Print this Article


ආත්මාර්ථකාමිත්වය හිත පුරවන චින්තා මාණික්‍යයක් නොවේ

ආත්මාර්ථකාමිත්වය හිත පුරවන චින්තා මාණික්‍යයක් නොවේ


තමා ගැන පමණක්ම සිතන පුද්ගලයා ආත්මාර්ථකාමියෙකි. එබඳු මිනිසුන් ස්වභාවධර්මය හා මිනිස් ප්‍රජාව ඇතුළු සත්ත්ව වර්ගයා විසින් ලෝකයට දායාද කළ සියලු දෑ පරිභෝජනය කරමින් හුදෙක් තමා පිණිස ම ජීවත්වන්නෙකි.

ඔහු අනෙක් අයට ආදරය හා දයාව දක්වන විධිය නො දනියි. එසේම තම යහපත පිණිස ඉතා සුළු දේටත් අන් අය සමඟ වාද විවාද හා සණ්ඩු සරුවල් කරන්නෙකි. එසේ කොට යම් යම් දේ හිමිකර ගත්ත ද අසතුටෙන් කල්ගෙවීම ඔහුගේ ස්වභාවය යි. එපමණක් නොව අනෙක් අයගේ දියුණුව හා සාර්ථකත්වය දැක ඔවුනට ප්‍රතිවාදී වෙමින් කුඩුකේඩුකම් කිරීම ද මොහුගේ ලක්ෂණයකි. යහපත් කල් ක්‍රියාවන්ගෙන් යුතු ධනාත්මක මිනිසුන්ගේ දියුණුව නැති කිරීමට වෙහෙසෙන මොහුට අනුන්ගේ සතුට දරාගත නො හැකි ය. කුඩා අවධියේ සිට මෙලෙස ජීවත් වෙමින් මුහුකුරා යන මෙබඳු පුරවැසියන්ගෙන් අවසානයේ දී රටට සමාජයට සිදුවන්නේ ඔහුගේ සිතිවිලි නමැති වස වපුරුවා රට හා සමාජය විනාශ කරීමයි.

දුප්පත් පොහොසත් භේදයකින් තොරව ආත්මාර්ථකාමී මිනිසා පාලනය කරනු ලබන්නේ තණ්හාව මගිනි. වෙනත් විධියකින් කිවහොත් ආත්මාර්ථකාමී මිනිසා ඉදිරියට යවන, පිටුපසට ගෙන්වන, හරවන, නටවන දුරස්ථ පාලකය වන්නේ තණ්හාවයි. ඔහු කිසිදිනෙක තමා සතු දෙයින් සතුටකට හෝ සෑහීමකට හෝ පත් නො වන්නෙකි. මෙම අවාසනාවන්ත මිනිසා පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ මෙන්ම, වෙනත් නොයෙක් ආගමික ශාස්තෘවරුන් සහ බුද්ධිමතුන් විසින් බොහෝ දෑ පවසා ඇත. ආත්මාර්ථකාමී නුවණක් ඇති මිනිසුන් අශූචි මිනිසුන් බව වරක් බුදුන් වහන්සේ වදාළහ. (අත්තට්ඨපඤ්ඤා මනුජා අසූචි). එසේම ඔවුහු කහවණු වැස්සක් වැස්සත් තෘප්තිමත් නො වන්නෝ ය. එසේම මහත්මා ගාන්ධි පැවසූයේ “සියල්ලන්ගේ අවශ්‍යතා සඳහා ලෝකයේ ඇති දෑ ප්‍රමාණවත් ය. එහෙත් ඒවා තෘෂ්ණාවෙන් පිරුණු එක මිනිසෙකුගේ අවශ්‍යතා සපිරීමට කිසිදිනෙකත් ප්‍රමාණවත් නොවේ.” යනුවෙනි.

