Print this Article


සැබෑ සමගුණ පිදේ යහගුණ

සැබෑ සමගුණ පිදේ යහගුණ

අප ජීවත් වන මේ සමාජයේ දක්නට ලැබෙන සුලබ දෙයක් තමා දරු පවුල් අසරණ බවට පත් වීම. මෙයින් බොහෝවිට පීඩාවට පත් වන්නේ අහිංසක ළමා ළපැටියන් පිරිසක්. දිනපතා ,විශේෂයෙන් පන්සල්වල ජීවත් වන අපට මෙවැනි අසරණ දරුවන් මුණ ගැහෙනවා. ඇතැම් හය හතර නො තේරෙන දරුවන් අයාලේ යනවා. සිඟමනේ යනවා.

අතන මෙතන බැලමෙහෙකම් කරනවා. නොයෙක් දුරාචාරයට යොමු වෙනවා. බාලාපචාරයට ගොදුරු වෙනවා. මත්ද්‍රව්‍යයන්ටත් බහුලව පෙළඹෙනවා. මේ විදියට නොයෙක් ආකාරයෙන් මේ නො දැරුවන් පත් වෙන මේ අවාසනාවන්ත තත්ත්වය හරි ම භයානකය. මේ අය ලොකු-මහත් වෙලා සමාජයට එන්නේ දරුණු මංකොල්ලකරුවන්, අපරාධකරුවන්, සමහරවිට දරුණු මිනීමරුවන් සැටියට යි. ඉතින් මේ තත්වයට විවිධ හේතු කාරක ඉදිරිපත් වී තිබෙනවා. ඒ අතර ප්‍රධාන ම කරුණක් බවට පත් ව තිබෙන්නේ දෙමාපියන් පිළිබඳ පවත්නා අසාර්ථක අඹුසැමි පැවැත්ම යි. ලංකාවේ අද බැලුවොත් පවුල් පසුබිම ශීඝ්‍රයෙන් පිරිහීමට පත් ව තිබෙනවා. දරුවන් සුමගට ගැනීමේ ප්‍රධාන බලපෑම ඇති කරන්නේ මූලික වශයෙන් දරුවා හැදෙන වැඩෙන ගෙදර පරිසරයෙන්. මෙහි ජීවත්වන ප්‍රධාන මාර්ගෝපදේශකයන් දෙදෙනා වන්නේ අම්ම යි තාත්ත යි. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දී තිබෙන විදිහට මේ දෙපළ දරුවා නිවැරැදි මගට ගන්නා මුල් ම ගුරුවරු දෙපළ යි. එය පැහැදිලි කරලා තිබෙනවා අම්ම යි තාත්ත යි කියන්නේ පූර්වාචාර්යවරු හැටියට.

ඉතින් ඒ මුල් ම ගුරුවරු දෙපළ බවට මව ත්, පිය ත් පත් වෙනවා කියලා කියන්නේ ඊට අවශ්‍ය ආකාරයෙන් මේ දෙදෙනා හැඩගැසී තිබුණු දෙදෙනෙක් විය යුතු වෙනවා. එය එසේ වීමට නම් ඒ අය පිළිබඳ පළමුවෙන් ම අවැසි කරුණ වන්නේ සාර්ථක අඹුසැමි ජීවිතයක් ගත කරන දෙපළක් බවට පත් ව සිටීම යි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පුඤ්ඤාභිසන්ද වග්ගයේ එන පඨම සංවාස සූත්‍රයේ දී සමාජයේ ජීවත් වන සමස්ත අඹුසැමියන් කොටස් හතරකට බෙදා වෙන් කර තිබෙනවා. මේ දහම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මධුරා හා වේරඤ්ජා කියන මේ ප්‍රදේශ දෙක අතර වැඩම කරමින් සිටින අවස්ථාවක යි. බුදුරජාණන් වහන්සේ මේ මගෙහි වඩිමින් විඩා සංසිඳවා ගනු පිණිස එක ගහක් මුල වැඩ සිටියා. ඒ අවස්ථාවේ ස්ත්‍රි පුරුෂ බොහෝ දෙනා උන්වහන්සේ වෙත පැමිණ වැඳුම් පිදුම් කරලා පසෙකට වෙලා වාඩි ගත්තා. ඒ අවස්ථාවේ මෙහි රැස්ව සිටින මේ බොහෝ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය දැකලා, ඊට සුදුසු දේශනාවක් වශයෙන් මේ පඨම සංවාස සූත්‍රය දේශනා කළා. සංවාස කියලා මෙහි දක්වා තිබෙන්නේ එක්ව වාසය කිරීම යි. ඒ එක් වන්නේ කවුද? අඹුසැමියන්. මේ සූත්‍ර ධර්මයෙන් ඉතාමත් පැහැදිලි ව පෙන්වා දෙන්නේ සමාජයේ මෙසේ ජීිවත් වන අඹුසැමියන්ගේ පැවැත්මේ ස්වභාවය යි. එය උන්වහන්සේ කොටස් හතරක් වශයෙන් වර්ග කර දක්වා තිබෙනවා.

