Print this Article


ඒහි පස්සික 31: අරමුණක ප්‍රබලත්වය

අරමුණක ප්‍රබලත්වය


අප පෙර පින් කර ලබා ගත් පුඤ්ඤාභි ආනිඤ්ඤාභි ආදී වශයෙන් පෙර සංස්කාර හේතුවෙන් මේ විඤ්ඤාණලාභීන් බවට පත් ව තිබේ. ඒ විඤ්ඤාණ පාවිච්චි කළේ ඇති වී නැති වී යන ජංගම දුරකතනයක් දෙස බලා සිටීමට නම් ඒත් එය ගෙවී යනු ලැබේ.

සමහර විට කෙනකුට කල්පනාවට නැගීමට ඉඩ ලැබෙනුයේ මේ ජීවිතය ගෙවී ගිය බවකි. එහෙත් සසර ජීවිතය මොනතරම් නම් එවන් ජීවිත ගත කර ගෙවී ගොස් ඇත්දැයි සිතා බලන්න. මොන තරම් කාලයක් ගෙවී ගොස් තිබේද? මොනතරම් විවිධ දේ පසුපස හඹා ගොස් තිබේද? ඉතින් මේ අයුරෙන් ජීවිතය හැමදාම ගෙවී යනු ඇත.

මේ ජීවිතය තුළ අපි යහපතක්, වටිනාකමක් ඇති කර ගත යුතු වෙමු. ජීවිතයට යම් වටිනාකමක් ඇති කර ගත යුතුම ය. තමා කියන යම් දෙයක් වෙතොත් එය අසාගෙන, කීකරුව, කී දෙනෙකු සිටිත් ද? තමා කියා අර ගනිමින් එසේ තබා ගත හැකි අය නැතිනම් තමාගේ බලය එපමණකි. මේ ලෝකයේ තමා කෙතරම් කුඩා අයෙකු ද? තමා කියන යමක් අහන දෙතුන් දෙනකු වේ. එබඳු කුඩා ලෝකයක ඉපිද විශාල ලෙස තම ජීවිතය ගැන නොසිතා තමාගේ ජීවිතය සකස් කර නොගනිමින් විවිධ අයුරෙන් ජීවිතය ගත කිරීමෙන් ඵලක් වේද?

අපේ බුදුරජාණන් වහන්සේගේ දහම තුළින් මේ ලෝකයෙහි කී දෙනෙක් සැනසීම ලබනවාද? ඒ දහමට අනුව කී දෙනෙක් පිළිපදිනවාද? ඒ එක් උතුමෙක් සංසාරගත සැලැස්මකට අනුව කටයුතු කර සසර භවයෙන් භවය තමාගේ හැකියාවන් වර්ධනය කරගෙන අවසානයේ දී තුන් ලොවටම මහා උත්තමයෙකු බවට පත් වුණා. මොන තරම් කාලයකට ද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා මොනතරම් කාලයක් ගත වෙනවාද? ඒත් බුදුරජාණන් වහන්සේට මොනතරම් ගරු කරනවාද? උන්වහන්සේගේ ධර්මය මොන තරම් පිරිසක් අසනවාද? ඒ පිරිස මොනතරම් ශ්‍රද්ධාවකින් කටයුතු කරනවාද? කොයිතරම් උන්වහන්සේට අද පවා වඳිනවාද? පුදනවාද? ඒ සියල්ල සිදු කළේ උත්තම මනුෂ්‍ය රත්නයක්.

