Print this Article


මහා පවාරණ විනය කර්මයෙන් තහවුරු වන සංඝ සාමගි‍්‍රය

මහා පවාරණ විනය කර්මයෙන් තහවුරු වන සංඝ සාමගි‍්‍රය

වස්සාන ඍතුවෙහි එළැඹෙන පුර පසළොස්වක පොහොය හතරෙන් වප්පුර පසළොස්වක පොහොය ශාසනික අංශයෙන් සංඝ කර්ම හා විනය කර්මවලින් වැදගත් වන උතුම් පොහොය දිනයෙකි. මහා පවාරණ විනය කර්මය, කඨින චීවර පූජා සමයේ ආරම්භය, දේවාවරෝහණය, සැරියුත් මා හිමියන් නුවණින් අගතැන් ලැබීම, මතු බුදුවන මෛත්‍රිය බෝධිසත්වයන් පැවිදි බව ලැබීම, සහ ලක්දිව ප්‍රථම විනය සංගායනාව පැවැත්වීම වැනි මහඟු ශාසනික සිද්ධි රැසකින් වප් පුර පසළොස්වක පොහොය උසස් වෙයි.

මහා පවාරණ විනය කර්මය හෙවත් වස් පවාරණය යනු කවරේදැයි පැහැදිලිකිරීමට පළමු වස් විසීම ගැන කිව යුතු ය. “අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං” යන බුද්ධ ප්‍රඥප්තිය අනුව උපසම්පදාලාභී සියලුම භික්ෂූන් වහන්සේ, වස්සාන ඍතුවෙහි වස් සමාදන් වීම අනිවාර්යයෙන්ම කළ යුතු විනය කර්මයකි. පෙර වස් සමාදන් වීම, සහ පසු වස් සමාදන් වීම වශයෙන් වස් සමාදන් වීමේ ක්‍රම දෙකකි. ඇසළ පසළොස්වක දිනයේ පෝය කොට අව පෑළවියදා පෙර වස් සමාදන් වීමත්, නිකිණි මස පසළොස්වක දා පෝය කොට අව පෑළවිය දා පසු වස් එළැඹීමත්, බුද්ධ නියමය යි. මෙම දෙදිනෙන් එක් දිනක හෝ වස් විසීම නොකළ භික්ෂුවට ඇවැත් සිදු වෙයි.

සුදුසු සෙනසුන්වල වස් එළැඹුණු භික්ෂූන් ජනපද චාරිකාවෙන් වැළකී තමන් වහන්සේගේ ආරාමයෙහි රැඳි, ආධ්‍යාත්මික සංවර්ධනයේ යෙදීම සිරිතයි. අවශ්‍ය ගමනක් යෙදුණොත් හැර ගමනට පෙර ස්වකීය වස් ආරාමයට වැඩමවිය යුතු ය. අත්නොහැරිය යුතු ගමනක් යෙදුණොත් සත්තාහ කරණීයයෙන් යන්නට ද අවසර ඇත. ආරාමයෙන් පිටවන විට වස් ගැන සිහියේ තිබිය යුතු වේ.

මෙලෙස වස්සච්ජේදයට නොපැමිණ, විනය ප්‍රඥප්තිවලට අනුකූලව වස් තෙමස ගත කිරීමෙන් පසු, වස් ශික්ෂා පදය රැකගැනීමේ සුදුසුකමින් හෙබි, භික්ෂූන් වහන්සේ කඨින මහා පූජෝත්සවයට ද සමගාමීව පැවැත්වෙන පෙර වස් පවාරණ විනය කර්මයෙහි යෙදෙති. පෙර වස් පවාරණය වප් පුර පසළොස්වක පොහොය දාටත්, පසු වස් පවාරණය ඉල් මස පසළොස්වක පොහොය දාටත් නියම ව ඇත. කඨින චීවර ලැබීමේ සුදුසුකම හිමි වනුයේ පෙර වස් පවාරණය කළ භික්ෂූන්ට පමණි. පසු වස් සමාදන්ව පවාරණය භික්ෂූන්ට වස්වාසික චීවරාදිය කැප ය.

පොහොය කර්මය

උපසම්පදා සීලයට පත් සියලුම භික්ෂූන් පොහොය දිනට ඒ ඒ ප්‍රදේශවල සම්මතකර ගෙන තිබෙන පෝය සීමාවලට රැස් වී, වත් පිළිවෙත් කොට, ප්‍රාතිමොක්ෂය නම් වූ විනය නීති ඇතුළත් ග්‍රන්ථය කටපාඩමින් සජ්ඣායනා කරති. පොහොය කිරීම යනු මෙයයි. මසකට පොහොය දෙක බැගින් වසරකට පෝය දින 24ක් යෙදේ. එම පෝය දිනවල පෝය කිරීම පුරාණ සංඝයාගේ සිරිත වූයේ ය. මෙකල මෙම සම්ප්‍රදාය වස් කාලයට පමණක් සීමා වී පවතී. අඩ මසක් පාසා පොහොය විචාරීම බුද්ධ නියමය යි. සමගියෙන් රැස්වී, ඇවැත් දෙසා පොහොය විනය කර්මයෙහි යෙදීම සංඝයාගේ සැපයට හේතුවකි.

