Print this Article


යහපත් ජීවන මාර්ගයක් සොයාගැනීම අපහසුද?

යහපත් ජීවන මාර්ගයක් සොයාගැනීම අපහසුද?

මගේ ගුරුවරයා වූ අජාන් චා මහතෙරුන් වහන්සේ ජීවත් වූ කාලයේ උන්වහන්සේගේ දායකයෙක් දිනන ලොතරැයි අංකයක් ලබා ගැනීමට උන්වහන්සේ හමුවීමට ගියා.

මේ දායකයා බොහෝ දුප්පත් කෙනෙක්.අජාන් චා හාමුදුරුවන්ට කෙනෙකුගේ සිත කියන බලයක් තිබුණා. “ඔබ ආවේ මගෙන් දිනන ලොතරැයි නොම්මරයක් ලබාගන්න නේද?” කියා උන්වහන්සේ මේ දුප්පත් දායකයාගෙන් ඇසුවා. තමාගේ සිතේ තිබූ අදහස ගැන උන්වහන්සේ ඇසුවා ම මේ දායකයා විස්මයට පත්වුණා. ඔහු උන්වහන්සේගේ හොඳ දායකයෙක් බවට පත්වුණා. ඔහු බොහෝ ම දුප්පත් ගොවියෙක්. ගොවිතැන් කරන්න බැරි කාලයට අමතර ආදායමක් ලබාගන්න ඔහු මාළු ඇල්ලුවා. අජාන් චා හාමුදුරුවන්ගේ දායකයෙක් වුණාට පස්සෙ ඔහු පන්සිල් රකින්න අධිෂ්ඨාන කර ගත්තා. “එසේ වුණත් මට මගේ පවුල රකින්න මාලු අල්ලන්න සිද්ධවෙලා තියෙනවා. වී ගොවිතැන් කරලා ගොවියෙක් වගේ ජීවත් වුණත්, ගොවිතැන් නැති කාලෙට ජීවත් වෙන්න යමක් උපයා ගන්න මාළු අල්ලන්න සිදුවෙලා තියෙනවා.

“ඔහු සිතුවා. යහපත් ජීවනෝපායක් කරගෙන යන්නේ කෙසේ ද කියා ඔහු ඇසූ ප්‍රශ්නයත් මේ සමානයි. මස් මරන්නෙක්, සත්ව ඝාතකයෙක් විදිහට සමහරුන්ට ජීවත් වෙන්න සිදු වී තිබෙනවා. එවැන්නෙකුට බෞද්ධයෙක් විය හැකි ද?

බුදු දහම පිළිබඳ කදිම දෙය නම් එම දහම ප්‍රායෝගික දහමක් වීමයි. මේ ගොවියා තමන්ගේ ප්‍රශ්නය අජාන් චා හාමුදුරුවන්ට ඉදිරිපත් කළා. “මසුන් මරමින් පන්සිල් රකින්නේ කෙසේ ද? යන්න මට ප්‍රශ්නයක්”. අජාන් චා හාමුදුරුවන් මෙසේ කිව්වා.

“මාලු ඇල්ලීම කරගෙන යන්න. නමුත් ඒ වැඩේ කරන්නේ පවුලේ අයගේ කෑමට පමණයි. විකුණන්න එහෙම නොවෙයි.” මේ අතරවාරේ අජාන් චා හාමුදුරුවෝ මේ ප්‍රශ්නයට තවත් විසඳුමක් දුන්නා. “මම ඔයාට මා දන්නා ශාකසාර වෙදකම් ගැන හැම දෙයක් ම උගන්වන්නම්” කියලා උන්වහන්සේ මේ ගොවියාට කිව්වා.

වනසෙනසුන්වල වසන භික්ෂූන් වහන්සේලා බෙහෙත් පැළෑටි ආදිය මුල්කරගෙන කරන ශාකසාර වෙදකම් ගැන හොඳට දන්නවා. මේ කියන දවස්වල කැලෑවේ වසන හාමුදුරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ගන්න පහසුකම් තිබුණේ නැහැ. ළඟපාතක වෛද්‍යවරුන්, රෝහල් තිබුණේ නැහැ. සර්පයින් දෂ්ට කිරීම වැනි අනතුරු කෙළවර වුණේ මරණයෙන්. ඇම්බියුලන්ස්වලට කතා කරන ජංගම දුරකථන තිබුණෙත් නැහැ. මේ හින්දා අජාන් චා හාමුදුරුවෝ වගේ වනසෙනසුන්වල වාසය කරන වයසක හාමුදුරුවරු ශාකසාර මුල් කරගෙන කරන අත් වෙදකම් ගැන හොඳට දැනගෙන හිටියා. මේ නිසා උන්වහන්සේ තමන් මේ අත්වෙදකම ගැන දන්නා සියලුම දේවල් මේ මනුස්සයාට ඉගැන්නුවා. කාලයක් යනකොට මේ ගොවියාට මාලු ඇල්ලීමේ අවශ්‍යතාවයක් නැතිවන තත්ත්වයක් උදාවුණා. ඔහුට වෙදකමෙන් ජීවත්වෙන්න හැකිවුණා. ඔහු හොඳ වෙදෙක් විදිහට මුඵ පළාතේ ම ප්‍රසිද්ධ වුණා. සන්නිපාත රෝගෙට ඉතා දක්ෂ වෙදෙක් විදිහට ඔහු ප්‍රසිද්ධ වුණා. උදාහරණයක් විදිහට අපේ හාමුදුරු කෙනෙකුට සන්නිපාත රෝගෙ වැළදිලා ඉස්පිරිතාලෙට ගියාම ඉස්පිරිතාලෙ සිටි අය කිව්වා “ඇයි හාමුදුරුවනේ මෙහේ එන්නෙ. ගමේ සන්නිපාත රෝගයට වෙදකම් කරන දක්ෂ වෙද මහත්තයෙක් ඉන්නවා නේද?” ඒ අර ගොවියා ගැනයි කිව්වේ. මේ විදිහට ඔහු බොහෝ ප්‍රසිද්ධ වුණා. අත් වෙදකමට දක්ෂ මහත්තයෙක් විදිහට ඔහු ඉතා සාර්ථක වුණා. මේ හින්ද ඔහුට ආයෙත් මසුන් අල්ලා ජීවත්වීමේ අවශ්‍යතාවයක් ඇතිවුණේ නැහැ. යහපත් ජීවනෝපායක් සඳහා යොමුවන්නේ යොමු කරන්නේ ඒ විදිහටයි.

කෙනෙක් සත්ව ඝාතනයෙන් ජීවත් වෙනවා නම්, ඒ වැඩේ නවත්වන්න කියා ඔහුට කියන්න බැහැ. මක් නිසාදයත් ඔහුත් ඔහුගේ පවුලේ අයත් ජීවත්වන ජීවන මාර්ගය ඒකයි. වෙනත් ජීවන මාර්ගයක් සොයා ගන්න. පුළුවන් නම් මේ වැඩේ වෙනස් කර යහපත් ජීවන මාර්ගයකට යොමු වන්න”යි ඔහුට කියන්න පුළුවන්. උත්සාහ කළොත් ඔහුට වෙනත් ජීවන මාර්ගයක් සොයා ගන්න පුළුවන් වේවි.