Print this Article


බෝධි පූජා පින්කම

බෝධි පූජා පින්කම

බුද්ධ ගයා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා බුදුරජාණන් වහන්සේ ම ගෞරවය පුද කරලා , සද්පුරුෂ ධර්මය ලෝකයට පෙන්නුම් කළා. බෝධි පූජාව, බුද්ධ පූජාව, ඥාන පූජාව, කෙසේ හෝ කරනවා නම්, එය එකම පූජාව යි. එනම්, බුද්ධ පූජාව යි.

සෝවාන් , සකෘදාගාමී, මාර්ග ඵල ඥානයන් බෝධි නම් වෙයි. චතුරාර්ය සත්‍යයට, සර්වඥතා ඥානයට, ඇසතු බෝධියට බෝධි යනුවෙන් සඳහන් කරයි. තව ද බුද්ධත්වයට සහ අවබෝධයට ද බෝධි යනුවෙන් සඳහන් කරයි. මෙවැනි අර්ථ රාශියකට බෝධි වදන ව්‍යවහාර කරයි. බෝධිය හටගන්නේ බුද්ධ ගයාවෙහිය. ලොව පහළ වන සියලු බුදුවරු බුද්ධත්වයට පත් වන්නේ බුද්ධ ගයාවේ දී ම පමණ යි. තවත් වෙනස් නොවන පුදබිම් තුනක් තිබෙනවා. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කරන බරණැස ඉසිපතනාරාමය. සැවැත් නුවර ජේතවනාරාමය. සංකස්සපුරය ආදී ස්ථාන සතර සියලු බුදුවරයාණන් වහන්සේලා එකසේ පරිහරණය කරන බැවින් එය අවිජහිතඨාන නම් වෙයි. එනම් අත් නොහරින ස්ථාන සතර යි. අනෙක් ස්ථාන විවිධාකාර වෙයි. නමුත් බෝසත් උපත, පරිනිර්වාණය, වෙහෙර විහාරස්ථාන වෙනස් වෙනවා.

බෝධි කියන නාමය කොයි කාටත් හුරු පුරුදු යි. බෝධි පූජාව ගෞරව බහුමානයෙන් කළ යුතු යි. බෝධීන් වහන්සේ වටා ශුද්ධ පවිත්‍ර කළ යුතු යි. අතු පතු ගා මල් ආසන සේදිය යුතු යි. පරණ මල්, පරණ කොඩි, බෝධි පූජා භාජන හොඳින් මැද පිවිතුරු කළ යුතු යි. පහන් වැට හොඳින් පිවිතුරු කළ යුතු යි. පරණ පහනට ම තෙල් යොදා නොදල්වන්න. පරණ මල් වට්ටියට ම මල් යොදා පූජා කරන්න එපා. හොඳින් පිරිසුදුවට ගෞරවයෙන් එක පහනක් , එක මල් වට්ටියක් පූජා කළත් වටිනවා. ගිලන් පස ටික ද එසේ ම යි. කිසිවිටකත් සිටගෙන වඳින්න පුරුදු වන්නට එපා. කවුරුත් දණ නමා නළලත බිම තබා නමදින්න. පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළ යුතු යි. දෙදණ, දෙවැලමිට, නළලත පොළොවට ස්පර්ශ වන සේ වැඳ නමස්කාර කරන්න. මේ සඳහා පත් කඩය භාවිතයට ගන්න. බුද්ධ ගයාව වන්දනාවට යන බොහෝ දෙනා වැඳ නමස්කාර කරන්නේ සිටගෙන යි. බලන්න අවාසනාව ලක්ෂයකට අධික මුදලක් වැය කරගෙන වන්දනාවට ගොස්, හිටගෙන වන්දනා කර , අපත් බුද්ධගයාව වැන්ද’යි කියනවා. නමුත් නිවැරැදිව වැඳ නමස්කාර කර නැහැ. පිනක් නිවැරැදි ව සිදු වුණේ නැහැ. බුදු ගුණ සජ්ඣායනාවෙන් ප්‍රදක්ෂිණා කළ යුතු යි. බුදු ගුණ ම ගායනා කළ යුතු යි. ගෞරවයෙන් පූජා සත්කාර කළ යුතු යි. පසෙකට වී සිහි කල්පනාවෙන් යුක්තව ගේ දොර, මග තොට ගැන කල්පනා නොකර ශ්‍රද්ධාවෙන් ම වැඳ නමස්කාර කළ යුතු යි

තමන්ගේ කඨිනයක් වුවත් තමන්ම පමණක් ගෙන යන්නේ නැතිව වෙනත් අයකුගේ හිස මතින් ගෙන යනවා නම්, මාන්නය එන්නේ නැහැ. තමන්ටත් බුදු ගුණ, සඟ ගුණ සජ්ඣායනා කරමින් ඒ පෙරහරේ යන්න පුළුවන්. මගේ කඨිනය කියමින් මමත්වයෙන්, උඩඟුකමෙන් පමණක් පින්කම් නොකරන්න. එසේ වුවොත්, පහළ වන්නේ පාපී සිත්. එවිට කිසිම දිනක පින්කම් කළත් සැප විපාක නොලැබෙයි. එසේනම්, සිතේ පිරිසුදු භාවයෙන් ම දාන , ශීල, භාවනා, පින්කම් කරන්න. බුද්ධ පූජා, වන්දනා මාන කරන විටත් සිතේ පිරිසුදු භාවයෙන් කළ යුතු යි. . එක බෝධි පූජාවක් කර කල්ප ලක්ෂයක් සැප විඳි බව කියන චරිත තිබෙනවා. ඒ නිසා කවුරුත් සිතෙහි ඇති පවිටු අදහස් ඉවතලා, හැකිතාක් පිරිසුදු බුදු ගුණ ම මෙනෙහි කරමින්, මෛත්‍රී භාවනාවෙන් කරන පින්කම බාල වන්නේ නැහැ. එසේනම්, එක මල් පූජාවකින්, පහන් පූජාවකින් පමණකින් හෝ පිරිසුදු සිතෙන් ම බුද්ධ පූජාව, බෝධි පූජාව කළ යුතු යි.

