දස දාන වස්තු
රේරුකානේ
චන්දවිමල මහ නා හිමි
විචෙය්‍ය දානං සුගතප්පසත්ථං
යෙ දක්ඛිණෙය්‍යා ඉධ ජීවලොකෙ
එතෙසු දින්නානි මහප්ඵලානිබීජානි වුත්ථානි යථා සුඛෙත්තෙ”
“මේ ලෝකයෙහි යමෙක් දක්ෂිණේයයෝ වෙත් ද, ඔවුන් සොයා තෝරා ගෙන දන් දීම බුදුන් වහන්සේ
විසින් පසස්නා ලද්දේ ය. යම් සේ යහපත් කුඹුරක වපුළ විය බොහෝ ඵල ගෙන දෙන්නේ ද එමෙන් ම
තෝරා ගත් ගුණවතුන්ට දෙන දානය බොහෝ ඵල ගෙන දෙන්නේ ය. යනු එහි තේරුම යි.
“උජ්ජංගලෙ යථා ඛෙත්තො -
බීජං බහුකම්පි රොපිතං
න විපුලං ඵලං හොති –
න පි තොසෙති කස්සකං
තථෙව දානං බහුකං - දුස්සීලෙසු පතිට්ඨිතං
න විපුලං ඵලං හොති – න පි තොසෙති දායකං”
“තද වූ බිම් ඇත්තා වූ කුඹුරෙහි බොහෝ බීජයන් රෝපණය කෙළේ ද, බොහෝ ඵල ඇති වන්නේ නො වේ.
ඒ ගොවිතැන ගොවියා සතුටු කර වන්නක් ද නො වේ. එමෙන් බොහෝ වූ ද දාන වස්තුව දුශ්ශීලයන්
හට දෙන ලද්දේ ද මහත් ඵල ඇති කරන්නේ නොවේ. දායකයාගේ සිත සතුටු කරවන්නේ ද නොවේ.” යනු
එහි තේරුම ය.
“යථා පි භද්දකේ ඛෙත්තෙ –
බීජං අප්පම්පි රොපිතං
සම්මා ධාරං පවෙච්ඡන්තෙ –
ඵලං තොසෙති කස්සකං
තථෙව සීලවන්තෙසු - ගුණවන්තෙසු තාදිසු
අප්පකම්පි කතං කාරං -
පුඤ්ඤං හෝති මහප්ඵලං”
“යම් සේ යහපත් කුඹුරක රෝපණය කරන ලද්දා වූ මඳ වූ ද බීජ සමූහය මනාකොට වැසි වටනා කල්හි
එයින් හට ගන්නා ඵලය ගොවියා සතුටු කරවන්නේ ද, එමෙන් සිල් ඇත්තා වූ, ගුණවත් වූ
ලාභාලාභාදියෙහි සමාන පැවතුම් ඇත්තා වූ පුද්ගලයන් කෙරෙහි කරන ලද්දා වූ මඳ වූ සත්කාරය
වූ පින මහත්ඵල වේ” ය යනු එහි තේරුමයි.
අන්නං පානං වත්ථං යානං -
මාලා ගන්ධ විලෙපනං
සෙය්‍යාවසථ පදීපෙය්‍යං - දාන වත්ථු ඉමෙ දස
බත් මාලු කැවිලි පලතුරු ආදි ආහාරය ය, තේ කෝපි කිරි ආදි බොන දෙය ය, වස්ත්‍රය,
ගමනාගමනයට වුවමනා රථවාහනය, මල්ය, සඳුන්, කපුරු ආදි සුගන්ධ වර්ගය, ඇඟ ගල්වන
ද්‍රව්‍යයෝ ය, හිඳ ගැනීමට හා නිදාගැනීමට වුවමනා ඇඳ පුටු කොට්ට මෙට්ට ආදිය ය, ගෙවල්
ය. පහන් දැල්වීමට වුවමනා උපකරණය යන මේ දශය දාන වස්තූහු ය යනු මෙයින් දක්වන ලදී.
මේ ගාථාවෙහි දානවස්තු දශයක් දක්වා තිබෙන්නේ ප්‍රධාන වස්තු දැක්වීමක් වශයෙනි.
මත්පැන් ආදී ලොවට අනර්ථය පිණිස පවත්නා දේ හැර මනුෂ්‍යයන්ට ප්‍රයෝජනවත් වූ සියල්ල ම
දාන වස්තූහුය. මේ දස දාන වස්තුව දක්වා තිබෙන්නේ ගිහි පැවිදි කාහටත් දිය යුතු වස්තු
දැක්වීමක් වශයෙනි. භික්ෂූන් වහන්සේලාට දෙන කල්හි ඒවායින් කප්පිය වස්තූන් පමණක් දිය
යුතු ය.
- “බෞද්ධයාගේ අත්පොත” ඇසුරෙනි |