Print this Article


මැසිවිලි එපා වැඩ කරමු

මැසිවිලි එපා වැඩ කරමු

මට ම මෙහෙම වුණේ ඇයි? මේක හරිම අසාධාරණයක්. මේ සියල්ල මට ම කරන්න සිදුවී ඇත්තේ ඇයි? කියා සිතීමෙන් තමයි මානසික අසහනයට, ආතතියට ගොදුරු වන්නේ. අපට මඟ පෙන්වූ ශ්‍රේෂ්ඨ ගුරුවරුන් අපට කියා දුන් පාඩම නම් ‘මැසිවිලි කියන්න එපා.

කරන්න ඕන වැඩේ කරන්න.’ කියන එකයි. මක්නිසාද කිව්වොත් කිසියම් වැඩක් කරන විට අප කරන වැඩේ ගැන මැසිවිලි කියන්න පටන් ගත්තා ම කරන වැඩේ තවත් දුෂ්කර වෙනවා. බරපතළ වෙනවා. මේ පිළිබඳ හොඳම උදාහරණය මා නිතරම කියා ඇති මගේ අත්දැකීමක්. අසහනය හා ජීවිතයට සම්බන්ධ වැඩ කටයුතු කිරීම අතර වෙනස ඉතා හොඳට කියාපාන කතාවක් විදිහට මේ කතාව වැදගත් වෙනවා.

ඊසාන දිග තායිලන්තයේ බොහෝ කැලෑබද පෙදෙසක වනසෙනසුණක අප සිටිද්දී මගේ ගුරුවරයා වූ අජාන් චා හාමුදුරුවෝ ලොකු ශාලාවක් තනවමින් සිටියා. මේ ශාලාව තනද්දී පස්, ගඩොල් කැබැලි වගේ විශාල කුණු ගොඩක් ගොඩ ගැසී තිබුණා. කුලියක් ගෙවා මේවා ඉවත් කරන්න මිනිස්සු කුලියට ගන්නවා වෙනුවට මේ වැඩ නොමිලේම කරවගන්න කම්කරුවන් ගොඩක් හිටියා. ඒ වෙන කවුරුවත් නොවෙයි. මා වගේ තරුණ හාමුදුරුවරු. මේ කියන දවස්වල මා බොහෝ නිරෝගීයි. කඩවසම්. දැන් වගේ මහත දෙහෙත නැහැ.

කිසියම් වැඩක් බාරදුන්නා ම මට කෙනෙකුට උදව්වන්නට ලැබීම ගැන සතුටු වුණා. ‘මේ පස්ගොඩ වෙනත් තැනකට ගිහින් දමන්න.’ කියා අජාන් චා හාමුදුරුවෝ අපට කිව්වා. මේ වැඩේ ලෙහෙසි පහසු වුණේ නැහැ. අපි දවස් තුනක් ම එක දිගට වෙහෙස වී මේ වැඩේ කළා. දවසටම වළඳන්න ලැබුණේ එක දන් වේලයි. ඇත්තටම ඒකත් ආහාර වේලක් කියල කියන්න බැහැ. බොහෝම පාලනය කරපු සලාක පංගුවක්.

උදේ නවයේ සිට රෑ දහය වෙනතුරු සවලෙන් විල්බැරෝවට පස් පුරවලා තව තැනකට ගිහින් දැම්මා. මේක බොහෝම අමාරු වැඩක්. ඒ අතර උෂ්ණයත්, මදුරුවොත් නිසා තවත් කරදර වුණා.

ඒත් මගේ හිතේ බලාපොරොත්තු තිබුණා. තුන් දවසකට පස්සේ වැඩේ ඉවරයි නේද? එතකොට ඇඟපත හෝදාගෙන, සිවුරු හෝදා දමා, විවේකයක් අරගෙන, භාවනා කරන්න පුළුවන් නේද කියලා මට හිතුණා. ඒත් එදා රෑ අපේ ගුරුතුමා, අජාන් චා හාමුදුරුවෝ වෙනත් වනසෙනසුණකට වැඩියා. ඊළඟ දවසේ උදේ අපි හීල්දානය ගත්තට පස්සේ, වනසෙනසුණේ අනුනායක හාමුදුරුවෝ නිවේදනයක් කළා. “මේ පස්ගොඩ ගිහින් දමා තිබෙන්නේ වැරැදි තැනකට. ඒවා වෙනත් තැනකට ගිහින් දාන්න.” කියලා.

ඉන්පසු තව දවස් තුනක් අප්‍රමාණ වෙහෙස වෙමින් අර පස් කන්ද වෙනත් තැනකට ඇද්දා. උදේ පිඬු සිඟා වැඩ මොනවා හරි සුළු දෙයක් වළඳා උදේ සිට රෑ නවය වනතුරු එක දිගටම වෙහෙස වුණා. පස්කන්ද දවස් තුනකින් තවත් තැනකට ඇද්දා. ‘වැඩ ඉවරයි’ කියා සතුටු වී විවේකයක් ගෙන, ඇඟ පත හෝදාගෙන භාවනා කරන්න සිතා ගත්තා. මේ වෙනකොට දවස් හයක් එක දිටගම මහන්සි වී සිටියා.