ආත්මාර්ථකාමී තැනැත්තා පොහොසතෙක් වුවත් ඔහු තම නිවස හා වෙනත් කිසිදු දේපළකින් සෑහීමකට පත් නොවේ. තම ධනය වස්තුව වැඩි කරගන්නේ කෙසේ දැයි නිතර කල්පනා කරන අතර, වැදගත් දෙයකට වුවත් ඉතා සුළු දෙයක්වත් දීමට කැමැති කෙනෙකු නොවේ. තමා සතු දෙයක් අහිමි වූ විට, පැහැර ගත් හෝ වංචාවකට හසු වූ විට අසීමිත ලෙස දුකට පත් වෙයි. තම මෙහෙකරු කම්කරු ආදීන් අවිශ්වාස කරමින් ඔවුන් විසින් කරනු ලබන වැඩ පිළිබඳ ද සැක උපදවයි. තමාගෙන් පසුව තම දේපළවලට කුමක් වේ දැයි සිතා මරණය පිළිබඳව ද දුක්වෙයි. එසේම ආත්මාර්ථකාමි තැනැත්තා දුප්පතෙක් වුවහොත් ඔහු තමාට සෑහීමකට පත්වීමට තරම් යමක් අත්පත් කර ගැනීමට නොහැකිවීම ගැන දුක්වෙයි. එහෙයින්ම කෙසේ හෝ යමක් ලබා ගැනීමේ චේතනාවෙන්ම කල් යවයි. එය සපුරා ගැනීමට නොහැකි වුවහොත් මරණින් පසුව හෝ යම් යම් දේ ලබා ගැනීමේ චේතනාවෙන් මරණයට පත්වේ.

ආත්මාර්ථකාමිත්වය අප තුළ බොහෝ වැරැදි සහගත මිථ්‍යා අදහස් උපදවන බව ද දත යුතු කරුණකි. වැරැදි සිතිවිලි නිසාම ජීවිත යථාර්ථය විනිවිද දැකීමට ජීවිතය පුරා අසමත් වූවෙක් වේ. තෘෂ්ණාව මුල් බැසගත් ආත්මාර්ථකාමිත්ව වූකලී අතිශයින්ම ඍණාත්මක මානසික බලපෑමකි. අතිශයින්ම විපත්තිකර මෙම සිතිවිලි පාලනය කර ගැනීමට හා නිවැරැදි කර ගැනීමට අසමත් වුවහොත් එයින් කවරෙකුගේ ජීවිතයට වුව ද බලවත් විනාශයක් සිදුවේ. මානව වර්ගයාගේ බලවත්ම ශාපය අත්මාර්ථකාමී බව යැයි වරක් සේක්ෂ්පියර් ද පැවසී ය. මිනිස් සිතිවිලි හමුදා බළ ඇණිවලට උපමා කළහොත් විනාශය ගෙන දෙන බලවත් ම බළ ඇණිය වන්නේ ආත්මාර්ථකාමිත්වය යි. විශ්ව සදාචාර නියමයන්ට අනුව අප හැම දෙයක්ම ලබා ගන්නේ චේතනා මූලිකව කරනු ලබන ක්‍රියාවන්ගෙනි. අප ලබන සතුට හා සැප යනු අප සිතූ යහපත් චේතානා මූලික ක්‍රියාවන්ගේ ප්‍රතිඵල වන අතර, දුක් වේදනා යනු අප සිතූ නරක සිතිවිලිවල ප්‍රතිඵලයන් ය. සිතා බලන්න. අප යටපත් කරගෙන සිටින්නේ අපගේ සිතිවිලි නොවේ ද? ආත්මාර්ථකාමී සිතිවිලි නිසා ඇති කරගන්නා බලවත් ද්වේෂ සහගත, වෛර සහගත, කුඩුකේඩුකම් හා කෙණෙහිලිකම් කරන සිතිවිලි ඇතිකර ගැනීම තමන්ගේ ම වළ හාරා ගැනීමක් බව ලොව්තුරා බුදුපියාණන් වහන්සේ වදාළේ එබැවිනි.

