Print this Article


බොදු පුබුදුවට උදාර මෙහෙවරක් කළ අනගාරික ධර්මපාලතුමා

බොදු පුබුදුවට උදාර මෙහෙවරක් කළ අනගාරික ධර්මපාලතුමා

මෙහි මුල් කොටස වප් පුර පසළොස්වක පෝදා (13 වනදා ) පත්‍රයේ පළවිය.

ආගමාලයෙන් හා ජාත්‍යනුරාගයෙන් ඔද වැඩුණු ධර්මපාල තරුණයා රටත් ජාතියත්, ආගමත් වෙනුවෙන් මුළු ජීවිතය ම පරිත්‍යාග කළ යුතු යැයි ඉටා ගත්තේ ය. ඒ සඳහා හොඳම ක්‍රමය බ්‍රහ්මචාරී ජීවිතය බව අවබෝධ කරගත්තේ ය. ඒ අනුව තම පියාගෙන් අවසර ඉල්ලුවේ ය.

එහෙත් එය නොලැබිණි. ඒ අවස්ථාවේ දී ඕල්කට්තුමාත්, බ්ලැවස්කි මැතිනියත් මල්ලිකා හේවාවිතාරණ මැතිනියගේත් මැදිහත්වීම මත පියාගේ අවසරය ලැබිණි. මල්ලිකා හේවාවිතාරණ මැතිනිය, “පුතේ නුඹ අනගාරික වෙනවා දකින්නට පමණක් නොව, උඹ බුදු වෙනවා දකින්නටත් මම කැමැති’යි කියමින් පුතාට ආශීර්වාද කළේ ය.

“ පුතේ නුඹ බුදුවෙයන්” යනුවෙන් තම මෑණියන්ගෙන් ලබාගත් විවරණ සහිත අනගාරික ධර්මපාල තරුණයා ඕල්කට්තුමා සමඟ එතුමා ගෙන ගිය ජාතික, ආගමික වැඩ සඳහා තදින්ම සම්බන්ධ විය. එතුමාගේ ඉංගී‍්‍රසි කතා සිංහලයට නැගුවේ ය. එපමණකින් නොනැවතී ධර්මපාලතුමා තම වේගවත් අදහස්, වේගවත් බසින් ප්‍රකාශ කළේ ය. වැඩිකල් නොගොස් ම එතුමා එකල ලංකාවේ විසූ දක්ෂතම කථිකයා බවට පත් විය. ඕල්කට්තුමා සමඟ ගමක්, නගරයක් පාසා දේශනා කරමින් ඇවිද්දේ ය. මොවුන් දෙදෙනා වටා සිය දහස් ගණනින් සෙනග එක්රොක් වන්නට වූ හ. ජාතියට හා ආගමට සිදු වී ඇති විපත පිළිබඳ ව මොවුන් කළ වේගවත්, ව්‍යක්ත, නිර්භීත, අවංක අදහස් ඇසූ හැම කෙනෙක් ම ඔවුන්ට වශී වූ හ.

ඕල්කට්තුමා ලංකාවට හා ඉන්දියාවට පැමිණ සිදුකරන ශ්‍රේෂ්ඨ සේවය පිළිබඳ ජපන් රටට ද ආරංචි විය. එහි ද ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ගේ බලය ශීඝ්‍රයෙන් පැතිර ගිය බැවින් ඒ රටට ද පැමිණ දේශනා පවත්වන ලෙසට ආරාධනා ලැබිණි. ඒ අනුව ඕල්කට්තුමා, ධර්මපාලතුමාත් සමඟ එහි ගොස් දේශනා පැවැත්වූහ.

එම දේශනාවලින් ජපන් රටේ ද බෞද්ධ ප්‍රබෝධයක් ඇති විය. මේ ආකාරයෙන් කටයුතු කළ ධර්මපාලතුමා අමෙරිකාවේ චිකාගෝ නුවර ජගත් දෘෂ්ටි සම්මේලනයේ දී සිදුකළ දේශනය ලෝක ප්‍රසිද්ධ විය. එහි දී අසන ලද සියලු ප්‍රශ්නවලට ධර්මපාලතුමා විසින් බුදුදහම පදනම් කරගනිමින් ඉංගී‍්‍රසි භාෂාවෙන් ව්‍යක්ත ලෙස පිළිතුරු ලබාදී අනෙකුත් ආගමික නායකයන් තුළ ද වශී ප්‍රාප්ත භාවයට පත්විය.

