Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: දෙන හැම දෙයක්ම දානයක් බවට පත්වන්නේ නැත

දෙන හැම දෙයක්ම දානයක් බවට පත්වන්නේ නැත

දානය අනිකකි. දීම තවත් එකකි. දෙන හැම දෙයක් ම දානයක් බවට පත්වන්නේ නැත. දානය මූලික කොටස් තුනකට දක්වා ඇත. එනම්,

ආමිස දානය , අභය දානය හා ධර්ම දානය ලෙසිනි.

වර්තමාන සමාජයෙහි ඇතැමුන් දානය ලෙස සලකනු ලබන්නේ ආමිස දානයයි. දානයක් දීමේ දී දානය වශයෙන් තමා දෙන ලද දෙය (දෙය්‍යධම්ම) තමාගේ ම දහදිය මහන්සියෙන් උපයන ලද ධාර්මික වස්තුවක් විය යුතු ය. අධාර්මික ව උපයනු ලැබූ දෙයින් ලබාදෙන දානයෙහි පින අඩු බව දහම පෙන්වා දෙයි. කුමන චේතනාවකින් දුන්නත් තමා සාහසික ලෙස හරි හම්බ කරමින් දෙන දානය මහත්ඵල මහානිශංස වන්නේ නැත. ආමිස දානයේ දී ප්‍රධාන වශයෙන්ම චේතනාව අත්‍යවශ්‍ය වුව ද, දන්දෙන ලද දෙය හරි හම්බ කරනු ලැබූ ක්‍රමය ද ඉතාමත් වැදගත් ය. සාහසික ලෙස හරි හම්බ කළ විට ඉන් ලැබෙන ආනිසංශයක් ද නැත. පුද්ගලයකු හෝ සත්වයකුª මරණයෙන් නිදහස් කළ හැකි නම්, එය ආමිස දානයට වඩා වැඩි ලෙස පින් වැඩෙන කුසලයකි. එසේ වුව ද, තමන් අභය දානය දුන් පසු ඒ සඳහා යම්කිසි මුදලක් හෝ වෙනත් යමක් තමනට ලැබෙන්නේ නම්, ඉන් තමාට කුසලයක් ලැබෙන්නේ නැත. සියලු දාන අභිබවා පෙරමුණ ගනු ලබන්නේ කුසල කර්මයයි.

ධර්මය යනු සත්‍ය වූ නිවැරැදි දෙය යි. එය අන්‍යයාට කියා දීම ධර්ම දානය යි. අන් සියලුම දානවලට වඩා වැඩි ආනිසංශ ලැබෙන්නේ ධර්ම දානයට යි. සමාජයේ ජීවත්වන පුද්ගලයන් කරනු ලබන ක්‍රියාවන් අධ්‍යයනයේ පහසුව සඳහා කොටස් හතරකට බෙදා දැක්විය හැකි ය.

යහපත් සිතිවිලි සහිත ව කරන යහපත් වැඩ, යහපත් සිතිවිලි සහිත ව කරන අයහපත් වැඩ, අයහපත් සිතිවිලි සහිතව කරන යහපත් වැඩ, අයහපත් සිතිවිලි සහිතව කරන අයහපත් වැඩ

මෙම කරුණු හතරෙන් පළමු සහ සිව්වැනි කරුණු අවබෝධ කර ගැනීමට හැකිවුව ද දෙවැනි සහ තෙවැනි කරුණු ඇතැම්විට ගැටලු සහිත ය. එය තේරුම් බේරුම් කරගත යුතු ය.

යහපත් සිතිවිලිවලින් කරනු ලබන අයහපත් ක්‍රියා පිළිබඳව එක්තරා සිදුවීමකින් පැහැදිලි කර ගත හැකි ය.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ අධිකරණ පරීක්ෂණයක දී එක්තරා තරුණ දරුවෙකු හමුවිය. කුඩු ළඟ තබාගැනීම සහ පානය කිරීමේ චෝදනාවට වැරැදිකරුවීම ඔහු හිරගෙදරට පැමිණීමට හේතු වී තිබිණි. කුඩු බීම නිසා ශාරීරික ව විඩාබරිත වී සිටි බවක් පෙනුන ද ඔහු දහම් පාසල් අධ්‍යාපනය ද, පාසල් අධ්‍යාපනය ද ලබාගනිමින් බෞද්ධ පසුබිමක හැදී වැඩුණු දරුවෙකු බව කතා බහ කරන විට අවබෝධ විය.

“ඇයි පුතා මෙහාට ආවේ” යැයි කාරණා විමසන විට ඔහු දිගින් දිගටම ඔහුගේ අම්මාට චෝදනා කරනු ලැබී ය. තමාගේ අම්මාගේ වැරැදි නිසා තමා අද හිරබත් කන බවත් ඔහු ප්‍රකාශ කළේ ය. හිරගෙදරට අවශ්‍ය කුඩු ප්‍රමාණය රැගෙන එනු ලබන්නේ ද, අම්මා නිසාම ඔහුගේ අම්මා යහපත් තැනැත්තියක බව ද ඔහුම නැවතත් ප්‍රකාශ කර සිටී. අම්මාගේ වරදින් කුඩුකාරයකු වී යැයි කතාවේ අර්ථය ඔහු විසින් පැහැදිලි කරනු ලැබුවේ තමාගේ අම්මා කිසිම දවසක තමාගේ යහපත් පැත්ත නුදුටු බව ය. ඔහු විභාගයට කෙතරම් ප්‍රමාණයක් ලකුණු ලබාගත්තද අම්මාට ප්‍රමාණවත් නොවී ය. ගෙදර දී කෙතරම් පාඩම් කළත් ඇයට ඒවා පෙනෙන්නේ නැත. ඇය දකින්නේ කුමක් හෝ අඩුවක් ම ය. එනිසාම කුඩා කාලයේ සිටම ඇය කෙරේ අමනාපයෙන් පසුවිය. එනිසාම අම්මා කෙතරම් ආදරය කළ ද, එහි වටිනාකමක් දැනුනේ ම නැත. තාත්තා පුංචි කාලයේ ම වෙනත් විවාහයක් කරගෙන තිබීම නිසා අම්මා තමා ගැන මෙතරම් සොයා බලනවා ඇතැයි කියා සිතුණත් තමාගේ අඩුපාඩු ම දකින අම්මා පිළිබඳ සෙනෙහසක් උපදින්නේ කලාතුරකිනි. දුම්පානය, හරහා කුඩු සඳහා ම, ඇදී ගියේ ය. මා කළ නරක ක්‍රියාවල කර්ම ඇත. හිරගෙදර ඉඳගෙන විඳිනවා. මටත් ඉන්නේ අම්මා විතරයි. ඇයටත් ඉන්නේ මම විතරයි. අම්මා හැමදාම හිරගෙදරට මට අවශ්‍ය කරන කුඩු ප්‍රමාණය ගෙනත් දෙනවා. දරුවන් හදන දෙමව්පියන් තම දරුවන්ට අවශ්‍ය උපදෙස් ලබාදිය යුතු වන්නේ තම තමන්ගේ යහළුවන්ගේ දරුවන්ට ඒ අය දෙන දෙය අනුව නොව, තම දරුවන්ගේ මානසික තත්ත්වය වටහාගෙන ය. දරුවාගේ මානසික තත්ත්වය තේරුම් ගැනීමට අසමත් මව්පියන් නිසා ද ඔවුන්ගේ අනාගතය අඳුරු වී යයි.

දරුවා යහපත් පුද්ගලයකු ලෙස හදාගැනීම යහපත් චේතනාවක් වුවත්, එම උතුම් චේතනාව ක්‍රියාවට නැංවීමේ ක්‍රමය කෙසේ විය යුතුදැයි බුද්ධිමත්ව විමසා බැලිය යුතු ය. අම්මාගේ චේතනාව යහපත් වුවත්, එම චේතනාව ඉටුකර ගැනීම සඳහා අනුගමනය කළ ක්‍රමය අයහපත් නිසා තම එකම දරුවා දැන් ඉන්නේ හිරගෙදර ය.

අයහපත් චේතනාවෙන් කරන යහපත් වැඩ අපට වර්තමාන සමාජයේ වුව ද නිතර නිතර දැකීමට ලැබෙයි.