Print this Article


බිහිසුණු අපාය: පවෙහි ස්වභාවය හඳුනා ගන්න ගුණ දහම් දියුණු කර ගන්න

බිහිසුණු අපාය:

පවෙහි ස්වභාවය හඳුනා ගන්න ගුණ දහම් දියුණු කර ගන්න


බිහිසුණු අපාය ලිපි පෙළෙන් අද සඳහන් කරන්නේ හැත්තෑ දෙවන අපාය වන අර්ධ කල්ප නරකයේ සිට යි.

සත්ත්ව ඝානතය, සොරකම, කාම මිථ්‍යාචාරය, බොරුව , වංචාව, කපටිකම, මත් ද්‍රව්‍ය පාවිච්චි කිරීම, දෙමාපියන්ට නිග්‍රහ කිරීම ආදී වශයෙන් සියලුම පව් කළ ඇත්තන් අර්ධ කල්ප නරකයේ උපත ලබයි. අර්ධ කල්පයක් ම ලෝදිය ගංගාවක පිහිනීමට සිදුවන අතර එයින් ගොඩ ඒමට නොහැකි වෙයි. මෙහි කෙතරම් දුකක් ඇති දැ’යි කල්පනා කර බලන්න. උතුරන ලෝ දිය ගංගාවක පිහිනමින් වාසය කරන අතර එයින් ගොඩ වෙන්නට වෙර දැරුවත්, ගොඩ එන්නට නොහැකි වෙයි. දැවෙනවා, තැවෙනවා, පිච්චෙනවා, කෑමොර දෙමින් විලාප නඟනවා. කෙලෙසකවත් මේ දුකෙන් නිදහස් වන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා පින්වත්නි, මේ පාපයන්ගෙන් වැළකීම සඳහා උත්සාහයෙන් වැඩ කටයුතු කර ගන්න. සිත, කය, වචනය පමණක් සංවර කර ගන්න. එය හොඳටම ප්‍රමාණවත්.

එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ශික්ෂා පද වැඩි යැ’යි සිතා සිවුරු හැර දා නිවසට නික්මෙන්න සූදානම් වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙලෙස වදාළා. ‘මහණ, ඔබ වෙන කිසිවක් නොකර සිත නමැති ශික්ෂා පදය රැක ගන්නැ’යි වදාළා. උපදේශය ලබා ගත් ස්වාමීන් වහන්සේ සතර ඉරියව්වේ ම සිහියෙන් වැඩ කර සිත ගැනම සිතමින් නොබෝ දිනකින් ම රහත් ඵල ලැබුවා. එසේම ඕනෑම කෙනෙක් සිත, කය, වචනය සංවර කරගනු ලැබුවොත්, නිර්වාණ සම්පත්තිය බොහොම සමීපයේ පවතිනවා. කයෙන් , වදනින්, සිතෙන් පව් නොවුණ නිසා තිදොරින් විශාල පිනක් ලැබී තම දිවි මඟ වාසනාවන්ත වෙනවා. එසේනම්, සියලු පාපයෙන් වැළකීම මනු ලොව, දෙව් ලොව, බඹ ලොව මහා සම්පත් ලැබීමට හේතු වෙනවා. හැත්තෑ තුන්වන අපාය ‘අයෝබුල’ නරකය යි. මනු ලොව සිටිය දී සිල් ආරක්ෂා නොකරමින් අලජ්ජීව සිවුරු පොරවාගෙන සැදැහැවතුන්ගේ දානය වැළඳූ නාමික භික්ෂූන් වහන්සේලාට ලැබෙන දඬුවමක්. මෙම අපායේ නිරි සතුන් ගිනි බෝල ගිල දැමිය යුතු යි. ප්‍රත්‍යවේක්ෂා නොකර, පින් දහම්, බණ , භාවනා නොකර අනුන් දෙන දෙයින් වාසය කර, දිගු කලක් යම පල්ලන් විසින් ගිනි බෝල ගිල්ලවනු ලබයි. ඒ නිසා කවුරුත් තමාගේ ශීලය ආරක්ෂා කරගෙන, දැහැමිව ජීවත් විය යුතු යි.

අද ලොවේ බහුල පිරිසක් ශාන්ත දාන්ත ගති පැවතුම් අඩු යි. නපුරු ගති පැවතුම් වැඩි යි. ඒ නිසා මේ නරකාදී ලෝකවලට පත් ව අප්‍රමාණ දුක් විඳියි. ඒ ගැන කල්පනාවෙන් ශීලාදී ගුණ ධර්ම රකින්නන් මනු ලොව, දෙව් ලොව, බඹ ලොව උපත ලබා , සියලුම සැප සම්පත් අනුභවයෙන් සංසාර සාගරයෙන් නිදහස් විය යුතු යි.

හැත්තෑ හතර වන අපාය වන්නේ අජ්ඣන්තර නරකය යි. මෙහි උපත ලබන්නේ බණ පොත් නොබලන, බණ නොඅසන, භික්ෂුණීන් දූෂණය කළ අය යි. මෙය බොහොම බියකරු අපායක්. මෙහි නිරි සතුන්ට දෙන දඬුවම වන්නේ යම පල්ලන් විසින් කටු වලින් දිගු කලක් අනිනු ලැබීම යි. කොපමණ කෑකෝ ගැසුවත් , මෙය නවත්වන්නේ නැහැ. ඒ නිසා පන්සලට යන්න, බණ භාවනා කරන්න. තෙරුවන්ට ගෞරවය පුද කරන්න. මව් පියන්ට සලකන්න. එවිට අජ්ඣංතර නරකයෙන් වැළකී මනුලොවට, දෙව් ලොවට පැමිණ වාසය කළ හැකි යි.