ඒත් එදා රෑ තුන්හිතකින්වත් නොසිතූ දෙයක් සිදුවුණා. අජාන් චා හාමුදුරුවෝ ඊළඟ දවසේ රෑ ආපහු ආවා. උදේ පාන්දර හීල්දානය ගත්තට පස්සේ උන්වහන්සේ මෙහෙම කිව්වා. “මම පස් ටික දමන්න කිව්වේ මෙතනට නෙමෙයි. වෙන තැනකට. ඇයි මෙතනට ගෙනාවේ? දැන් ආපහු තිබුණු තැනට අදිනවා.’මේ වෙනකොට මගේ ඉවසීම නැත්තටම නැති වී තිබුණා. ‘මම මහණ වුණේ පස් අදින්න නෙවෙයි. භාවනා කරලා රහත් වෙන්න හිතාගෙනයි. ධර්මය ඉගෙන ගන්නයි. මෙහෙම වහල් වැඩ කරන්න මට අවශ්‍ය නැහැ. ‘කියා මට හිතුණා. මට හොඳටම තරහ ගියා. මම පස් ඇද්දේ සාප කර කර, හැබැයි ඉංගී‍්‍රසියෙන්, තායි හාමුදුරුවන්ට මම කියන දේ තේරුම් ගන්න බැරි විත්තිය මම දැන සිටියා.

නමුත් මගේ අඟ පසඟ ඉරියව් උන්වහන්සේලා තේරුම් ගත්තා. මම ඉතා කෝපයෙන් සිටින විත්තිය තේරුම් ගත්තා. මම මහත් මානසික පීඩනයකට ලක් වී සිටියා. ඒ නිසා තරහින් සිටියා. මේකට හේතුවක් තිබුණා. මම සූරාකෑමකට ලක් වී තිබුණා. මගේ ගුණයහපත්කම අයුතු විදිහට ප්‍රයෝජනයට අරගෙන තිබුණා. මම අවුලෙන් අවුලට ගිහින් තිබුණා. මෙන්න මේ කියන වේලාවේ මා ළඟට ආ තායි හාමුදුරු කෙනෙක්, මට මුළු ජීවිතයටම අමතක නොවන, ඉන්පසු දහසක් දෙනා සමඟ බෙදා හදා ගත් අගනා උපදේශයක් මට දුන්නා. මෙය ජීවිතයේ අසහනය දුරු කර ගන්න විශිෂ්ට ක්‍රමයක්.

උන් වහන්සේ කිව්වේ මෙහෙමයි.

‘විල්බැරෝව තල්ලුකිරීම පහසුයි. ඒ ගැන සිතීම තමයි අමාරුව.”

මා මෙතෙක් වින්ද පීඩාව සහමුලින්ම දුරු කිරීමට මේ වචන කිහිපය උදව් වුණා. විල්බැරෝව තල්ලු කිරීම අමාරු වැඩක්. නපුරු හාම්පුතෙක් ළඟ වැඩ කිරීම අමාරු වැඩක්. නමුත් ප්‍රශ්නය වන්නේ මේවා ගැන සිතීමයි. නොසිතන විට මේ කිසිදෙයක් අමාරු වැඩ වෙන්නේ නැහැ. බටහිර ඔස්ට්‍රේලියානු බෞද්ධ සංගමයේ සභාපති විදිහට බරපතළ වැඩ රාජකාරි ගොඩක් කරන්න සිදුවුණත් ඒක බොහොම පහසුයි. අමාරුව වන්නේ ඒ ගැන සිතීමයි. මම මේ පාඩම ඉගෙන ගත්තාම ඉතිරි දවස් දෙක නිකම්ම ගෙවී ගියා. වැඩ කිරීම විනෝදයක් වුණා. අපි අනික් හාමුදුරුවරු සමඟ තරගයට විල්බැරෝ තල්ලු කළා.

වැඩ කිරීම හරිම සැහැල්ලු වුණා. දවස් නවයකට පසුව වැඩේ ඉවර වුණා. මම මේ වැඩෙන් පාඩම් රාශියක් ඉගෙන ගත්තා. බොහෝ විට අසහනය ඇතිවන්නේ, මට මේක කරන්න බැහැ කියා මැසිවිලි කියන විටයි. ඒ ගැන සිතන විටයි. සිතන්නේ නැතිව කළ යුතු දේ වන්නේ කළ යුතු වැඩේ කිරීමයි. වැඩ කටයුතු කිරීම ජීවත්වීමේ දී හරිම පහසු දෙයක්. ජීවත්වීමේ දී මා බොහෝ දුෂ්කර වැඩ කටයුතුවල යෙදෙනවා. සමහර විට හොඳට නිඳා ගන්න ලැබෙන්නේ නැහැ. දේශන පැවැත්වීමට සිදුවෙනවා. ඒත් මේවා සිදු කිරීම බොහෝම පහසුයි. අමාරුම දෙය මේවා ගැන සිතීමයි.