[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහිඳු මා හිමි පරිනිර්වාණ සැමරුම් පුණ්‍ය මහෝත්සවය

මිහිඳු මා හිමි පරිනිර්වාණ සැමරුම් පුණ්‍ය මහෝත්සවය


ඓතිහාසික මිහින්තලා පුදබිම ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණ පින්කම සැමරීම නිමිත්තෙන් ජාතික මහෝත්සවය ඔක්තෝබර් 6 වන දා සවස 2 ට ඓතිහාසික මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ.

තෛ‍්‍රනිකායික අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වැඩමවීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමැතිවරුන්, පළාත් පාළන ආයතන නියෝජිතයන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

එම අවස්ථාවට මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක සමා හිමිපාණන් වහන්සේ , ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නායක මාහිමිපාණන් වහන්සේ, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා සහ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහභාගි වීමට නියමිතය.

මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන එම පින්කමේ දී ඔක්තෝබර් 04 වන දා රාත්‍රී මිහිඳු පෙරහර වීථි සංචාරය කෙරේ.

ඔක්තෝබර් 05 වන දා සවස 6 සිට පිච්ච මල් පූජාව, ශබ්ද පූජාව ද, අනතුරුව පසුදා පහන්වනතුරු අනුබුදු මිහිඳු හිමි ගුණ පූජාව පැවැත්වේ. අනුබුදු මිහිඳු මාහිමි පූජෝපහාර වන්දනාව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් මෙහෙයවනු ලැබේ. වැලිමඩ සද්ධාසීල හිමියන් සහ පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ගේ ධර්මානුශාසනාව එම පින්කමේ දී පැවැත්වේ.

ඔක්තෝබර් 06 වන දා පෙරවරු 11.00 ට මහා සඟරුවන දහස් නමක් සහ මෙහෙණින් වහන්සේලා පන්සිය නමක් වැඩමවීමෙන් සංඝගත දානමය පුණ්‍ය කර්මය පැවැත්වේ.


ඓතිහාසික මිහින්තලා පුදබිම ජාතික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණ පින්කම සැමරීම නිමිත්තෙන්
මිහින්තලා පුදබිමේ දී පැවැත්වෙන ජාතික මහෝත්සවය


මිහිඳු මා හිමියන්ගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ අනුරපුර මිහින්තලාව
ශ්‍රී ලාංකික බෞද්ධ ශිෂ්ටාචාරයේ හා සංස්කෘතියේ උප්පත්ති ස්ථානය යි

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස ශ්‍රී ලංකාද්වීපයට වැඩම කිරීමෙන් අනතුරුව සම්බුදු දහමේ ආලෝකය මෙරට පැතිරිණ. ඉන් පසුව ශ්‍රී ලාංකික පොදු ජනතාවගේ ජීවන පැවැත්ම ද වෙනස් විය. අකුසලෙන් මිදී කුසල් මගට යොමු වූ හ. රාජ්‍ය පාලනය බෞද්ධ සාරධර්ම අනුව සැකසිණ. නව ජීවන දර්ශනයක් මෙන් ම, අගනා ශිෂ්ටාචාරයක්ද, සංස්කෘතියක් ද, කලා ශිල්ප ආදිය ද දායාද විය.

මේ සා වෙනස්කමක් ඇති කළ මිහිඳු මහරහතන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පාරිශුද්ධ වූ අනුරපුර මිහින්තලාව ශ්‍රී ලාංකික බෞද්ධ ශිෂ්ටාචාරයේ හා සංස්කෘතියේ උප්පත්ති ස්ථානයයි.

 මෙරට බෞද්ධාලෝකය පැතිර වූ මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ වප් මස පුර අටවක පොහෝ දිනය අනුස්මරණය කොට රාජ්‍ය අනුග්‍රහය ඇතිව පුණ්‍යෝත්සව රැසක් සංවිධානය කිරීමත්, ඒ නිමිති කොට බුදුසරණ පුවත්පතෙහි විශේෂ කලාපයක් පළ කිරීමත් සම්බන්ධයෙන් සතුට හා සුභාශිංසනය පළ කර සිටිම්හ.


