විද්‍යාලවල ආචාර්යවරයෙකු ලෙස ද, 1966 වසරේ සිට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ බුද්ධ ධර්මය හා පාලි අධ්‍යයන අංශයේ පීඨාධිපති ලෙස ද සේවය කළේ ය.

සරණංකර සංඝරාජ සමය ග්‍රන්ථය ලියා 1961 වසරේ හොඳම සාහිත්‍ය කෘතිය සඳහා පිරිනමන ප්‍රථම ත්‍යාගය ද දිනා ගත්හ . පාසල් සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා බුදු දහම ග්‍රන්ථය ද ලියා පළ කළ වාචිස්සර හිමියෝ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළහ. සද්ධර්ම රත්නාවලිය, හංස සංදේශය, එළු අත්තනගලු වංශය ආදී කෘති සංස්කරණය කළ අතරම, විවිධ පුවත්පත්, සඟරා සඳහා ද සිය ගණනක් ලිපි සැපයූහ.

මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නාහිමියන් සමඟ ලන්ඩන් බෞද්ධ විහාරයේ දී මෙන්ම ඔක්ස්ෆඩ්, කේම්බ්‍රිජ්, ලීඩ්ස් ආදි විශ්ව විද්‍යාලවල ද චීනය, රුසියාව, ජර්මනිය, ඉන්දියාව, මොන්ගෝලියාව ආදි රටවල මෙන්ම ලංකාවේ ද දහස් ගණන් ධර්මශාලා, වේදිකා, උත්සව, ශාස්ත්‍රීය සාකච්ඡා, සංඝ සභා ආදී ස්ථානවල ද සිය හඬ අවදි කළහ.

වටිනා දිවි පෙවතක් ගත කළ මාහිමියෝ 1969 අගෝස්තු 19 වන දින අපවත් වී වදාළහ. මාහිමි අපවත්වීමෙන් පනස්වසරක් සපිරීම නිමිති කරගෙන හිරිවඩුන්න මහා විද්‍යාලය අසලින් කොටගම ගමට පිවිසෙන මාර්ගය මහාචාර්ය කොටගම වාචිස්සර මාහිමි මාවත නමින් නම් කිරීම හා ගුණ සමරු උත්සව සභාවක් පැවැත්වීමට සිය ඤාතිවර රඹුක්කන, දියසුන්නත කීර්ති ශ්‍රී රාජසිංහ පිරිවෙන් රාජමහා විහාරාධිපති, සතර කෝරළ මහා දිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ප්‍රවීනාචාර්ය කොටගම සිරි චන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන රත්නායක පවුලේ පිරිස කටයුතු යොදා ඇත.

මහාචාර්ය කොටගම සිරි වාචිස්සරාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා !