Print this Article


විනය හා බුදු සසුන

විනය හා බුදු සසුන


ථෙරවාදී විනය පිටකය සුත්ත විභංග, ඛන්ධක හා පරිවාර යනුවෙන් බෙදා දක්වනු ලැබේ. සුත්ත විභංගයට ඇතුළත් පාරාජිකා පාලිය හා පාචිත්තය පාලිය වෙසෙසින් ම භික්ෂූන් වහන්සේ නමකගේ පෞද්ගලික වගකීම පැහැදිලි කරයි. එනම් සතර පාරාජිකා දී ශික්ෂා ප්‍රඥප්තීන් රැක්ම ය. බන්ධකයට චුල්ලවග්ග පාලිය හා මහාවග්ග පාලිය ඇතුළත් ය. එමඟින් භික්ෂුවක සතු සාමූහික වගකීම පැහැදිලි කෙරේ.

එනම්, සංඝ කර්ම පාදක කොට ගත් සාමූහික පැවැත්ම විෂයෙහි තිබිය යුතු සහභාගිත්වය යි. පරිවාර යනු පරිවාර පාලිය වන අතර, එහි පෞද්ගලික මෙන්ම සාමූහික පැවැත්ම ද, අර්ථවත් වේ. අනෙක් අතට සුත්ත විභංගය විරති ශික්ෂා ස්වරූපය පෙන්වයි. එහි නො කළ යුතු දෑ දක්වනු ලැබේ. බන්ධකය සමාදාන ශික්ෂා ස්වරූපය ගනියි. එහි කළ යුතු දෑ දැක්වෙයි. පරිවාර පාලිය මිශ්‍ර ස්වභාවයෙන් යුක්ත ය. විරති, සමාදාන යන උභය ස්වභාවයෙන් ම ප්‍රකට වන්නේ උපසම්පදා භික්ෂුවගේ චරණය යි. විනය යි.

විනය ගරුක වීම

විනය කුමක් සඳහා ද? ඇත්ත වශයෙන් ම එය චරිත සංවර්ධනය සඳහා ය. යම් පුද්ගලයකු කො පමණ විනය ගරුක වුව ද ඔහුගේ ආධ්‍යාත්ම චරිතය නො දියුණු, අපිරිසුදු චිත්ත චෛතසිකයන්ගෙන් පිරී ඇත්නම්, එම විනය ගරුකත්වය අර්ථ ශූන්‍ය වන්නේ ය. විනයෙහි අරමුණ නම් ඇතුළතින් අශුද්ධ වූ පිටතින් ශොභමාන වූ (“අන්තො අසුද්ධා – බහි සොභමාන”) කුහක මිනිසුන් බිහිකිරීම නොවේ.

විනය නීති බුදුරදුන්ගේ හැර පිටස්තර ව්‍යවස්ථාපකයකුගේ පැණවීම් නොවේ. නමුත් පැහැදිලිව ම චරිත සංශෝධනාත්මක නීති රීති වෙයි. මේ නීති පද්ධතිය ස්වයං ශික්ෂණය ලක්ෂණ කොට ඇත. එසේ ම මෙම නීති සමූහය භික්ෂුවකගේ පෞද්ගලික හා සමාජ ජීවිතය ක්‍රමානුකූල කරන අතර, එම ජීවිතයේ ආධ්‍යාත්මික මාර්ගය සංවර්ධනය කර ගැන්මට උපස්ථම්භක වෙයි.

විනය සංවරය සඳහා ය. සංවරය විපිළිසර නොවීම සඳහා ය. විපිළිසර නො වීම තරුණ පී‍්‍රතිය සඳහා ය. තරුණ පී‍්‍රතිය මහත් පී‍්‍රතිය සඳහා ය. මහත් පී‍්‍රතිය පස්සද්ධිය සඳහා ය. පස්සද්ධිය සැපය සඳහා ය. සැපය සමාධිය සඳහා ය. සමාධිය යථාභූත ඥාන දර්ශනය සඳහා ය. යථාභූත ඥාන දර්ශනය නිර්වේදය සදහා ය. නිර්වේදය විරාගය සඳහා ය. විරාගය විමුක්තිය සඳහා ය. විමුක්ති ඥාන දර්ශනය සදහා ය. විමුක්ති ඥාන දර්ශනය උපාදාන විරහිත වූ පිරිනිවීම සඳහා ය.

බුදුරජාණන් වහන්සේ විසින් කරුණු දහයක් සලකාගෙන විනය නීති පනවන ලද්දේ යැයි පාරාජික පාලිය ද සඳහන් කරයි.

1.සංඝයාගේ යහපත් පැවැත්ම, 2.සංඝයාගේ පහසුව, 3.නො දැමුනු පුද්ගලයන් දමනය කිරීම, 4.ශික්ෂාකාමී භික්ෂූන්ගේ පහසු විහරණය,5.මෙලොව වශයෙන් උපදින ආශ්‍රවයන්ගෙන් ආරක්ෂා වීම ,6.පරලොව වශයෙන් ඇතිවන ආශ්‍රවයන් දුරු කිරීම ,7.නො පැහැදුනවුන්ගේ පැහැදීම ,8.පැහැදුනවුන්ගේ වැඩි පැහැදීම ,9.සද්ධර්මය බොහෝ කලක් පැවතීම, 10.භික්ෂු සංවරයට අනුබල දීම.

ලෝකය හසුරවන සිත

මෙම උපුටා දැක්වීම්වලින් පැහැදිලි වන්නේ විනය, විනය සඳහා ම නො වන බව ය. ඒ වූ කලී ප්‍රායෝගික වන්නේ ය. එහි අපේක්ෂාව නම්, හුදෙක් බාහිර වශයෙන් ශෝභමාන වූ අධ්‍යාත්මික වශයෙන් එසේ නො වූ මිනිසුන් බිහිකරලීම නොවේ. අනේක විධ වූ පහත් ළාමක පාපී චේතනාවන්ගෙන් පිරුණු සිත් ඇතිව විනය ගරුකවීමක් විනයෙන් අපේක්ෂා නො කෙරෙයි. ආචාර ධර්මයන්ගේ මානසික පදනම පිළිබඳව බෞද්ධ සූත්‍රාන්තයන්හි දක්වා ඇත්තේ නො මද සැලකිල්ලකි. කිසියම් පුද්ගලයෙකුගේ ආචාරාත්මක චරණය පිළිබඳ සාවද්‍ය බව හෝ නිරවද්‍ය බව තීරණය කිරීමේ දී චේතනාව ම ප්‍රමුඛත්වයෙහි තබනු ලබන්නේ එබැවිනි. බුදු වදන අනුව චේතනාව ම කර්මය වේ. සිතින්, කයින් හා වදනින් ද චේතනා පූර්වාංගම වැ කර්ම කරනු ලැබේ.

ලෝකය හසුරුවනුයේ සිත යි. සියල්ලෝම එයට අවනත වැ සිටිත්. සියල්ලට සිත ම ප්‍රධාන ය. එබැවින් මානසික සංවර්ධනය පිණිස උපකාරි නො වන්නා වූ විනය හුදෙක් කුහක වතක් පමණක් වන්නේ ය. සීලය වූ කලී විරති මාත්‍රයක් නොවේ. එහිලා වරදින් වැළකීම පමණක් මැ අපේක්ෂා කරන්නේ නැත. “හෙතෙම සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. බහා තබන ලද දඬු මුගුරු , අවි ආයුධ ඇත්තේ වේ. (එය විරතියයි, එසේම) හෙතෙම පවෙහි ලජ්ජා ඇත්තේ ය. දයාවන්ත ය. සියලු ප්‍රාණ භූතයන් විෂයෙහි හිතානුකම්පී ය.” මේ අනුව ශීල සංඛ්‍යාත වූ විනය ද හුදෙක් විරති මාත්‍ර නොවේ. එහිලා සමාදානයෙක් ද වන්නේ ය. පර පණ නො නැසීම විරතිය යි. සියලු ප්‍රාණීන් විෂයෙහි වැඩිය යුතු කරුණා , මෛත්‍රිය සමාදානය යි. එකී සමාදානයෙන් තොර විරතිය ආධ්‍යාත්මික දියුණුවක්, චරිත සංවර්ධනයක් ප්‍රකට කරන්නේ නැත. “සතුන් මැරීම් ආදියෙන් වළකින්නහුගේ ද, වත් පිළිවෙත් ආදිය පුරන්නහුගේ ද චේතනා දස සීල නම් වේ යැයි” ද දක්වන ලද්දේ එකී මානසික වර්ධනය ම මූලික වන බැවිනි.