දඹදිව් තලයේ සිට මෙරටට සම්බුදු දහමේ පණිවුඩය රැගෙන වැඩම කළ
අනුබුදු මිහිඳු මා හිමියන් කළ ශාසනික මෙහෙවර සදානුස්මරණීය යි


සම්බුද්ධත්වයේ පහස ලද දඹදිව් තලයේ සිට මෙරටට සම්බුදු දහමේ පණිවුඩය රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවේ කළ ශාසනික මෙහෙවර සදානුස්මරණීය වේ. තම යුතුකම් සහ කළගුණ සැලකීමේ යහගුණවලින් පිරි ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන් උන්වහන්සේගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් අනුස්මරණය කිරීම සිරිතක් ලෙසින් පවත්වාගෙන එන අතර, ඒ අනුව වප් පුර අටවක පොහෝ දිනට යෙදී ඇති උන්වහන්සේගේ පරිනිර්වාණ දිනයේ උන්වහන්සේ සිහි කොට පින්කම්වල යෙදීම පුරාණයේ සිට පැවත ආ සිරිතකි. ඒ සඳහා නිකුත් වන බුදුසරණ විශේෂ සංග්‍රහයට සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරනුයේ ඉතාමත් වුවමනාවෙනි.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමඟ ස්ථාපිත වූ ලංකාවේ බුදු සසුනේ පැවිදි වූ භික්ෂූන් වහන්සේලාගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවන් අද දක්වාම අපගේ බෞද්ධ වෙහෙර විහාර දිවි හිමියෙන් ආරක්ෂා කරගනිමින් නිර්මල බුදු දහම ජනතාව අතරට ගෙන යාමට ඇප කැප වී කටයුතු කළ බව 2500 වසකට අධික අපේ ඉතිහාසයේ පැහැදිලිව සටහන්ව ඇත. එවන් විහාරස්ථානයක් වන මිහින්තලා රජමහා විහාරයේ දී මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය නිමිතිකොට ගෙන පවත්වන්නා වූ සියලු පුණ්‍ය කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක කර ගැනීමට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලැබේවායි, ආශිංසනය කරම්හ.


ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට කරන ලද අනූපමේය සේවාවක්


බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236 දී මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ සේක. ඒ මිහින්තලය නොහොත් මිස්සක පව්වටයි. එදා පොසොන් දිනයකි. රජයේ සම්මත උත්සව දිනයක් විය. තරුණ දෙවන පෑතිස් රජතුමා ද, විනෝදකාමීන් සමඟ මේ පොසොන් දා මිහින්තලා පර්වතයට ගියහ. පිරිස හතළිස් දහසකි. “තිස්ස, අප බුද්ධ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා වෙමු. ඔබටම අනුකම්පා පිණිස දඹදිව සිට පැමිණියෙමු.” තමාට නම කියා කතා කළ විට විමතියට පත් දේවානම්පියතිස්ස රජතුමා, කඳු උඩ වැඩසිටින, මේ කතා කළ මහේශාක්‍ය පෙනුමකින් යුත් මිහිඳු මා හිමියන් දැක සතුට ට පත්ව, බණ අසා එදාම බෞද්ධයෙක් වූවේ ය. අර මහ පිරිස ද බෞද්ධයන් බවට පත්වූහ. එයට ප්‍රධාන හේතුවක් වූයේ ධර්මාශෝක මහ රජතුමා විසින් කලින් තමා වෙත එවන ලද ධර්ම ලිපිය සිහිපත් වීම ය.