මේ නිසා ආත්මාර්ථකාමිත්වය නැති කරගන්නේ කෙසේ ද යන්න අප විසින් ඉගෙන ගත යුතු ය. තණ්හාව නැති කර ගැනීම එකවර කළ හැක්කක් නොවන බැවින් ආදරය හා කරුණාව පළමුව උපදවා ගැනීමට උත්සාහ ගන්න. දුකින් පීඩනයට පත් වන සත්ත්වයා කෙරෙහි වූ කරුණාව හා අනුකම්පාවෙන් ක්‍රියාකිරීම නිසා සතුටු වන පුද්ගලයාට පමණක් ආත්මාර්ථකාමී බව නැතිකර ගත හැකි ය. තම අරමුණු ඉටු කර ගැනීම සඳහා මහපොළොවේ පස් පිඬක්වත් පැහැර ගැනීමෙන් වැළකිය යුතු ය. මූල්‍යමය වංචා, ප්‍රාණඝාත ආදිය ගැන කවර කථා ද? එසේම තමන්ගේ සුඛවිහරණය මෙන්ම අනුන්ගේ සුඛ විහරණය ද සමාන කොට සැලකිය යුතු ය. තම දරුවන්ට මෙන්ම අන් අයගේ ද දරුවන් කෙරෙහි මෙත් සිත පැතිරවිය යුතු ය. කිසිවිටෙකත් අප අනුන්ගේ දුර්වලතා සහ වැරැදි සොයමින් ඒවා නිග්‍රහයට ලක් කොට ඔවුන්ගේ යහපත් ගුණ, ගති හා ක්‍රියාවන් නොසලකා නො හැරිය යුතු ය. වෛරය මුල්කොට ගෙන තවෙකෙක් තුළ වෛරය ඉපදවීමට ක්‍රියා නොකළ යුතු ය. වෛරයෙන්, වෛරය කිසිදිනක නොසංසිඳෙන බව ලෝකයේ සදාතනික ධර්මතාවක් යැයි බුදුන් වහන්සේ වදාළහ. අවි ගත් අය අවියෙන්ම නැසෙන්නාක් මෙන් වෛර සහගත අය වෛරයෙන් මියැදෙති. ආත්මාර්ථකාමී සිතිවිලි තමා තුළ තබා ගැනීම අවියක් තමා දෙසටම හරවාගෙන දිවිගෙවීමක් වැනි ය. මෙය වටහාගත් තැනැත්තා ආත්මාර්ථකාමිත්වයේ බිහිසුණු බව දැන එයින් වළකියි.

බණ පොතෙහි සඳහන් වන ප්‍රකට සේරිවාණිජ ජාතකය දෙස බලන්න. ආත්මාර්ථකාමී ව වෙළෙඳාමෙහි යෙදුණු සේරිවානිජ වෙළෙන්දා ධාර්මික බෝසතාණන් වහන්සේ ඝාතනය කිරීමට පසුපස හඹා ගියේ ය. එය අසාර්ථක වූ විට එයින් හටගත් වේදනාවෙන් ආත්මාර්ථකාමීව ම පපුව පැළී මිය ගියේ ය. ආත්මාර්ථකාමී බව නිසා බලවත් වූ සපත්නී රෝෂයෙන් දැවී පෙළී සිටි කාළී නමැත්තිය මිය යන අවස්ථාවෙහි ද බලවත් පළිගැනීමේ චේතනාව මුදුන් පමුණුවාගෙන සිටි නිසා ආත්ම ගණනාවක් යකින්නියක වී දුක්විඳී බව බෞද්ධ සාහිත්‍යයෙහි ඉතා ප්‍රකට ය. දෙව්දත් ආත්මාර්ථකාමී ලෙස ක්‍රියාකරමින් රාජ රාජ මහාමාත්‍යාදීන් පවා නොමඟ හරවමින් බුදුරදුන් ද ඝාතනය කරවීමට පිරිස් මෙහෙයවමින් කළ සමාජ අපරාධය ඔබට විමසා බැලිය හැකි ය. මේ නිසා ආත්මාර්ථකාමිත්වය සමාජයට බිහි කරනුයේ නරුම මිනිසෙකි. වෛරයේ පදනම වන්නේ ආත්මාර්ථකාමිත්වය වන අතර ආත්මාර්ථකාමිත්වය වෛරය පෝෂණය කරවන බව මෙයින් පැහැදිලි විය යුතු ය.