බෝධිය අපිරිසුදු නම්, මල්, කොළ වැටී ඇතිනම්, සියල්ල පවිත්‍ර කරන්න. ඉන් තමාගේ සිත පිරිසුදු වන අතර නිවන් දකිනා තුරු කායික රෝග, මානසික රෝග, දද, වන , පිළිකා නැතිව හොඳ වාසනාවන්ත ජීවිතයක් ලබන්නට හැකි යි.

ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව නැතත්, ලොවුතුරා ධර්මය තවමත් විරාජමාන යි. බුදුන් වහන්සේ වෙනුවෙන් ජීවමාන සර්වඥ ධාතූන් වහන්සේ වැඩ සිටිනවා. එසේම බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑ රදුන් වහන්සේ, වැඩ සිටිනවා. අසූ හාරදහසක් ධර්මස්ඛන්ධය ජීවමාන යි.

මේවාට ගෞරවය පුද කරමින්, වැඳුම් පිදුම් සත්කාර කළ යුතු යි. ඉන්පසුව දෙවියන්ට පින් දෙන්න.

එසේම බුද්ධ ශාසනයක කරන පින්කම් බලවත් වෙයි. එහි බලය, බුදුරජාණන් වහන්සේගේ සීලා දී ගුණ, ඥාන බලය, හේතු කරගෙන පින වැඩි වෙයි. හැබැයි, තම සිත පිරිසුදු විය යුතු යි. එසේ කරන බුද්ධ පූජාව, බෝධි පූජාව, අනන්ත ජාතිවල තමන්ට සියලුම ලෞකික සම්පත් ලබා දෙනවා. අසනීප, අපල උපද්‍රව, නවග්‍රහදෝෂ, ඒරාෂ්ටක අපල ආදිය දුරු වෙයි. මේවා දුරු කරගන්න නම්, සැදැහැ සිතෙන් යුක්තව බෝධි පූජා පින්කම් කළ යුතු යි.

තෙරුවන් සරණ ගොස්, පස් පවෙන් හැකිතාක් ඉවත්ව පංච සීලය රැකගෙන කරන බුද්ධ පූජා, බෝධි පූජා පින්කම සාර්ථක වෙයි. තව ද, චිත්ත ප්‍රසාදය ඇතිකරගෙන ම උතුම් පූජාවන් කරනවිට, බෝධි පාක්ෂික ධර්ම තිස් හතම සිතෙහි පහළ වෙයි.

සෑම සිතක් ම ප්‍රභල වෙන්නේ මේ බෝධි පාක්ෂික ධර්ම සිතෙහි පහළ වූ විට යි. නුවණ නොයෙදුණොත්, පින්කම සාර්ථක නොවෙයි. තමන්ගේ නුවණ , ඥානය පින්කම්වලට යෙදිය යුතු යි. එනම්, මේ පින්කමෙන් යෙදෙන පින මට නිවන් සම්පත් පිණිස වේවා, එවිට එය ඥාන සම්ප්‍රයුක්ත වෙයි. මේ බුද්ධ පූජා , බෝධි පූජා පින අනන්ත ජාතිවල සැප විපාක ලබා දෙන, සතර අපායෙන් වැළකෙන, දිව්‍ය සැප ලබා දෙන පින්කමක්. මෙය නිවනට පමුණුවන පින්කමක් සේ සිතන විට, තමන්ගේ සිතෙහි සම්මා දිට්ඨිය හෙවත් නුවණ හොඳින් පහළ වෙයි. ඒ පින බොහොම සරු සාර වෙයි.

කවුරුත් තුනුරුවන් සරණ ගොස්, ශීලයක පිහිටා ගෙන තුනුරුවන් වතාවත් හොඳින් කර ගන්න. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ සූවිසි ගුණය නිතරම මෙනෙහි කරන්න. නිදැල්ලේ හැසිරෙන සිතට වැඩක් දෙන්න. ගමනක් යන විට ආරම්භයේ සිට අවසානය දක්වා ම ඉතිපි සෝ, ස්වාක්ඛාතො, සුපටිපන්නො, වගන්ති සිතෙන් මෙනෙහි කරන්න. එවිට ගමනාන්තය දක්වා ම විශාල පිනක් සිදු කරගෙන , හොඳින් නුවණත් වැඩී , සිතත් පිරිසුදු ව , තමන්ගේ ජීවිතයට පුදුම විදිහේ පුණ්‍ය සම්භාරයක් සමඟින් ලෞකික, ලෝකෝත්තර උභයාර්ථය පිණිස ම හේතු වෙයි.