ධර්ම දානය
ලාභ කීර්ති ප්‍රශංසාදිය ගැන අපේක්ෂාවක් නැතිව, කරුණාධ්‍යාශයෙන්, පින්පව් හඳුන්වා
දීම් වශයෙන් දහම් දෙසීම ධර්ම දානය ය. සත්ත්වයන් නිවන් මගට පමුණුවනු සඳහා ආර්ය
සත්‍යයන් දක්වා දහම් දෙසීම ශ්‍රේෂ්ඨතර ධර්ම දානය ය.
රේරුකානේ චන්දවිමල මහා නා හිමි |
ධර්මකථිකයන්ලවා ධර්මය කියවීම ද, බණ නො අසන්නන්ලවා බණ ඇස්වීම ද, බණ පොත් පත් ලියවීම
හා මුද්‍රණය කරවීම ද, බණ පොත් මිලට ගෙන පූජා කිරීම ද, ධර්මය ඉගෙන ගන්නවුනට පොත පත
සපයා දීම ද, ධර්මයාගේ චිරස්ථිතිය සඳහා ධර්මය උගන්වන ගුරුවරයනට හා උගන්නා ශිෂ්‍යයන්ට
උපකාර කිරීම ද, පොත් ගුල් දහම් හල් කරවීම ද, ධර්මයාගේ චිරස්ථිතිය හා ව්‍යාප්තිය
පිණිස කළ හැකි කිනම් දෙයක් වූවත් කිරීම ද ධර්ම දානය ම වන්නේ ය.
දානයන් අතුරෙන් ධර්ම දානය අග්‍ර දානය වේ. යමෙකුට සක්වළ ගැබ පුරා අතුරු සිදුරු නැති
ව වැඩ සිටින්නා වූ බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාට කෙසෙල් ගොබ සේ මටසිලුටු
සිවුරු පිදිය හැකි වේ නම් එය අතිවිශාල චීවර දානයෙකි. ඒ අතිවිශාල ආමිෂ දානයට වඩා
එතැනට රැස් වූ පිරිසට අනුමෝදනා වශයෙන් සතර පද ගාථාවකින් දහම් දෙසීම් වශයෙන් කරන
ධර්ම දානය ම උතුම් වේ. ඒ මහා චීවර දානය, එක් ගාථාවකින් දහම් දෙසීමේ කුසලයෙන් සොළොස්
වෙනි කලාව තරම්වත් නො වටිනා බව දක්වා තිබේ. තව ද සක්වළ පුරා වැඩ සිටින බුදු, පසේ
බුදු, මහරහතන් වහන්සේලාට පාත්‍රා පුරා දෙන මහා ආහාර දානයට ද, එසේ ම පාත්‍ර පුරා දෙන
ග්ලානප්‍රත්‍යය දානයට ද, මහා විහාරයන් වැනි විහාරයන් ලක්ෂ ගණනක් කරවා, ලෝවාමහාපාය
වැනි ප්‍රාසාදයන් ලක්ෂ ගණනක් කරවා පවත්වන මහා සේනාසන දානයට ද වඩා, ජේතවනාරාමය සඳහා
අනේපිඬු සිටුහු විසින් කළ පරිත්‍යාගයට ද වඩා, සතර පද ගාථාවකින් පවත්වන ධර්මදානය ම
උතුම් බව දක්වා තිබේ. කුමක් හෙයින් ද යත්? එබඳු දානයන් දෙන්නාහු දහම් ඇසීම නිසා ම
දෙන බැවිනි. මේ සත්ත්වයෝ දහම් නො ඇසුවෝ නම් යටත් පිරිසෙයින් කැඳ සැන්දක් පවා පිනට
නො දෙන්නාහු ය. එබැවින් සියලු ම දානයන්ට වඩා ධර්ම දානය උතුම් වේ.
“සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බ රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්මරතිං ජිනාති
තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති”
ධර්මදානය තෙමේ සියලු දානයන් දිනන්නේ ය. හෙවත් යට කරන්නේ ය. ධර්ම රසය සියලු රසයන්
දිනන්නේ ය. ධම්රතිය (ධර්මයෙහි ඇල්ම) සියලු රතීන් දිනන්නේ ය. තෘෂ්ණාක්ෂයය සකල දුක්ඛය
දිනන්නේ ය.
බෞද්ධයාගේ අත්පොත ඇසුරින් |