ආත්මාර්ථකාමී මිනිසුන් නිසා ලෝක ඉතිහාසයේ ඇති වූ අර්බුද විශාල සංඛ්‍යාවක් වේ. ආත්මාර්ථකාමී දුප්පත් මිනිස්සු තමාට වඩා සම්පත් ඇති අය කෙරෙහි ඊර්ෂ්‍යා කරති. එසේම ආත්මාර්ථකාමී පොහොසත් මිනිස්සු තමාට තරම් දේපළ, ධන ධාන්‍යාදිය නැති මිනිසුන් කෙරෙහි ද වැරැදි ලෙස පිළිපදිති. මෙය සපුරා වැරැදි ප්‍රතිපත්තියකි. එක් ජනකථාවකට අනුව එක්තරා ආත්මාර්ථකාමී නයෙක් සිටියේ ය. ඔහුගේ ආත්මාර්ථකාමී හිස සහ වළිගය අතර දිනක් වාදයක් ඇතිවිය. වළිගය නයාගේ හිසට කියා සිටියේ සැමදාම හිස ප්‍රධානත්වය ගෙන ක්‍රියාකරන බවත් ඉඳ හිට හෝ තමාට ද ප්‍රධානත්වයක් ලැබිය යුතු බවත් ය. හිස නැත්නම් වළිගයට කළහැකි දෙයක් නොමැති බව කියා සිටි හිස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. දිනක් වළිගය තම බලය පෙන්වීමට ගසක දැවටී වෙළී සිටියේ ය. හිසට කිසි දෙසකට ගමන් කළ නොහැකි විය. මෙයින් කෝපයට පත් නයි හිස තමාගෙන් වෙන්වී වෙනම ජීවත්වන ලෙස වළිගයට කී ය. ඒ අනුව නයි වළිගය හිසෙන් වෙන්වීමට තීරණය කළේ ය. එහෙත් හිස නොමැති බැවින් නයි වළිගයට ඉදිරියට යාමට නොහැකි විය. එකිනෙකාගේ සහයෝගයක් නැතිව දෙදෙනාටම ඉදිරි ගමනක් නැති බව අවසානයේ නයි හිස සහ වළිගය තේරුම් ගත්හ.