ධර්මපාලතුමා 1891 දී පළමුවරට බුද්ධගයාවට ගියේ ය. එහිදී බුද්ධගයාවට අත් වී තිබෙන ඉරණම දැක කම්පාවට පත් විය. එහිදී එතුමා වජ්‍රාසනය වන්දනා කර ප්‍රාර්ථනාවක් කළේ ය. “මේ උතුම් ස්ථානය බෞද්ධයන්ට අත්කරදීමට කටයුතු කරමි. එය බේරාගෙන මිසක ආපසු නොයමි.’ යනුවෙන් දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත්තේ ය. ඉන්පසු නැවත ලංකාවට පැමිණ 1891 මැයි 31 වැනි දා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණේ දී හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සහභාගීත්වයෙන් “මහා බෝධි” නමින් සමාගමක් පිහිටෙව්වේ ය. ඉන්පසුව ලංකාව පුරා සැරිසරමින් බුද්ධගයාව බේරාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේ ය. ලංකාවෙන් හා අනෙකුªත් රටවලින් මුදල් එකතු කර බුද්ධගයාවෙන් ඉඩමක් මිලට ගත්තේ ය. සිංහල භික්ෂූන් වහන්සේ සමඟ ගොස් එහි වස් වසන ලදහ. ඒ නිසා එතුමාට ශාරීරික හා මානසික වදහිංසාවලට මුහුණ දෙන්නට සිදුවිය. සිරගතවීමට සිදුවිය.

කෙසේ හෝ අවසානයේ දී එතුමා බුද්ධගයාව බේරා ගැනීමේ සටන ජයග්‍රහණය කළේ ය. ලෝකවාසී බෞද්ධයන්ට බුද්ධගයාවේ අයිතිය ලබා දුන්නේ ය. මෙය බෞද්ධ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන සිදුවීමකි.

ලක්දිව කර්මාන්ත දියුණු කිරීම සඳහා අනගාරික ධර්මපාලතුමා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේ ය. පේෂකර්මාන්තය, ආරම්භ කිරීම සඳහා දොලපීල්ලේ මහතාටත්, වේයන්ගොඩ විජයබාහු මහතාට උයන් කර්මාන්තය ගැන හැදෑරීමටත්, උයන්ගොඩ බාලසූරිය මහතාට ගිනිපෙට්ටි කර්මාන්තය ගැන හැදෑරීමටත් ශිෂ්‍යත්ව ලබා දුන්නේ ය. පුහුණු වී ආපසු පැමිණි ඔවුන් ආරම්භ කළ කර්මාන්ත නිසා ජාතික ආර්ථීකයේ පිබිදීමක් ඇති විය.

මේ ආකාරයෙන් කටයුතු කළ එතුමා පසුකාලීන ව ලංකාව කෙරෙහි කලකිරීම ට පත්විය. කොපමණ සේවය කළත්, මේ රටේ මිනිසුන් කිසිදු ඇගයීමක් කරන්නේ නැති බව පැවසී ය.

පසුව ඉන්දියාව ට වැඩම කළ එතුමා, තමන් විසින් ආරම්භ කළ බුද්ධගයා විහාරයේ දී “සිරි දේවමිත්ත ධම්මපාල” නමින් පැවිදි බිමට ඇතුළත් විය. ඉන්පසුව උපසම්පදාව ලබා ගත්

සිරිදේවමිත්ත ධම්මපාල ස්වාමීන් වහන්සේ පසුකලෙක සිහිනුවණින් යුක්තව අපවත් වී වදාළ හ. මේ බුද්ධ ශාසනය ට සේවය කිරීම පිණිස විසිපස් වතාවක් නැවතත් මෙලොව පහළ වේවා’ යන්න එතුමාගේ අවසන් පැතුම විය.

එතුමා අපට ලබාදුන් ආදර්ශය ට අනුව කටයුතු කර සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතින්නට කටයුතු කරන්නට අදිටන් කර ගනිමු. එතුමාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.