Print this Article


ධර්මය ශ්‍රවණයෙන් ජීවිතය නිසි මගට

ධර්මය ශ්‍රවණයෙන් ජීවිතය නිසි මගට

බුදු දහම අපගේ ජීවිතයට ගළපා ගැනීමේ දී අප විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේද දෙකක් මූලික ව ම ඉගැන්වෙනවා. ඒ ධර්මය ඇසීම සහ භාවනා කිරීම යි. මේ කාරණා දෙක ගැන සෑම ශ්‍රාවකයෙකුට ම ප්‍රමාණවත් අවබෝධයක් තිබීම මේ ධර්මය මනා ලෙස ප්‍රගුණ කරන්නට බෙහෙවින් උපකාරි වෙනවා.

ධර්මය අසන්නට නම් ධර්මය දෙසන්නට ද කෙනෙක් සිටිය යුතු වෙනවා. ඒ අනුව ඇසීම සහ දෙසීම යන වචන දෙක ම එක වර ක්‍රියාත්මක වන කාරණා දෙකක් බව වටහා ගත යුතුවනවා. ශ්‍රාවක බුද්ධත්වයෙන් නිවන් සුව සාක්ෂාත් කරන්නට බලාපොරොත්තු වන තැනැත්තාට හෙවත් රහත් වී නිවන් දැකීමට කැමැති පුද්ගලයාට නිවන් මඟ ගැන වටහා ගත හැකිවන්නේ ඒ තැනැත්තාට කලින් ඒ මඟ ගමන් කොට නිවන ප්‍රත්‍යක්ෂ කළ උත්තමයෙක් වෙතිනුයි. තමන් විසින් ම මේ උතුම් ධර්මය සාක්ෂාත් කළ උත්තමයාට කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියල යි. ලෝකයේ බුද්ධ රත්නය පහළ වන්නේ නැතිනම්, ධර්ම රත්නය ද පහළ වන්නේ නැහැ. ඒ අනුව ලොවට පළමුව දහම් දෙසන, බණ කියන උත්තමයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. උන්වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කළ පස්වග මහණුන්ගෙන් ලෝකයේ පළමු වරට බුද්ධ රත්නය සහ සංඝ රත්නය නියෝජනය කරන්නේ දේශක හා ශ්‍රාවක යුගළ ලෙසයි. දෙසන්නෙකුගේ පැවැත්ම තිබෙන්නේ අසන්නෙක් සිටින තැන යි. අසන්නට නම් යමක් දෙසන්නෙක් ද සිටිය යුතුම යි.

සම්බුද්ධ ශාසනය තුළ ශ්‍රාවක ශ්‍රාවිකාවන් බිහිවුණේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ නිසා ය. අසා ඇති කර ගත් දැනුමෙන් පොහොසත් වූ අය බහුශ්‍රැත ශ්‍රාවකයන් බවට හඳුන්වා තිබෙනවා. බොහෝදෙනා බහුශ්‍රැත වූවාට, බොහෝ බණ අසා තිබෙන අය වුවාට ඒ ඇසූ බණ , අසන බණ මතකයේ තබාගෙන කටයුතු කරන බවක් නම් පෙනෙන්නට නැහැ. අසන බණ මතකයේ තබා කටයුතු කරන අයටයි ධර්මධර කියන්නේ. බොහෝ දෙනා ධර්මධර වූවාට ධර්මානුධර්ම ප්‍රතිපන්න ජීවිත ගත කරන්නේ නැහැ. හැබෑ ශ්‍රාවකයෙකු නම් බහුශ්‍රැත වන්නා සේ ම ධර්මධර ද ,ධර්මානුධර්ම ප්‍රතිපන්න ද විය යුතු වෙනවා. ධර්මානුධර්ම ප්‍රතිපන්න වීම භාවනා කිරීම යන ගණයට අයත් වෙන කාරණාවක්.

