Print this Article


ත්‍රිපිටක දහම-13: සමුදය සත්‍ය

ත්‍රිපිටක දහම-13:

සමුදය සත්‍ය

දුක සහ දුක්ඛ සත්‍ය අතර ඇති වෙනස පසුගිය ලිපි පෙළෙන් සඳහන් කළා. එය කෙටි ක්‍රමයකින් සඳහන් කළොත්, දුක ඇති සෑම තැනකම ස්කන්ධ ටික පවතින නිසා දුක්ඛ සත්‍ය පවතිනවා. දුක්ඛ සත්‍ය පවතින සෑම තැනකම දුකේ පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. දුක එලෙස දෙයාකාර වෙනවා සේ ම ඒ දෙයාකාර දුක සහ දුක්ඛ සත්‍ය පිළිබඳ ව අප සඳහන් කරන විට, ඒ අනුව සමුදය සත්‍ය ද දෙයාකාර කොට දකින්න පුළුවන්කම තියෙනවා. එනම්, සමුදය සහ සමුදය සත්‍ය වශයෙන්.

සමුදය යනුවෙන් සඳහන් කරන විට, ලෝකයේ ඕනෑම තැනක හේතු නිසා සකස්වන ඵලයක් තිබේ නම්, ඵල නිෂ්පත්තියක් තිබේ නම්, ඒ ඵල නිෂ්පත්තිය සිදු කරනු ලබන සියලු ම හේතූන් අයිති වෙනවා සමුදය ගණයට. එවිට ඒ අර්ථයෙන් ගෙන බලන විට, ලෝකයේ බොහෝ කාරණාවන් සමුදය වචනයට සේ අපට සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් හැම සමුදයක් ම සමුදය සත්‍ය වන්නේ නැහැ. සමුදය සත්‍ය සමුදය වනවා, සමුදය සත්‍ය බවට ද පත් වෙනවා. එසේනම්, සමුදය සත්‍ය යනුවෙන් සඳහන් කරද්දී, අප තේරුම් ගත යුතුයි, දුක යනුවෙන් පවසද්දී අර්ථ කිහිපයකින් තේරුම් ගත්තා සේ ම සමුදය පිළිබඳව ද අපට අර්ථ කිහිපයකින් තේරුම් ගන්නට සිද්ධ වෙනවා. සමුදයස්ස ආයූහනට්ඨෝ, නිදානට්ඨෝ සංයොගට්ඨෝ, පලිබෝදට්ඨෝ, පහානට්ඨෝ කියන මෙවැනි අර්ථ ලෙසින් අපට, සමුදය පිළිබඳව තේරුම් ගන්නට සිද්ධ වෙනවා. ‘සමුදයස්ස ආයූහනට්ඨෝ’ යනුවෙන් සඳහන් කරද්දී, සමුදයාගේ ආයූහනාර්ථය එනම්, රැස් කරනවා යනු යි. එවිට ආයූහනාර්ථය සමුදයේ අයිති දෙයක්. සමුදය කියන දෙයට අප සිතාගත්තොත්, තණ්හාව දුක්ඛ සමුදය බව අප දන්නවා. තණ්හාව කියන දෙයෙහි සීමාව, එහෙම නැතිනම් තණ්හාව විවරණය කළොත් අප ලෝභයකි , යනුවෙන් එතැන අපට වැරැදි නොගැලපීම් රාශියකට මුහුණ දෙන්නට සිදු වෙනවා.

