Print this Article


මේ වස්සාන කාලයයි 12: භාවිත අභාවිත සිත්

මේ වස්සාන කාලයයි 12:

භාවිත අභාවිත සිත්

වස්සාන කාලය ආරම්භයේ දී වස්සානය සම්බන්ධ ව සිදු වූ තවත් වැදගත් කරුණක් අප විසින් මෙම ලිපි පෙළෙහි සාකච්ඡා කළ යුතු වෙනවා. එම සිදුවීම මතු වන්නේ “පාවෙය්‍යක” භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත එළැඹීමේ සිදුවීම හා සම්බන්ධයෙනුයි.

එය මෙසේ ය, ඒ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඩු මහ සිටාණන් විසින් කරවා පිළිගන්වන ලද ජේතවනාරාමයෙහි වැඩ වාසය කරනවා. ඒ සමයෙහි “පාවෙය්‍ය” නම් රට වසන්නා වූ හැම දෙනා ම වහන්සේ ආරණ්‍යයක පිණ්ඩපාතික, පාංශුකූලික, චිතීවරික ආදී එනම් තුන් සිවුරෙන් පමණක් යුතුව වැඩ වසනවා. කෙලෙස් ධූතාන්ගදධර වූ භික්ෂූන් වහන්සේලා ලෙස වැඩ සිටිනවා. උන්වහන්සේලා අතර සෝවාන්, සකෘදාගාමී, අනාගාමී නම් වූ මාර්ගඵල අවබෝධයෙන් සැනසුණා වූ භික්ෂූන් වහන්සේ තිස් දෙනෙකුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දැකීම පිණිස ගමන් ආරම්භ කොට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින සැවැත් නුවරට ම වැඩ ම කර ගන්නට නොහැකිව අතරමඟ සාකේත නම් වූ නුවරට සමීප සේනාසනයක වස් එළඹුණා.

උන්වහන්සේලා කල්පනා කොට වැඩම කරන්නට ඇත්තේ වස් එළඹෙන දිනය වන විට සැවැත් නුවර ජේතවනාරාමයට වැඩම කරන්නට හැකිය යන අදහසින් විය හැකියි. නමුත් මහා මාර්ගයන් හි පැවැතුණු බාධක වැස්ස, පින්න ආදී කරදර නිසා උන්වහන්සේලාට සුදුසු පරිදි සුදුසු දිනයේ දී සැවැත් නුවර ට වැඩම කර ගන්නට අපහසු වුණා. ඒ නිසා අතර මග සාකේත නම් නුවර සමීපයෙහි සේනාසනයක උන්වහන්සේලා වස් එළඹුණ සේක. උන්වහන්සේලා එසේ වස් තුන්මාසය මුළුල්ලේ ම ධර්ම සංවේගයෙන් යුතු සිතින් වාසය කළහ. එයට හේතුව අපිට සිතා ගත හැකියි. උන්වහන්සේලාට අවශ්‍ය යම් විටක වැසි සළුවක්, බෙහෙත් හේත් ආදී වශයෙන් මූලිකව අවශ්‍ය යමක් හෝ ලබාගැනීමට පහසුකම් නොතිබුණ නිසා විය හැකියි.

මේ භික්ෂූන් වහන්සේලා ගෘහස්ත ජීවිත ගත කරන කාමභෝගී ගිහි පිරිස් මෙන් ඇස, කන ආදී ඉන්ද්‍රියන් පිනවීමට කටයුතු නොකරන බව පැහැදිලියි. නමුත් උන්වහන්සේලාත් දරාගෙන සිටින්නේ අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛණ ධර්මයට යටත් ස්කන්ධ පංචකය බැවින් උන්වහන්සේලාටත් සිව්පසයේ අවශ්‍යතාවය අප විසින් සිහිපත් කළ යුතුමයි. දානය ලැබීම්, වැස්ස, පින්නට තෙමීමෙන් සිදුවන අසනීපයන්ට ලබාගත යුතු ඖෂධ ආදිය ද මේ අතර විය හැකියි. යම් විටක, දායක ඇත්තන් ගේ මනා පූජාවක් හෝ රැකබලා ගැනීමක් නොතිබුණේ නම් උන්වහන්සේලා මේ වස්සාන කාලය තුළ අතරමඟ වස් විසූ ස්වභාවය පිළිබඳව සිතා ගත හැකියි. කෙසේ වෙතත් උන්වහන්සේලා වස් තුන්මාසයක කාලය ගත කොට භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින ස්ථානය තමන්ට බොහෝ ම සමීප බව දැනගන්නට ලැබුණා. එවිට වස්සාන කාලය අවසන් ය.

භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින්නේ තමන් වැඩසිටි ස්ථානයට වඩා යොදුන් හයක් පමණ ඈතින් බව දැනගත්තේ පසුවයි. ඉක්බිතිව එම භික්ෂූහු විසූ වස් ඇතිව තුන් මාසය ගෙවීමෙන් කරන ලද පවාරණයන් අනුව මහා වැසි මැද්දේ ම උන්වහන්සේලා කැළැඹුණු දිය, බොර මඩ සහිත මාර්ගවල ගමන් කරමින් තෙමුණු සිවුරු ඇතිව, ක්ලාන්ත ස්වභාවයක් ඇතිව සැවැත් නුවර දෙව්රම් විහාරයට වැඩම කළ සේක. එසේ වැඩම කොට භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක වැඩ සිටියහ. ආගන්තුක භික්ෂූන් වහන්සේලා හා සමඟ පිළිසඳර කතා කිරීම සියලු බුදුරජාණන් වහන්සේලාගේ ම සිරිතයි. භික්ෂූන් වහන්සේලාට පමණක් නොව කවුරුන් නම් තථාගත බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණුනා නම් වූව ද භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු දෙනා සමඟ “සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරෙත්වා” සිත සනසන දැහැමි කතාවකින් කතා කොට ඔවුන්ගේ සිත සුවපත් කොට දෙවනු ව ඔවුන් පැමිණි කරුණ විමසීම හෝ ඔවුන් දහම් මඟට යොමු කිරීම සිරිතයි.

තථාගත බුදුරජාණන් වහන්සේත් ඒ ආකාරයෙන් ම මේ භික්ෂූන් වහන්සේලාගෙන් විමසනවා. “කිමෙක් ද මහණෙනි, නුඹලාගේ ඉරියව් පැවැත් ම ඉවසිය හැකි ද? නුඹලාගේ රූප අරූප ජීවිත ඉන්ද්‍රියය යැපෙයි ද? පහසුවෙන් නුඹලාට ගළපාගෙන සිටීමට හැකි ද? සමගි ව සතුටු ව ඔවුනොවුන් හා කිසි විවාදයක් නැතිව පහසු පරිදි වස් විසුවෝ ද? ආහාර හිඟයකින් ක්ලාන්ත නොවූයේ ද? මෙසේ පිළිසඳර කතා කළහ. ඒ භික්ෂූන් වහන්සේලා ගේ පිළිතුරු මෙසේ සිද්ධ විය.

භාග්‍යවතුන් වහන්ස අපගේ ඉරියව් පැවැත් ම ඉවසිය හැකි රූප, අරූප ජීවිත ඉන්ද්‍රිය යැපිය හැකි, සමඟි ව සතුටුව ඔවුහු නොවුන් හා කිසි විවාදයක් නැතිව වස් විසුම් හා ආහාරයෙන් ද ක්ලාන්ත නොවුම් හ. මෙහි දී අපි තේරුම්ගත් දහම් කොටස “මේ භාග්‍යවතුන් වහන්සේ හා භික්ෂූන් වහන්සේලා තිස් නම අතර පැවැත් වුණු ධර්ම සාකච්ඡාවෙන් පැහැදිලි කර ගත යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් තම ශ්‍රාවකයාණන් වහන්සේලාගෙන් මෙවැනි කරුණු විමසන්නේ කුමක් හෙයින් විය හැකි ද? අනිත්‍ය ස්වභාවයට යුතු සියලු සංඛත, සංඛාර ලෝකයේ ජීවත්වන සියලු දෙනා ම මෙන් ම මේ භික්ෂූන් වහන්සේලාත් එයට මුහුණ දිය යුතු වෙනවා. එසේ ඒ ලෝක ස්වභාවයට මුහුණ දීමේ දී භාවිත, අභාවිත සිත් ඒවා සිතින් පරිහරණය කරන හෙවත් දරන ආකාරයේ වෙනසක් විය හැකියි.