අපි බණ ඇසිය යුත්තේ ඇයි? බණ ඇසිය යුත්තේ,

1. නො ඇසූ බණ අසා දැන ගැනීමට,

2. ඇසූ බණ වඩ වඩාත් පිරිසුදු ව වටහා ගැනීමට,

3. ධර්මය පිළිබඳ සැක සංකා දුරු කර ගැනීමට,

4. ධර්මය පිළිබඳ ඇති කරගෙන තිබෙන සම්මාදිට්ඨිය , වැටහීම ඍජු කර ගැනීමට,

5. සිත පහදවා ගැනීමට,

මේ කියන ලද කාරණා ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙන් ධර්මය ඇසීම අතිශයින් ම වැදගත් වෙනවා. බණ අසන්නේ කාගෙන් ද, බණ කියන්නේ කවුරුන් ද යන කාරණාව ගැන වෙහෙසෙනවාට වඩා අප කල්පනාකාරි වියයුත්තේ කියන බණ නිවැරැදිව වටහා ගන්නේ කෙසේද යන කාරණාව පිළිබඳව යි. මෙකල බොහෝ දෙනා නිවැරැදි, පිරිසුදු පෙළ දහමට වැරැදි අර්ථකථන සපයමින්, අපගේ සාම්ප්‍රදායික ඉගැන්වීම් ප්‍රසිද්ධියේ හෑල්ලු කරමින් , යුගයෙන් යුගය මහරහතන් වහන්සේ විසින් මුඛ පරම්පරාවෙන් රැගෙන ආ නිර්මල පිරිසුදු බුද්ධ වචනය තමන්ගේ අභිමතය පරිදි වෙනස් කරමින්, විවිධ විකෘති වූ අර්ථකථන, නිරුක්ති සපයමින් කටයුතු කරන අයුරක් පෙනෙනවා. මේ විකෘති දහම ප්‍රකෘති දහමක් සේ වටහා ගෙන රැල්ලෙ ඇදී යන, එක් එක් විෂයන් ගැන පමණක් උගත්කම් ඇති ,එහෙත් සමාජයේ උගතුන් යැයි පිළිගත් අය ද බොහෝ සිටින බවක් පෙනෙනවා.

ඒ අය සියල්ල දන්නා අය නොවේ. ඒ අය තමන්ගේ විෂය පිළිබඳ ඉහළ දැනුමක් ඇති අය විය හැකියි. නමුත් පාලි, සංස්කෘත, සිංහල ආදි භාෂාවන් ගැන ප්‍රමාණවත් දැනුමක් නැති අය විය හැකියි. ඒ භාෂා මූලයන්, වාග් සම්ප්‍රදායයන්, වාග් විද්‍යාවන් ගැන හෝ ව්‍යාකරණ විධි ගැන අවබෝධයක් ඇති අය නොවිය හැකියි. එවන් පිරිසක් තමන් උගත් යැයි සිතා දහමේ ඉගැන්වෙන සියලු කාරණා වැටහෙනවා යැයි සිතන්නේ නම් එය මුළාවකි. මෝඩකමකි. රැවටීමකි. එලෙස දහමේ නාමයෙන් විවිධ භාෂා ප්‍රයෝගයන්ට, විවිධ පද පෙරලිවලට, නිරුක්තිවලට රැවටී සිටින තමන් මාර්ගඵල වලට පත් වී සිටිනවා යැයි සිටින, ධ්‍යාන අභිඥා උපදවා ගත්තා යැයි සිතන, විකෘති වූ මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන උගත් යැයි හඳුන්වා ගන්නා පිරිසක් බිහි වී සිටින බව බොහෝ කණගාටුවෙන් වුව සිහිපත් කළ යුතුයි.

නිවැරැදි ධර්මය නම් කාගෙන් වුව අසා දැන ගත්තාට වරදක් නැහැ. මහබෝසතාණන් වහන්සේ මඛාදේව රජු ව ඉපිද සිටිය දී යකෙකුගේ කටට වුව පැන්නේ නිවැරැදි දහම දෙසන්නේ යකෙක් වුවත් එයින් ප්‍රයෝජන ගත යුතුය යන අදහස අපට උගන්වමිනු යි. ධර්මය අසන විට ධර්මය දෙසන පුද්ගලයාගේ චරිත ලක්ෂණ බැලීමට වඩා අප උත්සාහවත් විය යුත්තේ ඒ දෙසන ධර්මය අපගේ ජීවිතයට ගලපා ගන්නේ කෙසේදැයි විමසා බලා කටයුතු කිරීමට යි. බොහෝ අසන්නන් , දෙසන්නන්ගේ විවිධ අඩුපාඩු ගැන සිතා තමන්ට දහම අසන්නට ලැබෙන අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන නො ගන්නා බවකුත් අද අපට පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම දේශකයන් වහන්සේ ද “ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” යනුවෙන් ද පැරැණි ඉගැන්වීමක් තිබෙන බව ද සිහි තබා ගන්නවා නම් සිය දේශන කාර්යය වඩාත් ඵලදායි ලෙසින් ඉටුකිරීමේ හැකියාව තිබෙනවා.