විනය නීති පැනවීම සිදුවූයේ බුදුරදුන්ගේ පහළවීමෙන් හා භික්ෂු සමාජය පිහිටුවීමෙන් ද විසි වසරක් ඇවෑමෙන් යැයි අටුවාව සඳහන් කරයි. එකී මුල් විසි වසරෙහි ශික්ෂා ප්‍රඥප්ති විරහිත ව මැ භික්ෂු සමාජයේ සංවරයත්, සාමයත් ආරක්ෂා වූයේ ය. ප්‍රථමාභිසම්බෝධි කාලය ලෙස හැඳින්වෙන එම යුගයේ දී භික්ෂූහු වඩාත් බුදුරදුන්ගේ සිත් ගත්හ. උන්වහන්සේ ආදර්ශයට ගත් භික්ෂූහු මැනවින් සංවර වූ හ.

“මහණෙනි , එකල භික්ෂූන් වෙත ම විසින් අනුශාසනා කළ යුතු නොවී ය. ම විසින් කළ යුතු වැ පැවැතියේ සිහි ඉපදවීම පමණකි. “කය වචන සංවර වැ සිටි එකී භික්ෂූන්ට විටෙක අනුශාසනාව මැ ප්‍රමාණවත් විය. ආධ්‍යාත්ම ශික්ෂණයට අදාළ කරුණු වටහාදීමෙන් මැ හික්මවන ලදී.” “සුවච බව මෙසේ ඇතිවෙයි. දුර්වල බව මෙසේ වේ” යැයි කරන ලද එබඳු අනුශාසනා සූත්‍රාන්ත්‍රයන්හි හමුවෙයි. චූල සීල, මජ්ක්‍ධිම සීල ,මහා සීලාදිය ද සතර සංවර සීලාදිය ද අනුව හික්මීම ලද එම භික්ෂූන් විනය නීති විරහිත වැ රහත් බව ලබා තිබේ. ඕවාද ප්‍රාතිමෝක්ෂය ද උන්වහන්සේට ප්‍රමාණවත් වූයේ ය. භික්ෂූන් සඳහා නීතිමය ස්වරූපය ගත් විනය ප්‍රඥප්තීන් අවශ්‍ය වූයේ ඔවුන් උපශාන්ත සරල, විමුක්තිකාමී බවින්, ආධ්‍යාත්මික සංවරයෙන් පිරිහුණු විටයි. විනය නීති පැනවීමට තුඩුදුන් හේතු හතරක් පිළිබඳ ව අපේ මූලාශ්‍ර සඳහන් කර තිබේ.

1. ශාසනය ආරම්භ වී දිගු කලක් ගතවීම

2. සසුන පිරිස අතින් විශාල වීම

3. සසුනට බොහෝ ලාභ සත්කාර ඉපදීම

4. සසුනෙහි උගතුන් වැඩිවීම

විනය ප්‍රායෝගිකය

මුල දී ශික්ෂා ප්‍රඥප්තීන් අඩු වීමටත්, පසු ව වැඩි වීමටත් හේතු විමසූ භද්දාලි හිමියන්ට බුදුහු මෙසේ වදාළහ. “භද්දාලි සත්ත්වයා පිරිහෙන කල, ධර්මය අතුරුදහන් වන කල බොහෝ ශික්ෂාපද ඇති වේ. ඒ අනුව පිහිටා නිවන් දක්නාවුන් අඩු වේ. යම්තාක් කල් ශ්‍රාවකයන් අතර ආසවට්ඨානීය ධර්ම (ඉහත කී කරුණු සතර) පහළ නොවේ ද, ඒතාක් කල් තථාගතයන් වහන්සේ ශ්‍රාවකයන් උදෙසා ශික්ෂාපද නො පනවති”. මේ අනුව විනය ප්‍රායෝගික ය. එයින් තොරව ම මුල් යුගයේ භික්ෂූහු ධර්මය ප්‍රමාණකොට සංවර වූ හ.