මෙයින් එක කොටසකට අයත් වන්නේ 'ඡවො ඡවාය සද්ධිං සංවසති' කියන කොටසට යි. එය ලස්සන රූපකයකින් බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා. මේ අඹුව ත් සැමිය ත් කියන දෙපළගේ එක් විම මළමිනියක් මළමිනියක් හා එක්ව විසීමක් ලෙසට. ඉතින් මළමිනියකට ජීවයක් නැහැනේ. මේ මළමිනී දෙක එක්ව ජීවත් වුණු හෝ ජීවත් වෙනවා කියන්නේ මළමිනියෙන් වැඩක් ප්‍රයෝජනයක් නැතිවා වගේ ඒ ජීවත් වීමෙන් කිසිවෙකුට පලක් නැහැ කියන කරුණ. මළමිනිය කියලා කියන්නේ එක පැත්තකින් පලක් ප්‍රයෝජනයක් නැතිවා වගේ ම ඒ දෙපළ ළඟ ම ගුණ නුවණ කිසිවක් ඉතිරි වෙලා නැහැ. හරි ම හිස් ජීවිත දෙකක්. මළමිනිය කුණුවෙන, ගඳගහන තත්වයක් උදාකරනවා වගේම මේ අසාර්ථක අඹුසැමි දෙපළ සමාජයට විනයක්, කරදරයක්, රටට ම බරක් ඇති ජීවිත. ඉතින් මේ දෙදෙනා නිසා ඇති වන දරු පරපුරට මුල්ගුරු දෙදෙනා බවට පත් වීමට ඒ මවට ත්, පියාට ත් කිසිදු සුදුසුකමක් නැහැ. වටිනාකමක් එහි නැහැ. ඉතින් මේ නිසා ජනිතවන දරුවන්ට මොක ද වන්නේ? රටට බරක් ම යි. අයාලේ යනවා. දෙමාපියන්ගෙන් ලැබෙන්නේ ඉතා භයානක සමාජවිරෝධි ආකල්ප සමුදායක්. උපන්දා සිට දරුවන්ට අහන්ට දකින්ට ලැබෙන්නේ අනාගත සමාජ පැවැත්මට වින කරන දූෂිත දේ. ඉතින් අද අප ජීවත්වන මේ සමාජයට වින කරන යම් පිරිසක් වේ නම්, වඩාත් සුපරික්ෂාකාරී ව විමසා බැලුවොත් දෙමාපියන් නිසා එනම් මළමිනියක් මළමිනියක් සමඟ එක්ව සිටිනවා කියන තත්වයට පත්ව ඇති දෙමාපියන් නිසා කියන මේ කරුණ වඩාත් පැහැදිලි කර ගන්නට හැකියාව තිබෙනවා.

