[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දහම් පිපාසිත සමාජයට බුදුසරණ ධර්ම චාරිකා වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේ දී පැවැත්විණි

දහම් පිපාසිත සමාජයට බුදුසරණ ධර්ම චාරිකා වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේ දී පැවැත්විණි

දහම් පිපාසිත සමාජයේ සිත් පහන් කරවමින්, තෙරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් පැවැති උදාර පින්කමක් පසුගිය දා, (සැප්තැම්බර් 28 වනදා) කළුතර දිසාවේ වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේ දී පැවැත්විණි.

බුදුසරණ ධර්ම චාරිකාවේ බිනර මහේ දහම් දෙසුම පූජ්‍ය බොරැල්ලේ කෝවිද හිමියන් විසින් පවත්වන ලදී. එහිදී සන්ධ්‍යා භාගයේ දී ගිලන්පස බුද්ධ පූජාව රැගත් මල් පෙරහර සැදැහැති මහා පිරිසකගේ සාධු නාද මධ්‍යයෙහි විහාරස්ථානයට ළගා වූයේ ද දුටුවන්ගේ නෙත් සිත් පහන් කරවමිනි.

විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ සිසු දරුවන්, තරිඳු පෙරපාසලේ සිඟිති දරුවන් හා විහාරස්ථ දායක දායිකා විශාල පිරිසක් ද ඊට සහභාගි වූහ. එම මල් පෙරහර හිටපු ගම්පති පරලොව සැපත් අයි. එච්. පෙරේරා මහතාගේ නිවසේ සිට ධර්මාචාරීනි අයි. ඤණලතා මහත්මිය ඇතුළු සංවිධායක මණ්ඩලයේ මෙහෙයවීමෙන් සිදු කෙරිණි. විහාරස්ථ සඟරුවන බුද්ධ වන්දනා පින්කම මෙහෙය වූහ.

පින්කම් මාලාව වාද්දුව දෙගම්බද මහා විහාරය ඇතුළු විහාරත්‍රයාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ කළුතර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක බෝපිටියේ ධම්මිස්සර නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. විහාරවාසී කතරගම රතනවංශ හිමියන් සංවිධායකත්වයෙන් වුහ.

මෙවර ද බුදුසරණ ධර්ම චාරිකාව පිළියන්දල හා හෝමාගම ප්‍රසාද් ටෙක්ස්ටයිල්ස් ආයතනය සමඟ දර්ශන් ඉන්ටර්- නැෂනල් ආයතනයෙහි සැදැහැති දායකත්වයෙන් පැවැත්විණි. එදින පැවැති පොද වැසි ද නොතකා මහ පිරිසක් සුදුවතින් සැරසී පැමිණ සිටීම විශේෂත්වයක් විය.

ලේක්හවුස් සමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා විසින් ඖෂධීය දැහැත් වට්ටියක් පිළිගන්වමින් දහම් දෙසුමට දේශකයන් වහන්සේට ආරාධනා කළහ.

එහිදී අනුශාසනාවක් පැවැත්වූ බෝපිටියේ ධම්මිස්සර නා හිමියන් විසින් මෙසේ පැවසූහ. ශත වර්ෂයකටත් අධික කාලයක් පුරා ලේක්හවුස් ආයතනය මෙරට ජනතාවගේ ඥානය වර්ධනය කරමින් පුවත් පවස නිවන්නට අප්‍රමාණ යුග මෙහෙවරක නිරත වන ආයතනයකි. ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ උදාර පරමාර්ථය රට දැය සමය වෙනුවෙන් මල්ඵල ගැන්වීම අගය කළ යුතු වේ.

පියසේන නිශ්ශංක ශූරින් විසින් එවකට සිළුමිණ කතුවරයා ලෙස සේවය කරමින් සිටිය දී, 1965 දී බුදුසරණ පුවත්පත ආරම්භ කර ඇති අතර ආරම්භක යුගයේ පටන් බුදුසරණ බෞද්ධ පාඨකයාගේ ගෞරවයට බඳුන් වූ අතර අපේ රටේ සතර පොහොයට නිකුත් වන එකම බොදු පුවත්පත බුදුසරණ බව ද පැවැසුහ.

ධර්ම දේශනාව සඳහා වැඩම කළ බොරැල්ලේ කෝවිද හිමියෝ මෙසේ පැවැසුහ. අපේ රටේ සුවහසක් ජනතාවගේ සිත් දහමෙන් පෝෂණය කරන්නට දශක ගණනාවක සිට බුදුසරණ සිදු කරන මෙහෙවර සුවිශාල ය. බාල, තරුණ, මහලු හැම දෙනාට ම කලක් පුරා ළඟ තබා ගෙන කියවමින් දන්නා දේ නැවත නැවතත් සිහිපත් කර ගැනීමටත්, නොදන්නා දෙය දැන ගැනීමටත් බුදුසරණ පුවත්පතෙන් සිදුවන මෙහෙවර අගය කළ යුතු වේ. අතීතයෙහි අප රටෙහි වැඩ සිටි සම්භාවනීය උගත් පඬිවරුන්ගේ සාරගර්භ ලිපිවලින් අලංකාර වූ බුදුසරණ තවත් ශතවර්ෂ ගණනාවක් පුරා පැවැතීමට වත්මනෙහිද ක්‍රියා කරන බව පැවසුහ.

සුදෝ සුදුවතින් සැරසී ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා සියලු දෙනා වෙත විහාරස්ථ දායක පිරිස විසින් ගිලන්පස සංග්‍රහයක් ද පැවැත්විණි.

ධර්ම ශ්‍රවණයෙන් අනතුරුව රාත්‍රී ආහාරය ද එහිදි පිරි නැමූහ. සෑම විශේෂ අවස්ථාවක් නිමිති කර ගෙන දානපති පරිත්‍යාගශීලින් බුදුසරණ පුවත්පත ධර්ම දානය පතා පිරිනැමීම සිරිතක් කර ගෙන ඇති අතර බුදුසරණ ධර්ම චාරිකාවේ දී නල්ලුරුව ලේක්හවුස් අලෙවි නියෝජිත එස්. එන්. ජී. ප්‍රනාන්දු මහතාගේ මව්පිය දෙපළ ට පින් පිණිස ද, පානදුර අලෙවි නියෝජිත දීපානි රණසිංහ මහත්මිය විසින් අජිත් මොහාන් ප්‍රනාන්දු මහතාට නිරෝගී සුවය පතාද බුදුසරණ නොමිලයේ බෙදා දෙන ලදී.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සුභාෂ් කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ කළමනාකාර චන්ද්‍රලාල් සූරියආරච්චි යන මහත්වරු ඇතුළු බුදුසරණ කර්තෘ රමණි සුබසිංහ මහත්මිය ද ඇතුළු විශාල පිරිසක් එම පින්කමට සහභාගී වු හ.

දර්ශන් ඉන්ටර්නැෂනල් ආයතනය මඟින් නොමිලයේ දර්ශන් හඳුන්කූරු සැදැහැවතුන් වෙත පිරිනමන ලදි. බුදුසරණ කර්තෘ මණ්ඩල උපදේශක බෞද්ධ පත්‍ර කලා විශාරද සීසර් සුදුසිංහ මහතා ද එහීදි අදහස් දැක්විය.


 

බුදුසරණ ධර්ම චාරිකා දෙවන වැඩසටහන සාර්ථකව අවසන්...

මෙවර ධර්ම දේශනාව වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේදී දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුනි.

 

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]