Print this Article


අකාලික දහමෙහි සැප ලැබෙන ප්‍රතිපදාව

අකාලික දහමෙහි සැප ලැබෙන ප්‍රතිපදාව

වනවාසිකතිස්ස සාමණේර වස්තුව

සැරියුත් මහරහතන් වහන්සේගේ පියා වූ වඩිගන්ත බ්‍රාහ්මණයාගේ ‘මහාසේන’ නමින් සමීප මිතුරෙක් රජගහ නුවර විසූහ. ඔහු සම්පත් ගෙවීගිය, මසුරු නැති දිළින්දෙක් ව ඒ වන විට කල් ගෙවීය. දිනක් සැරියුත් තෙරණුවෝ පිඬුසිගා වඩිද්දී ඔහුට අනුකම්පා පිණිස මේ ගෙදොරට වැඩියාහ.

මාගේ පුතා පිණ්ඩපාතය අපේක්ෂාවෙන් වැඩියා විය හැක. මගේ දැන් දුප්පත්කම නො දන්නා නිසා මෙසේ වඩින්නට ඇත. ඇත්තට ම මට දැන් පිළිගන්වන්නට ද කිසිත් නැතැයි සිතමින් ඉදිරියට නො පැමිණ සැඟවී සිටියේ ය.

තෙරණුවෝ තවත් දිනක ද එහි වැඩියහ. එදින ද බමුණා සැඟවී ගියේ ය. යමක් ලැබුණු සැණින් පිළිගැන්වීමට සිත් ඇති ව සිටි මහාසේන බමුණා දිනක් දාන පූජාවකට ගියේ එහි දී කිරිබත් තලියක් හා රෙදිකඩක් ලැබී ගෙදරට ගොඩවූ වහා සැරියුත් තෙරණුවෝ සිහි කළේ ය. එවේලෙහි තෙරණුවෝ ද ධ්‍යානයට සමවැදී නැගිට සිටි සේක්, බමුණාගේ බලාපොරොත්තුව දැක එහි වැඩ තමන් දැක්වී ය.

තෙරුන් දුටු බමුණා මහත් ප්‍රසන්න සිතින් ගෙට වඩම්වා, වඩා හිඳවා, කිරිබත් පුදද්දී භාගයක් පමණ බෙදන විට අතින් පාත්‍රය වැසූහ. ස්වාමීනි, ඇයි මේ, එකෙකුට මුත් දෙදෙනෙකුට මෙහි බත නැත. ස්වාමීනි, මට මෙලොව සංග්‍රහ අවශ්‍ය නැත. පරලොවින් සංග්‍රහ කරුණු මැනැවැයි කළ ඉල්ලීම ඉවසා ඔහුගේ ප්‍රසාදය පිණිස එහිම වැඩ හිඳ වැළඳූ සේක. අවසන, රෙදි කඩත් පිළිගන්වා වැඳ ‘ස්වාමීනි, ඔබ දුටු දහම මමත් දකිනු කැමැත්තෙමි’ යි කී විට, එසේම වේවායි ‘වදාරා භුක්තානුමෝදනාව ද කොට විහාරයට වැඩිය හ.

පිළිගැන් වූ දානය කෙරෙහි ප්‍රසන්න සිත් ඇති ව සොම්නස් ව, සැරියුත් තෙරුන්, කෙරෙහි අතිමහත් සේ ස්නේහයෙන් කල් ගෙවූ බමුණා පසුකලෙක කළුරිය කොට, සැවැත්නුවර සැරියුත් තෙරුනට මහත් හිතෛෂී උපස්ථායක පවුලක එක් මවකගේ කුසෙහි පිළිසිඳ ගත්හ. මව තම ස්වාමියාට ඒ බව දැනුම් දුන්නේ සතුටට පත් ඔහු ඇයට ඉතා ශීතල, අධික ඌෂ්ණ, තද ඇඹුල් ආදිය පරිභෝගයෙන් වළක්වා සැලකිල්ලෙන් ගැබ බලා ගනිද්දී, සැරියුත් හිමියන් ප්‍රධාන පන්සියයක් නමකට පැන් නුමුසු කිරිබතක් පිළිගන්වා ඒ කෙළවර තමාට ද කසාවතක් හැඳ රන් තැටියක් ගෙන ආසන කෙළවර හිඳ භික්ෂූන් වහන්සේ වළඳා ඉතිරි ඉඳුල් කිරිබත් කෑමට ගර්භනී මවට දොළදුකක් උපනි. කුසහොත් දරුවා බුදු සසුනේ පැවිදිවන බවට මෙය පෙර නිමිත්තක් වී ය. මේ දානය එලෙස ම ඉටුවිය. මෙසේ දරුවා උපදින තෙක් මේ ගෙදර පැවැති සියලු උත්සවවල දී ජලය අඩු කිරිබත් දන්ම පිළිගන්වන ලද්දේ ය. ඒ පූර්වයේ දුන් දානයේ ආනිසංස ම වේ.