'ඡවො දෙවියා සද්ධිං සංවසති' මේ ධර්ම පර්යායෙන් පෙන්වා දෙන්නේ මළමිනියක් දෙව් දුවක සමඟ අඹුසැමි දිවිපෙවෙතක් ගත කරනවා කියන එකයි. එයින් අදහස් කරන්නේ ස්වාමිපුරුෂයා මළමිනියක් බවට පත්වෙලා හිටිය ත් භාර්යාව දෙවඟනක් වැනි යි. ඉතින් ගුණධර්ම අතින් භාර්යාව සාර්ථක යි යන්න මෙයින් අදහස් වෙනවා. එක ම බාධාව ස්වාමිපුරුෂයාගේ අසතුටුදායක පැවැත්ම යි. ඉතින් මෙවැනි තත්වයන්ට ඕන තරම් නිදසුන් සමාජයෙන් ඉදිරිපත් වෙනවා. මෙවැනි අවස්ථාවක මේ අඹුසැමි ජීවිතයේ සාමය, සමාදානය බොහොම දුර්වල යි. ගෙදර ප්‍රබලයා බවට පත්වන්නේ හැම විට ම පුරුෂයානේ. ස්ත්‍රිය ස්වභාවයෙන් පුරුෂයාට යටත් වෙන ක්‍රමයක් තමයි අප සමාජවල තිබෙන්නේ. ඉතින්, මේ නිසා පුරුෂයාගේ ආධිපත්‍යය ඉස්මතු වන නිසා මවට ලොකු සටනක් කරන්නට වෙනවා තම දරුවා සමාජයේ යහපත් තත්වයට පත් කිරීමේ කාර්යය සඵල කර ගැනීමට. මේ දෙපළගේ අදහස්වල සමානකමක් නැති නිසා හැමවිට ම ගෙදරදොර සාමය ගිලිහෙනවා. දරුවන් අසරණ තත්වයට පත් වෙනවා. බොහෝවිට දරුවා තම පියාගේ වැරැදි ආර්ශයන් අනුව ක්‍රියා කරන්නට යොමු වෙනවා. මව කොපමණ දුරට දරුවට යහපත් අයහපත් දේ පෙන්වා දී සුමගට ගැනීමේ උත්සාහ දරුවත් එය සඵල වන අවස්ථා විරල යි. මේ නිසා ගෙදරදොර සාමකාමි පරිසරයක් ඇති වන්නේ නැහැ. අඬදබර බහුල වෙනවා. දෙමාපියන්ගේ මේ විරසක තත්වය ඉතා ළාබාල අවදියේ සිට ම අත්විඳීන කුඩා ළමා ළපැටින් වැරැදි ආකල්ප රැසක් ජීවිතයට එකතු කර ගන්නවා. මේ ආකල්ප මත පැලපදියම් වන ඔවුන්ගේ සිතිවිලි වැරැදි පැත්තට ගමන් කරන නිසා හැමවිට ම සමාජයට අහිතකර තත්වයක් ඇති වෙනවා. මෙවැනි අවස්ථාවල බුද්ධිමත් මවක් නම් ඇය සත්පුරුෂයන්ගේ, කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර තම දරුවන්ට ලබා දීමෙන් පියාගෙන් ඇතිවන අහිතකර බලපෑම යම් පමණකට හෝ අඩු කර ගැනීිමට හැකියාවක් තිබුණ ද එය ඉතා දුෂ්කර කාර්යයක් ලෙස යි අපට පෙන්වා දෙන්ට පුළුවන්කම තිබෙන්නේ.

'දෙවො ඡවාය සද්ධිං සංවසති' මේ අවස්ථාවේ දී පෙන්වා දෙන්නේ ස්වාමිපුරුෂයා උතුම් ගුණසම්පන්න අයෙක්. ඒ වුණත් විවාහ පත්වෙලා ඉන්නේ ගුණහීන, මළමිනියක් වැනි අසාර්ථක භාර්යාවක් එක්ක යි. මේ තත්වයත් අපට සමාජයේ අත්විඳීන්නට තියෙනවා. මේ නිසා පවුලේ අසමගිය පැහැදිලි ව දකින්නට පුළුවනි. හැම විට ම ස්වාමිපුරුෂයාගේ අදහස්වලට ප්‍රතිවිරුද්ධ ව යි භාර්යාව ක්‍රියා කරන්නේ. ඇය තුළ ගුණධර්ම නැහැ. යුතු අයුතුකම් වටහා ගන්නේ නැහැ. දරුවන්ගේ නො මග යාමට ඇය ප්‍රබල සාධකයක් වෙනවා. අපේ සමාජයේ දරුවාගේ හැදීමට වැඩීමට ප්‍රබල බලපෑම ඇති වන්නේ මවගෙනු යි. මෙවැනි නිවෙස්වල පියා නිවැරැදි මගට දරුවන් යොමු කරන අවස්ථාවේ මව ඊට ප්‍රතිවරුද්ධ දිසාවට දරුවන් යොමු කරනවා. බොහෝ විට දෙදෙනා අතර ගොඩනැගෙන අසමගිය නිසා මෙවැනි කටයුතුවල දී මව හිතාමතා ම ස්වාමිපුරුෂයාගෙන් පළිගැනීමේ අදහස් , වධක චේතනා ඉස්මතු වී දරුවන් නොමග යවා එයින් උද්දාමයට පත්වෙනවා. ඒ තුළින් ඇය ස්වාමිපුරුෂයාගේ නිවැරැදි ගමන්මග පරාජයට පත් කිරීම යි අදහස් කර ගන්නේ