ඉහත කථාව ප්‍රබන්ධමය උපමා කතාවක් වුවත් අපට උගන්වනුයේ වැදගත් ලෝක ධර්ම ම ය සිද්ධාන්තයකි. සාපේක්ෂක ලෝකයේ කිසිවකට හුදකලා පැවැත්මක් නැත. වමක් නැත්නම් දකුණක් නැත්තාක් මෙන්ම දකුණක් නැත්නම් වමක් නැත. යටක් නැත්නම් උඩක් නැත්තාක් මෙන්ම උඩක් නැත්නම් යටක් නැත. මව්පියන් නැත්නම් දරුවන් නැත්තාක් මෙන්ම දරුවන් නැත්නම් මව්පිය යැයි නාමයක් නැත. ගිහි පැවිදි, ස්වාමි සේවක, දුප්පත් පොහොසත් යනාදී සෑම සංකල්පයක් ම එසේ ය. එබැවින් ඒකපාර්ශ්වික ලෙස සිතා ආත්මාර්ථකාමී චින්තනයක් ගොඩනගා ගැනීම මුළාවකි. කිසිදු දෙයක් දෙස ආත්මාර්ථකාමී ලෙස නො බැලිය යුතු ය. සියල්ලම මටම වේවා, මගේම වේවා යැයි සිතීම මෝඩ සිතිවිල්ලක් බවත් එසේ සිතන්නා මෝඩයෙක් බවත් දිනෙන් දින සිදුවන්නේ එසේ සිතන පුද්ගලයාගේ තණ්හාව හා මානය වැඩිවීම පමණක් බවත්, බුදුන් වහන්සේ පැහැදිලි කොට දුන්හ. ලෝකයේ කිසිදාකත් සිදු නොවන යථාර්ථයක් බවට පත් නොවන මෙම හැඟීම පෞද්ගලිකව තමාටත් පොදුවේ සමාජයටත් අනර්ථකාරී වේ නම් එබඳු ආත්මාර්ථකාමී සිතිවිල්ලකින් අපි කුමට කල් ගෙවමු ද? කුමට සාංසාරික දුක් ගොඩක ගිලෙමු ද? කුමක් නිසා ආත්මාර්ථකාමිත්වයේ අනිටු පල දැක එයින් මිදීමට වෑයම් නො කරමු ද? ඊර්ෂ්‍යාව, ලෝභය, මානය, කුහකකම, අත්තුක්ංසනය, පරවම්භනය ආදී මනසෙහි ඍණාත්මක සිතිවිලි විනිවිද දකින පුද්ගලයෙකුට පමණක් ආත්මාර්ථකාමිත්වයෙන් මිදිය හැකි ය. ඔහුට පමණක් ආත්ම තෘප්තියක් සහ සැනසිල්ලක් අත්විඳීය හැකි මානසික පාලනයක් පවත්වා ගෙන යා හැකි ය. එවිට ඔහුගේ මනස ආත්මාර්ථකාමිත්වයෙන් ජනිතවන, ලොව නොයෙක් අසමගිතාවන්ට හේතුවන ඊර්ෂ්‍යාව ආදී අනේකවිධ කුණු කන්දරාවන්ට තෝතැන්නක් නොවේ. ඊර්ෂ්‍යාව අප පතන දේ ලබා දෙන මාණික්‍යයක් නොවේ. එබැවින් සෑම කෙනෙකු විසින්ම චිත්තානුපස්සනාව කළ යුතු ය. සිතෙහි සිතිවිලි ඇතිවන, ඇතිවෙමින් පවතින හා පවතිමින් නැතිවන අයුරු ද ඒවායෙන් ඇතිවන අතුරු ඵල ද භාවනාවක් මෙන් මෙනෙහි කොට සිත හඳුනාගත යුතු ය. සිත පිරිසුදු කළ යුතු ය. අපිරිසුදු සිතෙන් උපදින ඍණාත්මක සිතිවිලි හඳුනාගත් සැනින් ඒවා වෙනුවට ධනාත්මක කුසල් සිතිවිලි ආදේශ කර ගැනීමට අප බුද්ධිමත් විය යුතු ය.

ආත්මාර්ථකාමී බව නිසා යථාර්ථය ඔබ ඉදිරියේ අන්ධ මිනිසෙකු බවට පත්වන බව තේරුම් ගන්න. ඔබ තුළ මගේකම, අපේකම, තණ්හාව, ආශාව, ලෝභකම වැඩි නිසා ඔබ ආත්මාර්ථකාමී වී ඇති බව වටහා ගන්න. එපමණක් නොව ඔබ සමාජයට ඊර්ෂ්‍යා කරනුයේත් එනිසාම වෛර කරනුයේත් , අසහනයෙන් ජීවත් වනුයේත් ආත්මාර්ථකාමී බව නිසාම යැයි මනසින් දකින්න. ඔබගේ ආත්මාර්ථකාමී බව නිසා ඔබ මෙන්ම පොදු සමාජය ම දූෂණය හා විපත් වැළඳගන්නා බව ද තේරුම් ගෙන මානව සමාජය කෙරෙහි ආදරය, දයාව හා අනුකම්පාව ප්‍රගුණ කළ යුතු ය.