එසේ නම් තමා මොනවා කරනවාදැයි සිතා බලන්න. අධ්‍යාපනයෙහි නිරත දරුවෙක් නම් මගේ ජීවිතයේ අවම වශයෙන් වෛද්‍යවරයෙක් වත් විය නොහැකි ද? අපේ රටේ මොනතරම් ඉංජිනේරුවන් සිටිනවාද? තමන්ගේ අරමුණ ඉංජිනේරුවරයෙක් වීමට වත් අපහසු වුවහොත් ලෞකික ජීවිතයේ පලයක් තිබේද? ඒ අයුරෙන් මෙනෙහි කළහොත් තමන්ගේ දෛනික ජීවිතයේ කරන පන්තියේ පාඩම් අතපසු කර රූපවාහිනිය නරඹන්නට සිතක් ඇති වෙනවාද? ප්‍රබල සිතිවිල්ලක් ඇති වී තමා යම් වෘත්තිකයෙකු වීමට අරමුණක් ඇතිකර ගතහොත් රූපවාහිනිය නැරඹීමට යන සිතිවිලි ඉවත් වී යනු ලැබේ. ඉතින් එබඳු ප්‍රබල සිතිවිලි සිත තුළ ඇති කරගන්නේ කෙසේදැයි කල්පනා කර බලමු.

කවර අරමුණක් උදෙසා වුවද, තමා ඒ අරමුණට ළඟා වීමට ඉලක්කයක් පවතී නම් ඒ ඉලක්කය අරමුණ කෙරෙහි කැමැත්ත වර්ධනය කර ගත යුතු වේ.

යම් ළමා පිරිසකට දුර පැනීම සිදුකළ හැකියැයි සිතමු. ඒ දුර පැනීම විමසා බැලීමට පරීක්ෂකවරයෙකු පැමිණියේ යැයි සිතමු. ඒ පරීක්ෂකවරයා පැමිණ ඇත්තේ වඩාත් දුර පනින ළමයි පිරිසක් තෝරා ගැනීමට යැයි සිතමු. එවිට ඒ පරීක්ෂකවරයා ඉදිරියෙහි අදාළ ළමයි පිරිස දුර පැනීමට ඉදිරිපත් කර විනිශ්චය කරනුයේ වඩාත් දුර පැනීම කළ හැකි වන්නේ කා හට ද? යනුවෙනි.

ඒ වගේ අපගේ ජීවිතවල අරමුණු පවතින අයගේ ජීවිතවල කොයිතරම් ප්‍රබල අරමුණු පවතීදැයි විමසා බැලිය යුතු වේ. අරමුණු නැති අය වේ නම් ඒ අය අරමුණු ඇතිකර ගත යුතු වේ. අරමුණු පවතින අය, තමාගේ අරමුණුවල තත්ත්වය කෙසේදැයි විමසා බැලිය යුතු ය.

මහනුවර සිට කොළඹ බලා පිටත් වන කෙනෙකුට මාර්ගයේ දී සිතට ගලා එන සිතිවිල්ල නම් කොළඹ බලා පිටත්වීම යන්න යි. අතුරු මාර්ගයට වැරැදීමකින් හෝ යොමු වූයේ නම් අර මූලික අරමුණ බැහැරවීමකින් එසේ විය හැකි නොවේද? අරමුණක් වෙත ගමන් කරන තැනැත්තාගේ සිහිය නොමැති හැම අවස්ථාවක ම අරමුණෙන් ආපස්සට හෝ වෙනත් දෙසකට ගමන් කිරීමෙන් එසේ විය හැකි ය. අරමුණ පිළිබඳ සිහිය මනසේ හැමවිට පැවතිය යුතු ය. වෛද්‍යවරයෙකු වීමට අදහස් කරන ශිෂ්‍යයා හැම විටම තමා වෛද්‍යවරයෙකු වීමේ අදහස පැවතිය යුතු ය.

එය ප්‍රායෝගික ව සිදුවන දෙයක් ද? පාසල් යන දරුවන් පිරිසකගෙන් ඔවුන්ගේ අරමුණ පිළිබඳ විමසා බලන විට ඔවුන්ගේ අරමුණ සිතෙහි හැමවිට ම පවතින සිසුන් කී දෙනෙකු සිටිනවාදැයි විමසා බලන්න. එමෙන්ම දිනකට ඒ අරමුණ දහ, පහළොස්වරක් වත් සිතිවිලි ඇතිවන දරුවන් කී දෙනෙකු වේද? සමහරවිට දරුවන් දෙතුන් දෙනකු විය හැකි ය.