මේ දරුවා උපන් දිනයේ ම නාවා සරසා, ලක්ෂයක් වටිනා පලසක් පොරවා සිරියහනෙහි නිදි කරවූයේ දරුවා නින්දෙන් සැරියුත් තෙරුන් දැක මේ මාගේ ගුරුවරයා ය. උන්වහන්සේ නිසා මේ සම්පත් ලදිමි. පූජාවක් කළ යුතුයැයි සිතන්නේ, ලක්ෂයක් වටිනා පොරවා සිටි ඒ කම්බිලිය ඇඟිල්ලෙක ඇලී ගියේ ය.

උපන් දරුවා සැරියුත් තෙරුණට දැක්වීමට ගෙන එද්දී කම්බිලිය ඉවත් කිරීමට යද්දී මහ හඬින් හැඬූ හෙයින්, එයත් සමගම ගෙනවිත් දරුවා පෙන්වූ විට ඇඟිල්ලෙන් ගිලිහී තෙරුන්ගේ පාමුල වැටිණි. එය දරුවාගේ පූජාවක් වේ යැයි සිතා පූජාකොට මොහු සීලයෙහි පිහිටුවන ලෙස ඉල්ලී ය. දරුවාගේ නම කුමක්දැයි ඇසූ විට ඔබ වහන්සේගේ ගිහි නමට සමාන වූ ‘තිස්ස’ වන්නේ යයි කී ය. සැරියුත් තෙරුන් ගිහිකල “උපතිස්ස’ නම් වී ය. මේ දරුවා වැඩී සත්වන වියේ දී පැවිද්දට සිත් ඇති වී දෙමව්පියන් දැනුවත් කළේ ඔවුන්ගේ ආශිර්වාදයෙන් සැරියුත් තෙරණුවෝ මොහුට පැවිද්ද ලබාදී දස සාමණේර සීලයෙහි පිහිටු වූ හ.

මෙයින් අට වෙනි දවසේ ‘තිස්ස සාමණේරයෝ’ පිණ්ඩපාතයේ වඩිනා බව දැනගත් සැවැත්නුවර වැසියෝ ගැල් පන්සියයක ආහාර ඇතිරිලි ආදී අවශ්‍ය භාණ්ඩ රැසක් දෙදිනක් පුරා තබාගෙන පූජා කළහ. ඒ සාමණේරයෝ ඒ සියල්ල දවස් දෙකේ දී ම තෙරුන් වහන්සේ දහසකට පූජා කළේ ය. ඒ බ්‍රාහ්මණව සිටිය දී සැරියුත් තෙරුන්ටම පූජා කළ සිනිඳු සළුවේ හා කිරිබත් තලියේ ආනිසංසම වේ. මෙනිසා ම විහාරවාසී සියලු භික්ෂූන් වහන්සේ එතැන් සිට තිස්ස සාමණේරයෝ ‘පිණ්ඩපාතදායක තිස්ස’ නමින් හැඳින්වූහ.

දිනක් මේ තෙරුන් විහාරයෙහි ඇවිද යන ගමන් බොහෝ අය සීත කාලයේ ගිනිහල්ගෙයි ගිනි තපිමින් සිටිනු දැක පොරෝනා කම්බිලි අවශ්‍ය අය මා සමඟ පිණ්ඩපාතයෙහි වඩිනු මැනැවැයි කළ ඉල්ලීමට දහසක් භික්ෂූන් එයට සූදානම් ව වැඩියේ පන්සියයක කම්බිලි පිටත නගරයේ දී ම ලැබිණි.

