[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වස්සානයයි කඨින චීවර පූජාවයි: අනතුරු ව කඨින විනය කර්මයක්

අනතුරු ව කඨින විනය කර්මයක්

සැමදෙනා වහන්සේගෙන් , මහතෙරුන් වහන්සේ ප්‍රධාන තව දොළොස් නමක් වස් විසූ වනෝද්‍යානය, අසල පිහිටි ගලාබසින ඔයට ගොස් ලොකු අඟුලකට නැග වැලි පොල් කට්ටක් ගෙන විනයධාරී තෙර නමක් හතර දෙසට වැලි ඉස තාවකාලික සීමාවක් දියෙහි ඇතිකර ගත්හ.

වස්ත්‍රය පැවරීමට යෝග්‍ය ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් මහතෙරුන් වහන්සේ ම නම නියම කරගෙන එහි සිටි විනයධාරී භික්ෂු නමක් පළමුව නමස්කාරය කියා මෙම විනය වාක්‍යයෙන් මහතෙරුන් වහන්සේට කඨින චීවරය පැවරූහ. ඒ විනය වාක්‍යය මෙසේ ය.

“සුණාතු මේ භන්තේ සංඝෝ”, ගරුතර මහා සංඝයා වහන්සේ මෙය ඇහුන්කන් දෙත්වා. “ඉදං සංඝස්ස කඨිනදුස්සං උප්පන්නං”, දැන් මහා සංඝයා වහන්සේට කඨින චීවරයක් සඳහා වස්ත්‍රයක් ලැබී ඇත. “යදි සංඝස්ස පත්තකල්ලං”, ඉදින් ඔබ වහන්සේලා කැමැති පරිදි, “සංඝො ඉමං කඨිනදුස්සං”, ඔබ වහන්සේලා මෙම කඨින වස්ත්‍රය, “තිස්සස්ස භික්ඛුනො දදෙය්‍ය’, තිස්ස භික්ෂුවට දෙන්නේ නම් දිය යුතු ය. “කඨිනං අත්ථරිතුං”, කඨින සිවුර සකස්කර ගැනීම සඳහා දිය යුතුය.

“සුණාතු මේ භන්තේ සංඝෝ”, ස්වාමීනි මහාසංඝයා වහන්ස, මෙය ඇහුන්කන් දෙත්වා. “ඉදං සංඝස්ස කඨිනදුස්සං උප්පන්නං”, මහාසංඝයා වහන්සේට කඨින වස්ත්‍රයක් ලැබී ඇත. “සංඝෝ ඉමං කඨිනදුස්සං” මහාසංඝයා වහන්සේ මේ කඨින වස්ත්‍රය, “තිස්සස්ස භික්ඛුනෝ දේති” එම කඨින වස්ත්‍රය අපි අතර සිටින මේ තිස්ස නමැති භික්ෂූන් වහන්සේට කඨින සිවුර සඳහා පවරමු. “යස්සායස්ම තෝ ඛමති ඉමස්ස කඨිනදුස්සස්ස තිස්සස්ස භික්ඛුනො දානං කඨිනං අත්ථරිතුං සෝ තුණ්හස්ස යස්ස නක්ඛමති සෝ හාසෙය්‍ය”. මෙම කඨින වස්ත්‍රය තිස්ස භික්ෂූන් වහන්සේට පැවරීම කැමැති භික්ෂූන් නිශ්ශබ්ද වෙත්වා. යම්කිසි භික්ෂුනමක් එය අනුමත නො කරන්නේ නම්, නැගිට ඊට හේතුව දැක්විය යුතු ය.

“දින්නං ඉදං සංඝෙන කඨිනදුස්සං තිස්සස්ස භික්ඛුනො කඨිනං අත්ථරිතුං” දැන් මේ භික්ෂු පිරිස විසින් තිස්ස භික්ෂුවට කඨින වස්ත්‍රය ඒකමතික ව පවරණ ලදී. “ඛමති සංඝස්ස තස්මා තුණ්හී ඒවමේතං ධාරයාමි” සියලු දෙනා වහන්සේගේ ම අනුමැතියෙන් කඨින වස්ත්‍රය තිස්ස භික්ෂුවට පැවරූ බව පිළිගත යුතු ය.

මෙම විනය වාක්‍යයෙන් පැහැදිලි වන්නේ කෙතරම් ඉහළ සමානාත්මතාවයකින් යුතුව බුදුරජාණන් වහන්සේ කඨින වස්ත්‍රය පිළිබඳව ඉහත සඳහන් විනය නීතිය අනුමත කොට තිබේ ද? යන්නයි. අවසානයේ කියැවෙන “දින්නං ඉද සංඝෙන” යන වාක්‍යය තුන් වරක් කිය යුතු ය. එසේ කියන්නේ ද මෙහි සඳහන් දෙවැනි වාක්‍යය කියා නිම කොට කඨින වස්ත්‍රය ලැබූ භික්ෂුවගේ අතට එය පිළිගැන්වීමෙන් පසුව ය. යමෙක් කැමැති නම් වහා ප්‍රකාශ කළ යුතුයැ යි විනය වාක්‍යයෙන් ම “යස්ස නක්ඛමති සෝ භාසෙය්‍ය” යනුවෙන් දක්වා තිබේ. බුදුරදුන් වදාළ විනය නීති පද්ධතියේ ස්වභාවය මෙයාකාර වේ.

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk