Print this Article


මේ වස්සාන කාලයයි - 11: වස්සානයේ ආරම්භය

මේ වස්සාන කාලයයි - 11:

වස්සානයේ ආරම්භය

වස්සාන සමයෙහි ලිපි පෙළෙහි අද දවසේ සාකච්ඡා කරන්නේ වැසි සළුව පූජාකිරීම හෙවත් පිළිගැන්වීම පිළිබඳවයි. වස්සාන කාලය වෙනුවෙන් දායක ඇත්තන් විසින් උපසපන් භික්ෂූන් වහන්සේලාට එම කාලය තුළ තමන් විසින් පිළියෙල කරන ස්ථානයෙහි වැඩ වසන ලෙස ආරාධනා කිරීම සිරිතයි.

දායකයන් විසින් ආරාධනා කළත්, නොකළත් සියලුම උපසපන් භික්ෂූන් වහන්සේලා වස්සාන ප්‍රඥප්තිය අනුගමනය කිරීම සිරිතයි. ඒ වගේ ම එය බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද විනය ශික්ෂාවන්ට, ප්‍රඥප්තීන්ට ගරුකිරීමක් වෙනවා. ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්ම විනය අනුගමනය කිරීමක් බවට පත්වෙනවා. කෙසේවෙතත් දායක ඇත්තන් විසින් වස්සාන කාලය තුළ වාසය කරන ලෙස ආරාධනා කිරීමේ දී වැසි සළුවක් හෙවත් නානකඩයක් පිළිගන්වමින් ඒ ආරාධනාව සිදු කිරීම අද දක්වා ම චාරිත්‍ර ධර්මයක් ලෙස පත්ව තිබෙනවා. අප මෙහි ආරම්භය සොයා බලමු.

දඹදිව ඒ සමයෙහි සුදුසු නියම ඍතු දේශගුණය පවතින රටකි. එබැවින් බොහෝ ප්‍රඥප්ති ඒ ඒ රටවල දේශගුණයන් හා පරිසරයන්ට අනුව භාග්‍යවතුන් වහන්සේ විසින් පනවා තිබෙන බව පිළිගැනීමට සිදු වෙනවා. මධ්‍ය මණ්ඩලය සලකා පැන වූ ප්‍රඥප්ති අනිකුත් ප්‍රත්‍යන්ත දේශවලට වෙනස් විය හැකියි. වස්සාන සමයේ පූජා කරන සාටකය හෙවත් වැසි සළුව වස්වසන භික්ෂූන් විසින් වස්වසන දිනයෙහි ම අධිෂ්ඨාන කළ යුතු සේ, නියම කර වදාළ අතිරේක සිවුරකි. මේ සිවුර භික්ෂූන් වහන්සේලා විසින් වාග් විඥප්තියෙන් හෙවත් වචනයෙන් පවසා ඉල්ලාගෙන වුවත් ලබාගත හැකි වස්ත්‍රයකි. කෙටියෙන් ම සඳහන් කරන්නේ නම්, මේ වැසි සළුව අතිරේක කුඩා සිවුර යොදා ගනු ලබන්නේ ස්නානය කිරීමේ දී එනම් පැන් සැනහෙන විටයි.

එක් දිනක් විශාඛා මහෝපාසිකාව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ බුදුරජාණන් වහන්සේට මෙසේ සඳහන් කළා “භාග්‍යවතුන් වහන්ස, වස්සාන ඍතුවෙහි මේ භික්ෂූන් වහන්සේලා වැස්සෙන් තෙමෙනවා. එවිට අතිරේක සිවුරක් නොමැති වීම නිසා නග්නව පවා ස්නානය කරන්නට සිදු වෙනවා. එයින් ආරක්ෂාවීම පිණිස වැසි සළුවක් හෙවත් ස්නානය කිරීමේ දී පාවිච්චි කළ හැකි රෙදිකඩක් පූජා කිරීමට අවසර දුන මැනව’යි යන අදහසයි. එය පිළිගත් මහා කාරුණික වූ තථාගතයාණන් වහන්සේ එයට අවසර ලබාදුන් සේක. විශාඛා මහෝපාසිකාව භික්ෂූන් වහන්සේලා පිළිබඳව පමණක් නොවෙයි, භික්ෂුණීන් වහන්සේලා පිළිබඳව පවා සොයාබලමින් කාන්තාවන්ට අවශ්‍ය බොහෝ වස්ත්‍ර භික්ෂුණීන් වහන්සේලාටත් ධර්ම විනයට ගැළපෙන ආකාරයෙන් ලබාදීමට අවසර ඉල්ලා ඒ අවසරයට අනුමැතිය ලබා ගෙන ඉන්පසුව භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන් කටයුතු කළ මහෝපාසිකාවකි.

වස්සාන ඍතුවෙහි වැසි සළු පූජා කිරීම ද බොහෝ පින් සිදුවෙන පුණ්‍ය ක්‍රියාවක් බව තේරුම්ගත යුත්තකි. එය වස්සූපනායකයෙහි අංගසම්පූර්ණ කිරීමක් වන බවත් , භික්ෂූන්ට ආරාධනා කිරීමේ දී ස්වාමීණි, මේ වස් හාරමාසය තුළ අපි ඔබ වහන්සේලාට සිව් පසයෙන් ශක්ති පමණින් උපස්ථාන කරන්නෙමු.

පින් කැමැති දායක දායිකාවන්ගේ ආරාධනාව මේ වැසි සළු පූජාවත් සමගිනුත් සම්පූර්ණත්වයට පත්වේ. මේ අවස්ථාව පිළිබඳව වර්තමාන කාලය අනුව අප යමක් සිතා බැලිය යුතු වෙනවා. වර්තමාන පරිසරය තුළ උපසම්පදා භික්ෂූන් වහන්සේලා වැඩි පිරිසක් වාසය කරන්නේ ආරණ්‍යගතව නොව ග්‍රාමවාසී ව යි. එයිනුත් නගරවාසී ව වාසය කරන භික්ෂූන් වහන්සේලා බොහෝමයි. මේ නිසා ධර්ම විනයට අනුකූලව විනය ශික්ෂාවන් බිඳෙන්නට අවස්ථාවක් නොදී යම් වූ ද පරිශ්කාර පූජා කිරීම සුදුසු විය යුතු වෙනවා. නිදසුනක් ලෙස දැක්වූවොත් උන්වහන්සේලාට අවශ්‍ය ගමන්මළුවක් විය හැකියි. ඒ වගේ ම උන්වහන්සේලාට අවශ්‍ය පාවහන් යුගලක් විය හැකියි. ඒ වගේ ම උන්වහන්සේලා වෛද්‍ය නියමයෙන් දිනපතා හෝ නිතර පාවිච්චි කළ හැකි බෙහෙතක් විය හැකියි. ඒ වගේ ම ධර්මයේ සඳහන් ත්‍රිපිටක ධර්මය ඇතුළත් උන්වහන්සේලාගේ අභිමත පරිදි ධර්ම ග්‍රන්ථයක් හෝ විය හැකියි.

වස්සාන කාලය තුළ සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන මඟකට වර්තමාන කාලය වැනි බොහෝ කලබලකාරී පරිසරයක් සකස් වී ඇති කාලයක උන්වහන්සේලාට පහසුවෙන් සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩා ගැනීමට අවශ්‍ය යමක් වේ නම්, එයත් පිළිගැන්වීම, පූජා කිරීම සුදුසු වේ යැයි කල්පනා කරමු. එයට හේතුවක් තිබෙනවා. එනම්, බුදුරජාණන් වහන්සේගේ කාලයේ වචනාර්ථයෙන් ම හෙවත් වස්සූපනායික ධර්මයන්හි අඩංගු අර්ථයට අනුව ම භික්ෂූන් වහන්සේලාට සිදු කරන්නට තිබුණේ උන්වහන්සේලාගේ නිවන් මඟ සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය පිළිවෙත් මඟ ගමන් කිරීමයි. එයට අමතරව උන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරන දායක පින්වතුන්ට මඟ පෙන්වා දීම සිදු කෙරුණා. නමුත් මඟ පෙන්වීමත් තමන් වහන්සේලා නිවන් මඟ අරමුණු කරගෙන පවත්වන සීල, සමාධි, ප්‍රඥා පිළිවෙත් මාර්ගය ම එක කොටසක් හැටියටයි එය ඉටු කරනු ලැබූයේ.

එනමුත් වර්තමාන පරිසරය බොහොමයක් ග්‍රාමවාසී හා නගරවාසී වෙහෙර විහාරවල වැඩ වසන භික්ෂූන් වහන්සේලාට එදා වගේ ම ඒ අවස්ථාව ලැබී තිබේ දැයි නුවණින් කල්පනා කළ යුතු වෙනවා. යම් විටක උන්වහන්සේලාට දාන, පාංශුකූල, පිරිත්, රෝගීන් වෙනුවෙන් කරන සෙත් පැතීම්, දරුවන් වෙනුවෙන් කරන ආශිර්වාද ආදී වශයෙන් බුද්ධ කාලයේ නොපැවතුණු අධික වූ වැඩ ප්‍රමාණයක් පිළියෙළ වී තිබෙනවා. මෙම කටයුතු අන් කාලවල දී සේ ම වස්සාන කාලයේ දී කිසදු වෙනසකින් තොරව ම සිදුවෙන බවත්, සිදුකළ යුතු බවත් පැහැදිලියි. වෙනස්වන ලෝකයක් තුළ ඒ වෙනස්වීම් සමඟ ගැටීමට වඩා ඒවාටත් මුහුණදෙමින්, එහෙත් ධර්ම මාර්ගයෙනුත් බැහැර නොවී පිළිවෙත් මාර්ගය ඉවත් නොකොට, හැකිතාක් අන්දමින් සුදුසු පරිදි කටයුතු කරමින් සීල, සමාධි, ප්‍රඥා ගුණ මඟ සම්පූර්ණ කර ගැනීම අවශ්‍යයයි.

වර්තමාන පරිසරය අනුව වස්සාන කාලය තුළ වැඩි ජනගහනයක් සිටින ප්‍රදේශවල දාන, පාංශුකූල, පිරිත් වැනි දෑ දිනපතා පාහේ සිදුවන බව ඉතාම පැහැදිලියි. මේවා වෙනුවෙන් දවල් කාලයම ගතවන බවත් පැහැදිලියි. මේ නිසා නුවණින් කල්පනා කොට උන්වහන්සේලාට සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන්න වැඩි අවස්ථාවක් ගිහි පැවිදි දෙපාර්ශ්වය ම අවබෝධයෙන් යුතුව සකසා ගත යුතු වෙනවා. ඒ වගේම ඉහත සඳහන් කළා සේ උන්වහන්සේලාට වැසි සළුව සමගින් ම මේ කාලය තුළ වාසය කිරීමේ දී අවශ්‍ය තම බෙහෙත් හේත් වැනි දෑ සමඟින් උන්වහන්සේලා හා සමඟින් සාකච්ඡා කොට ධර්ම විනයට අනුකූලව භික්ෂු ප්‍රඥප්තීන්ට ගැළපෙන ආකාරයෙන් පූජා කිරීම අවශ්‍යයයි. ඒ පිළිබඳව ධර්ම විනය අත්දැකීම් ඇති විහාරයේ හෝ ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කිරීමත් සුදුසු බව පැහැදිලියි.