පවාරණය යනු කුමක්ද?

මෙය සංඝයාගේ විනය කර්මයකි. “අනුජානාමි භික්ඛවේ වස්සං වුත්තානං භික්ඛූනං තිහිඨානෙහි පවාරෙතුං දිට්ඨෙන වා සුතෙන වා පරිසංකායවා සා වො භවිස්සති අඤ්ඤමඤ්ඤාණුලොමතා ආපත්තිවුට්ඨානතා විනයපුරෙක්ඛාරතා”

(විනය පිටකය මහාවග්ගපාලි)

“මහණෙනි , වස් විසූ භික්ෂූන්ට දුටු දෙයකින් හෝ, ඇසු දෙයකින් හෝ, සැක කළ දෙයකින් හෝ යන මේ කරුණු තුනෙන් චෝදනා කරනු පිණිස සංඝයා ඉදිරියෙහි පවරන්ට අවසර දෙමි. ඒ පැවරීම නුඹලාට ඔවුනොවුන් අතර අනුකූල පැවැත්මට ද, ඇවතින් නැගී සිටීමට ද පහසුවක් වේයැයි” බුදුරදුන්ගේ නියමය යි.

මේ අනුව වස් පවාරණය යනුවෙන් අදහස් කරන්නේ ගිහි පක්ෂය විසින් පොහොය දිනයන්හි සමාදන්වන අට සිල්, දස සිල් පවාරණය මෙන් ප්‍රතික්ෂේපයක් නොවේ. වස් විසූ භික්ෂූන් අතර තම තමා අතින් කිසියම් ඇවත්,වරදක් සිදුවනු දැකීමෙන් හෝ, එබඳු වරදක් සිදු වී යැයි ඇසීමෙන් හෝ සැක පහළ වීමෙන් හෝ යන මේ කරුණූු තුනෙන් ම සිදුවූ ඇවත ගැන තමාට පෙන්වා දී අවවාද අනුශාසනා කරන ලෙස සංඝයාගෙන් හෝ ගණයාගෙන් හෝ පුද්ගලයාගෙන් ඉල්ලා සිටීම මෙහි අදහස් කරන වස්පවාරණ විනය කර්මය වෙයි.

භික්ෂූන් වස් තෙමස තුළ එකට සමගිව වත් පිළිවෙත්හි යෙදී සිට, වෙන්වී යන්නට සූදානම් වන මොහොත් මෙසේ පවාරණය කරන්නට නියම කර ඇත්තේ, සංඝ සාමගි‍්‍රය (සමගිය) රැකෙනු පිණිසත්, ශික්ෂා කාමිත්වය ආරක්ෂාවනු පිණිසත් යැයි සැලකිය හැකි ය. තව ද මෙම පවාරණ විනය කර්මය සංඝ සමාජයේ යහපත් පැවැත්මටත්, සමගියෙන් රැස්වී, සමගියෙන් විනය දෙසා, සමගියෙන් විසිරයෑමටත්, ඉවහල් වන්නකි. පෝය සීමාවේ දී සාමුහිකව ඇවැත් දෙසා නිදොස්වීමත්, සඟ මහලු පිළිවෙළට වැඳ සමාව ගෙන, දැනුවත් ව හෝ නොදැනුවත් ව සිදු වූ වැරැදිවලට සමාව අයැදීමත් , වැරැදි පෙන්වා දීමත්, වැරැදි පිළිගැනීමත්, සිදුවන බැවින්, සංඝයා අතර ගෞරවය, භක්තිය,අවංක බව, පිරිසුදු බව, නිරහංකාර බව, කල්‍යාණ මිත්‍රත්වය, මෙන් ම බුදුරදුන් වදාළ, අගය කළ සංඝ සාමගි‍්‍රය ද තහවුරු වෙයි.

සංඝ සමාජයේ සමගිය ගිහි සමාජයට ද මහත් ආශිර්වාදයකි. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්පිරිස බුදු සසුන දරාගෙන සිටින, උසුලාගෙන සිටින මහා ශක්තිමත් කුළුණු සතරක් වැනි ය. මේ සිව් පිරිසේ සමගියෙන්, ශක්තියෙන් වසර දහස් ගණනක් මුළුල්ලෙහි රැකගෙන ආ බුදු සසුන, මතුවටත් සුරැකෙනුයේ ගිහි පැවිදි සාමගි‍්‍රය මත ය.