මව් පියන්ට, වැඩිහිටියන්ට සැලකිය යුතු යි. යහපත් වචන කතා කරන, මසුරු මළ දුරු කර , බොරුවෙන් වැළකී, මෛත්‍රී භාවනා කළ යුතු යි. අඩුම තරමේ සුගතිය බලාගෙන හෝ පින්කම් කරගත යුතු යි. මොකද, නිරයකට වැටුණොත් නැවත ගොඩ එන්නට බැහැ. සියලු පින්කම් කර නිවන් සැප ලැබේවා යන පැතුමෙන් පින් දහම් කළොත් සසර කතරෙන් එතෙර විය හැකි යි.

හැත්තෑපස්වන නරකය වන්නේ මහගුලෝම නරකය යි. භික්ෂූන් වහන්සේලාට, මව් පියන්ට, දෝෂාරෝපණය කරන, තදින් අවවාද අනුශාසනා කරන, නින්දා අපහාස කරන, අය මිය ගිය පසුව උපත ලබන්නේ මහගුලෝම නරකයෙ යි. යම පල්ලන් විසින් ඇසට, මුඛයට, හිසට දිගු කලක් ම පොලු මුගුරු වලින් පහර දෙනු ලබනවා. එයට හේතු වන්නේ දෙනෙතින් රවා බලා, මුවෙන් බැණ වැදීම යි. දිගු කලක් ම යමපල්ලන් විසින් පහර දෙනු ලබනවා. ඒ නිසා කවුරුත් අපායෙන් බේරීම සඳහා බලවත් උත්සාහයකින් කටයුතු කළ යුතු යි.

හැත්තෑහයවන අපාය වන්නේ උච්චාරූර්හ නරකය යි. මෙහි උපත ලබන්නේ බෝධීන් වහන්සේ මත අසුන් ගන්නන්, චෛත්‍යය සහ පිළිම වහන්සේ මත නගින්නන් , තුනුරුවන්ට අවමන් කරන්නන් සහ විහිළු තහළු සෙල්ලම් කරන්නන් ය. මෙහි නිරිසතුන්ගේ යටිපතුල් පළා , ලෝ දිය දමා දිගු කලක් දුක් විඳින්නට සලස්වනවා. කවුරු වුවත් පවේ ස්වභාවය හඳුනාගෙන හැකිතාක් ගුණ ධර්ම දියුණු කරගත යුතු යි. සිල්වත් , ගුණවත් උතුමන්ට මව් පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ,තුනුරුවන් සතු දේපොළ, ආදියට නිග්‍රහ කළොත්, අපහාස කළොත් , ලැබෙන විපාකය වන්නේ මෙම අපායේ උපත ලැබීම යි. මෙයින් වැළකී කටයුතු කළොත්, මනුලොව මනුස්ස සම්පත් ද , දිව්‍ය ලෝකයේ සකල දිව්‍ය සම්පත් ද ලැබෙයි. මේ බව සිතෙහි තබාගෙන පාපයෙන් වැළකී පින්දහම් කරගත යුතු යි.

හැත්තෑහත්වන නරකය වන්නේ අංගාර පබ්බත නරකය යි. මෙහි උපත ලබන්නේ බෝධීන් වහන්සේ සමීපයේ , වෙහෙර විහාර ආදී පුදබිම්වල පාවහන් නොගලවා ඇවිද ගිය අය යි. මෙම අපායේ උපත ලබන නිරි සතුන්ගේ ගෙලෙහි රක්ත වර්ණයෙන් බැබළෙන, ගිනිගත් රථයක් බැඳ තබා, ගිනි පර්වතයක් මතට ඇදගෙන ගොස්, නොනවත්වාම නැග්ගවීමත්, බැස්සවීමත් සිදු කරනු ලබනවා. ඒ නිසා මේ නරකය ද බොහොම බියකරු වෙයි. හිස්වැසුම්, පාවහන් පැළඳ යා යුතු නම්, පුදබිමට නොයා සිටීම වැදගත් බව සිහි තබා ගන්න.

බිම්බිසාර රජතුමාගේ අවසන් කාලයේ යටි පතුල් පලා, ලුණු දැමුවා. මෙහි කර්ම විපාකය වන්නේ පුදබිමක පාවහන් පැළඳ යාම යි. ඒ නිසා හොඳින් මතක තබා ගන්න, තුනුරුවන් වැඩ සිටින පුද බිමක හෝ ධර්ම දේශනා පින්කමක් කෙරෙන භූමියකට කිසිම කෙනෙක් පාවහන් පැළඳ යන්නට එපා. දානමය පින්කමක් හෝ වේවා , පාවහන් ගැලවීමට අමතක නොකරන්න. මොකද? මෙහි ධාතු කරඬුව ද, මහා සංඝ රත්නය ද වැඩ සිටිනවා.

මේවා හැකිතාක් ඉගෙන කියාගෙන ලොව්තුරු දහමට අනුව කටයුතු කර, සම්මා සම්බුද්ධ ශාසනයත් රැකගෙන කටයුතු කළොත්, කිසිවෙකුටත් කුමන දෙයකින්වත් අඩු පාඩුවක්, කරදරයක් නැතිව, සංසාර සාගරයෙන් නිදහස් වන්නට පුළුවන්. මේ කරුණු කාරණාවෝ ඉගෙන කියාගෙන පවින් වැළකී, පින්දහම් කර මෙලොව ජීවිතය, පරලොව සුගතියක වාසයෙන් නිවන් පසක් කරගන්න ලැබේවා!