මෙපමණ භික්ෂු ප්‍රමාණයකට කොහෙන් කම්බිලි ලබාදෙමිදැයි සිතක් පවා මේ සාමණේර හිමියන්ට ඇති නොවූයේ තුන් සිත පහදවා එදා දුන් දානයේ ආනිසංසම ය. ඇතුළු නුවරට වැඩිය කල, නො ලැබූ ඉතිරි පන්සියය නමට ද දායකයන්ගේ සිත් පහළ වී කම්බිලි ලැබුණෝ ය. එහෙයින් මෙතැන් සිට මේ සාමණේරයෝ “කම්බිලිදායකතිස්ස” නමින් හැඳින්වූහ. මේ වාසනා ගුණ ඇති සාමණේරයන් සමඟ ඥාති දරුවෝ නිතර පැමිණ කතාබහට ඒම නිසා උන්වහන්සේ සිතන්නේ ඔවුන් නිසා ඇතිවන මේ ප්‍රමාදයෙන් මගේ බලාපොරොත්තු ඉටු නොවේ. බුදුරජාණන් වහන්සේගෙන් රහත් බව දක්වා කමටහන් ගෙන ඈතකට යමියි සිතා එසේ කොට තමන් වහන්සේගේ උපාධ්‍යාය සැරියුත් මහ තෙරණුවෝ ද වැඳ පා සිවුරු ගෙන ළඟ තැනැක සිටියොත් නෑදෑ කරදරය නැවැත ඒයයි සිතමින් යොදුන් එකසිය විස්සක් මග ගෙවා, එක් ගමකට වැඩියේ මහලු අයෙක් දැක උපාසකතුමනි, මේ පෙදෙසේ වනවාසී ආරණ්‍යයක් තිබේදැයි විචාළේ ය.

එවන් තැන් තිබූමුත් කුඩා සාමණේරයන් දැක දරු ස්නේහය උපදවාගත් උපාසක තෙමේ එන්න මා සමග යැයි කියමින් විවේක තැන් කීපයක් දකිමින් ප්‍රශ්න කරන තෙරුන් තම ගමේම නිසංසල තපෝවනයකට පමුණුවා ගෙන ස්වාමීනි, මේ පහසු තැනකි. මෙහි වැඩ ඉන්නයි කියා, නම ද විමසා දැන හෙට උදේ මේ ගමට පිඬු සිඟා වඩින්නැයි ආරාධනා කොට ගමට දුව ගියේ ය. ගමට ගිය උපාසක තෙමේ ‘තිස්ස’, පිණ්ඩපාතදායකතිස්ස, කම්බිලිදායකතිස්ස’ නමින් මෙතෙක් හැඳින් වූ ඒ සාමණේරයන් වහන්සේ ‘වනවාසිකතිස්ස’ නමින් ගම්වාසීන්ට හඳුන්වා දී, තෙරණුවෝ අපේ ගමට වැඩමකර ඇති හෙයින් හෙට උදේ ඔබේ නිවසට පිණ්ඩපාතය සඳහා උන්වහන්සේ වැඩිය විට පිසූ දන් පිළිගැන්වීමට සූදානම් ව සිටින්න යයි ගමපුරා ඇවිදිමින් කියා සිටියේ ය.

ඒ අයුරින් ම පසුදා පිණ්ඩපාතය පිළිගත් සාමණේර තෙරණුවෝ ‘සැප ඇත්තෝ වෙත්වා, දුකින් මිදෙත්වා’ යි පිළිගැන්වූ හැමට කියත් ම ගම්වාසී සියල්ල එක්ව වැඳ ගනිමින් වස් තුන්මස මෙහිම වැඩ සිටිමින් අපට පින්කර ගැනීමට අවස්ථාව ලබා දෙන්න යැයි ආරාධනා කළෝ ය. ඒ අනුව තෙමස පුරාම පිණ්ඩපාතය පිළිගෙන පළමු වාක්‍ය දෙකම පමණක් කියමින් විහාරයට ආපසු වඩින්නේ ය. වස් තුන්මස අවසන් වෙත් ම, වනවාසික තිස්ස තෙරණුවෝ සිවුපිළිසිඹියාපත් අරහත්වයට පැමිණි සේක් හ.

මෙම ලිපියේ ඉතිරි කොටස 27 වැනිදා වප් අමාවක බුදුසරණ පත්‍රයේ පළවේ.