Print this Article


ආත්මාර්ථකාමී සිතිවිලි මුළාවකි

ආත්මාර්ථකාමී සිතිවිලි මුළාවකි

ආත්මාර්ථකාමිත්වය සමාජයට බිහි කරනුයේ නරුම මිනිසෙකි. වෛරයේ පදනම වන්නේ ආත්මාර්ථකාමිත්වය වන අතර ආත්මාර්ථකාමිත්වය වෛරය පෝෂණය කරයි.

ආත්මාර්ථකාමී මිනිසුන් නිසා ලෝක ඉතිහාසයේ ඇති වූ අර්බුද විශාල සංඛ්‍යාවක් වේ. ආත්මාර්ථකාමී දුප්පත් මිනිස්සු තමාට වඩා සම්පත් ඇති අය කෙරෙහි ඊර්ෂ්‍යා කරති. ආත්මාර්ථකාමී පොහොසත් මිනිස්සු තමාට තරම් දේපළ, ධන ධාන්‍යාදිය නැති මිනිසුන් කෙරෙහි ද වැරැදි ලෙස පිළිපදිති. මෙය සපුරා වැරැදි ප්‍රතිපත්තියකි.

එක් ජනකථාවකට අනුව එක්තරා ආත්මාර්ථකාමී නයෙක් සිටියේ ය. නයාගේ ආත්මාර්ථකාමී හිස සහ වලිගය අතර දිනක් වාදයක් ඇතිවිය. වලිගය නයාගේ හිසට කියා සිටියේ සැමදාම හිස ප්‍රධානත්වය ගෙන ක්‍රියාකරන බවත්, ඉඳ හිට හෝ තමාට ද ප්‍රධානත්වයක් ලැබිය යුතු බවත් ය. හිස නැත්නම් වලිගයට කළහැකි දෙයක් නොමැති බව කියා සිටි හිස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. දිනක් වලිගය තම බලය පෙන්වීමට ගසක දැවටී වෙළී සිටියේ ය. හිසට කිසි දෙසකට ගමන් කළ නොහැකි විය. මෙයින් කෝපයට පත් නයි හිස තමාගෙන් වෙන්වී වෙනම ජීවත්වන ලෙස වලිගයට කී ය. ඒ අනුව නයි වලිගය හිසෙන් වෙන්වීමට තීරණය කළේ ය. එහෙත් හිස නොමැති බැවින් නයි වලිගයට ඉදිරියට යාමට නොහැකි විය. එකිනෙකාගේ සහයෝගයක් නැතිව දෙදෙනාටම ඉදිරි ගමනක් නැති බව අවසානයේ නයි හිස සහ වලිගය තේරුම් ගත්හ.

ඉහත කතාව ප්‍රබන්ධමය උපමා කතාවක් වුවත් අපට උගන්වනුයේ වැදගත් ලෝක ධර්ම ම ය සිද්ධාන්තයකි. සාපේක්ෂක ලෝකයේ කිසිවකට හුදකලා පැවැත්මක් නැත. වමක් නැත්නම් දකුණක් නැත්තාක් මෙන්ම දකුණක් නැත්නම් වමක් නැත. යටක් නැත්නම් උඩක් නැත්තාක් මෙන්ම උඩක් නැත්නම් යටක් නැත. මව්පියන් නැත්නම් දරුවන් නැත්තාක් මෙන්ම දරුවන් නැත්නම් මව්පිය යැයි නාමයක් නැත. ගිහි පැවිදි, ස්වාමි සේවක, දුප්පත් පොහොසත් යනාදී සෑම සංකල්පයක් ම එසේ ය. එබැවින් ඒකපාර්ශ්වික ලෙස සිතා ආත්මාර්ථකාමී චින්තනයක් ගොඩනගා ගැනීම මුළාවකි.