බුදුරජාණන් වහන්සේ වනාහි විනය නීති පැනවූ සේක් දේශය, කාලය අවස්ථාව සලකා එය කළහ. අවශ්‍යතාවක් නූපන් කල්හි එසේ නො පනවන ලදී. එසේ ම පනවන ලද විනය නීති අවශ්‍යතාවක් උපන් කල්හි විටෙක වෙනස් කරන ලද්දේ ය. විටෙක අහෝසි කරන ලදී. පවත්නා ආර්ථික, දේශපාලන, සාමාජික තත්ත්වයන් ද විටෙක දේශගුණික තත්ත්වයන් ද, විටෙක ගිහි පැවිදි කොටස්වල සාධාරණ ඉල්ලීම් ද විනය පැනවීමටත්, වෙනස් කිරීමටත් හේතු විය. අනු ප්‍රඥප්ති ද පනවන ලදී. මෙයින් ද පැහැදිලි වන්නේ විනය වූ කලී ප්‍රායෝගික වන බව යි. එය දැඩි ව ගැන්ම මෙන් ම , බැහැ කරලීම ද බුදුසමයට පටහැනි වේ.

මුල් යුගයේ දී භික්ෂූන්ට අනුදන්නා ලද්දේ පාංශුකූල චීවරය පමණි. පසු ව වෙදදුරු ජීවකයන්ගේ ඉල්ලීම පරිදි එය වෙනස් කර ගෘහපතියන් පුදන සිවුර ද පිළිගන්නට අවසර දෙන ලදී. එයින් ලැබීම් බහුල විය. එවිට චීවර පටිග්ගාහක භික්ෂුවක පත් කෙරුණි. එහෙත් සිවුර රකින්නෙක් නොවී ය. ඒවා විනාශ විය. එවිට චීවර නිදහක භික්ෂුවක ද පත් කෙරුණි. එහෙත් සිවුරු බෙදන්නෙක් නොවී ය.

එවිට චීවර භාජක භික්ෂුවක පත් කෙරුණි. මෙයින් මැ විනයේ නම්‍ය වන බව පෙනේ. එය ප්‍රායෝගික ය. මුලින් පනවන ලද විනය නීති අනුව උපසම්පදා කර්මයකට භික්ෂූන් දස නමක් සිටිය යුතු විය. එහෙත් පසු ව එය වෙනස් කර සිවුනමක් ප්‍රමාණවත් යැයි පනවන ලදී. මෙලෙසින් ම සම් පාවහන් පැළඳීමට, නිතර ස්නානය කිරීමට වැනි ශික්ෂාවන් මගින්කර තිබූ සීමාවන් පසු ව ඉවත්කර තිබේ. මෙබඳු නිදසුන් විනය මූල ග්‍රන්ථවල සුලභ ය. විනය වූ කලී පරමාර්ථ සත්‍ය නොවේ. එය සම්මුතිය යි. එබැවින් ප්‍රායෝගික ය. වෙනස් විය හැකි ය.

එය චරිත සංවර්ධනය පිණිස මැ වේ. එහි එල්බැ ගැන්ම මෙන් ම බැහැර කරලීම ද වරදකි. ශීලයෙන් තොරව ද බුදුහු ශුද්ධිය නො වදාරති. විනය වූ කලී භික්ෂූන්ගේ සංවරය , සමගිය හා පහසුව ද පිණිස ය. ධර්මය හෝ විනය දෙකින් එකක් වඩා ප්‍රමුඛ ද නොවන්නේ ය. ආධ්‍යාත්මික සංවර්ධනයෙන් තොර විනය ගරුකත්වය හැඳින්විය යුත්තේ අහස නො ගොරවා වැටෙන වැස්සක් ලෙස ය යනු බුද්ධ වචනය යි.