ඉතාමත් අර්ථවත් සාර්ථක අඹුසැමි සම්බන්ධය සිතුවාටත් වඩා ශක්තිමත් වන අවස්ථාව වන්නේ 'දෙවො දෙවියා සද්ධිං සංවසති' කියන තත්වයෙන් පවතින එක්වීම යි. මේ තත්වය ඇති වන්නේ සම අදහස් ඇති ව සම සද්ධා, සම සීල හා සම ප්‍රඥා කියන මේ අවස්ථා තුන සම්පූර්ණ වීමෙන්. මෙය බැලූ බැල්මට අතිශය දුෂ්කර එක්වීමක්. මොක ද? ඇත්තවශයෙන් ම සැබෑ සාර්ථක විවාහ ජීවිතයේ ස්වභාවය මෙය යි. මෙහි දී විවාහ වීමට පෙර දෙදෙනා තුළ පවතින සැබෑ සමගුණ පිළිබඳ විමසීම ඒ දෙපළ විසින් ම අන්‍යොන්‍ය වශයෙන් සිදු කළයුතු වෙනවා. එය සුළුපටු තත්වයක් නො වේ. පවුල් දෙකක් තුළින් එකට බැඳුණු දෙපළක් එක ම ස්වභාවයකට පත් කිරීම ලේසි පහසු වන්නක් නො වේ. මෙහි දී දෙමාපියන් විසින් තම දුවගේ, පුතාගේ අත ගන්නා සහකාරිය හෝ සහකාරයා ගැන විවාහයට පෙර සිට ම විමසිලමත් වීම වගේම දෙදෙනා ඔවුනොවුන් දැනහඳුනා ගත්තාට පසු තවත් කලක් ඔවුනොවුන්ගේ අවබෝධයෙන් තවදුරටත් විමසා දැන ගැනීමට ඉඩ දිය යුතු වෙනවා.

මෙයට හොඳම නිදර්ශනය තමා උම්මග්ග ජාතකයේ එන විදියට මහෞෂධ කුමාරයා හා අමරා දේවිය එම විවාහය තීන්දු කර ගැනීමට අනුගමනය කරපු ක්‍රියාමාර්ගය. මේ අවස්ථාවේ දී ඒ පිළිබඳ විමසීමට ඉඩක් ඇත්තේ නැහැ. එසේ වුවත් සුලබ උම්මග්ගජාතක පොත කියවා බැලීමෙන් තේරුම් කර ගත හැකියාව පවතිනවා. මේ තත්වය යටතේ භාර්යාවත්, ස්වාමිපුරුෂයා ත් එක විදියටම ශ්‍රද්ධා සම්පන්න යි. පරිත්‍යාගසීලි යි. හික්මීමෙන් යුක්ත යි. දැහැමි ජීවන පැවැත්මකින් දෙදෙනා ම එක්ව ක්‍රියා කරනවා. ඔවුනොවුන් ප්‍රියවචනයෙන් ම දවස ගෙවනවා. පාප මිත්‍රයෝ ඔවුන් දෙපළගේ සාර්ථක අඹුසැමි සම්බන්ධය ඉවසන්නේ නැහැ. ඒ තත්වය විනාශ කිරිමට යි හැමවිට ම බලන්නේ. මේ නිසා මේ දෙදෙනාගෙන් එක් අයෙකු හෝ නොමගට ගැනීම පිණිස විවිධ පාපකාරි උපක්‍රමත් යොදවනවා. ඒ නිසා දෙදෙනා ම එවැනි අවස්ථාවල දුරදක්නා නුවණින් ක්‍රියා කළ යුතු වෙනවා. මෙවැනි පවුල්වලින් බිහිවන දරුවන් හරිම නිදහසෙන්, සතුටින්, ලජ්ජා බිය ඇති ව, සමාජයේ ආදර්ශවත් ව හැදෙනවා. දවසින් දවස සෞභාග්‍යය වෙතට ගමන් කරනවා.