ඒ නිසා අප සමුදය සත්‍ය කියන දෙයෙහි ස්වභාවය පිළිබඳව තේරුම් ගත යුතු යි. එහි ස්වභාවය පිළිබඳ තේරුම් ගත් විට, අපට ඉතා වැදගත් වන දෙයක් වන්නේ සමුදය සත්‍යයේ ඇති ආයූහනට්ඨෝ කියන ලක්ෂණය යි. එය ලෝභය කියන තැන ඉක්මවා ගියපු, රැස් කර ගැනීම කියන දෙයත්, සමුදයේ තියෙන සමුදය ලක්ෂණයක්. ආයූහනාර්ථය යනුවෙන් සඳහන් කරද්දී, රැස් කරනවා කියන දෙයින් අදහස් කරන්නේ කුමක්ද? එනම්,එක පැත්තකින් කුසලා කුසල ධර්මයන් රැස් කර ගැනීමත්, තව විදිහකින් ගත්විට සියලු ම ආයතනයන්ගෙන්, දේවල් රැස් කරනවා කියන ගණයට යනවා. සියලුම සංස්කාරයන්ගේ රැස් කිරීම තමයි, අප කරන කටයුතු වලින් තීරණය වී තිබෙන්නේ. එය ආචයගාමී නම් වෙයි. එහෙමනම් සමුදයේ ඇති ලක්ෂණයක් වන්නේ ආචයගාමීකම එහෙම නැතිනම්, රැස් කරනවා යන ආයූහනාර්ථය සමුදයේ ඇති ලක්ෂණයක්.

අපේ පැත්තෙන් බැලුවොත් ඇසට රූපයක් ගැටෙන විට, ගැටෙන රූපය පිළිබඳව හඳුනා ගැනීමට ලක් කරනවා. ඉදිරිපසින් ඇති ගසක් දකින විට, අප ඒ ගස පිළිබඳව හඳුනා ගන්නවා, අප ඉදිරිපසින් තිබෙන්නේ ‘අඹ ගසක්’ යනුවෙන්. ඊටපසුව අප නැවත වෙනත් දිශාවක් බලා අප නැවත අඹ ගස දිහාම බලාගෙන සිටියොත් අපට පේනවා, මොහොතකට පෙර තිබුණු අඹ ගසම නැවත පේනවා යනුවෙන්. මෙලෙස පෙර තිබූ අඹ ගස නැවත බලන්නට පුළුවන් ද යන කාරණය පිළිබඳ ව යම් විමසීමකට ලක් කළ යුතු යි. හේතුව තමයි, දුක්ඛ සත්‍ය පිළිබඳව කතා කරන විටත්, පැහැදිලි කරගත් දේ වන්නේ, ස්කන්ධ ධර්මතා කියන කොටස පිළිබඳව. එතැනදී ඇත්තටම ඇසට ගැටෙන්නේ, රූපයක්. එයට අප කියනවා, වර්ණ රූපය යනුවෙන්. වර්ණ සටහනක්. වර්ණ සටහන තුළ, පාට ටික තුළ, ගසක් තිබුණේ නැහැ. ඒ වගේම ඇස කියන දෙයත් මීට මොහොතකට පෙර තිබුණු අඹ ගස කියන දේ පිළිබඳව ඇසටත් දැනගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එහෙමනම් වර්ණ සටහන පැමිණ ඇසට අඹ ගසක් ගෙනාපු බව පැවසුවෙත් නැතිනම්, ඇස මීට මොහොතකට පෙර තිබුණු අඹ ගස ආපු බව ඇස දන්නෙත් නැතිනම්, මේ දෙක තුළම අපට පේනවා, අඹ ගසක් කියන ස්වභාවය මේ දෙකටම අයිති නැති ස්වභාවය කියන එක. එහෙමනම් මීට මොහොතකට පෙර තිබුණු අඹ ගස නැවත තියෙනවා කියන එක, අප දැකපු දේ ද, දැනගත්ත දේ ද? අපට පැහැදිලිව පේනවා, එය අප දැකපු දේ නො වෙයි, වර්ණ සටහන ඇස සහ රූපය කියන කාරණා දෙක ඇතිවුණ තැනක අප දැනගත්ත දේ අනුව අඹ ගස කියන දැනුම බව. එවිට අඹ ගස කියන දැනුම අප දැනගත්ත දේ නම්, ඒ අප දැනගත්ත දේ තීරණය කළේ නිෂ්චය කළේ කොහොමද?