එදා පටන් රජ අනුගමනය කරමින් අනුරපුර වැසියෝ ද, එසේම, කෙමෙන් රටවාසීහු ද බෞද්ධයන් බවට පත්වූහ. මේ කාලය වන විට ලක්දිව ක්‍රමවත් ආගමක් නොපැවතීම මෙයට මුලික හේතුව විය. දේවානම්පියතිස්ස රජතුමා බෞද්ධාගම පිළිගත් බෞද්ධයෙකු වූවා පමණක් නොව ‘ඇත්ත සිතින්ම මට මේ රට නිසි පරිදි පරිපාලනය කරගැනීමට ද මිහිඳු මහ රහතන් වහන්සේ පළමු දවසේ ම වදාළ”චුල්ලහත්ථිපදෝපම සූත්‍රයම” ප්‍රමාණවත් ය. ඊටත් වඩා එයින් පසුදිනවල ඒ ඒ අවස්ථාවන්හි දී වදාළ ධර්මය මා කලින් අසා නැති දහම කි. එනිසා, මිහිඳු මහරහතන් වහන්සේ බඳු සිල්වත්, ගුණවත්, බුද්ධිමත් බුද්ධ පුත්‍රයෙක් වගේ ම අධිරාජ පුත්‍රයෙකුගේ උපදෙස් කියා නිම කළ නොහැකි තරම් වටනේ ය. ඒ අනුව ක්‍රියා කිරීම මැනැවැයි සිතා රජතුමා තම ජනතාව රාජපාක්ෂිකයන් කරගැනීම පිණිසත්, දැහැමි ජනතාවක් බවට

පත්කර ගැනීම පිණිස ත් හේතුවන අයුරින් බුදු දහම උපයෝගිකර ගත්තේ ය. එය එතුමා නොසිතූ තරම් ඉක්මනින් සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්, ක්‍රමවත් මහ සැලසුමක් බවට දැඩි ආයාසයකින් තොරවම සිදුවිය. අද දක්වාම මෙරට ක්‍රියාත්මක වන්නේ එදා ඒ ආරම්භ කළ සුවිශේෂී ක්‍රියාදාමය බව සැලකිය යුතු ය.

එතැන් පටන් සිදුවූයේ මහා සංඝයා වහන්සේගේ භාවනානුයෝගී වාස භූමියක් බවට මිහින්තලා පව්ව පත්වීම ය. සෑම රජකෙනෙක් ම මේ පර්වතය පූජා භූමියක් වශයෙන් ම සැලකූ බව ඒ ඒ කාලවල සිදුවී ඇති ජාතික, ආගමික උත්සවයන්ගෙන් පැහැදිලි වන්නේ ය. මහසෙන් රජතුමාගේ පුත්‍ර සිරිමෙවන් රජතුමාගේ 28 වසරක රාජ්‍ය කාලය තුළ මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමාවක්, ඝන රත්‍රන් වලින් නිමාකොට මිහින්තලය මුල්කොටගෙන පෙරහරක් පැවැත්වීම ද, ඉතිහාසගත ය. එතුමාගේ රාජ්‍ය කාලයේ දී ම, එනම් රාජ්‍ය වර්ෂ 303 සිට ඒ විසි අට වසර තුළ දී දන්ත ධාතූන් වහන්සේ ද ලංකාවට ලැබුණු බැවින් මිහිඳු මහ රහතන් වහන්සේට වඩ වඩාත් දැඩි සැලකිල්ලක් රජ ඇතුළු ජනතාව විසින් දක්වන ලද බව පෙනේ. එනිසා ඉහත කී පරිදි මිහිඳු මහ රහතන් වහන්සේගේ රනින් තැනූ ප්‍රතිමාවක් සහිතව වාර්ෂික පෙරහරක් ද පවත්වන ලද බව ඓතිහාසික වාර්තාවේ පැහැදිලි කරති.

මිහිඳු මාහිමියන්ගේ උපත සිදුවූයේ බු.ව.204 දී ය. පිරිනිවන් පෑම සිදුව ඇත්තේ උත්තිය රාජ්‍ය සමයේ දී එනම් බු.ව. 284 දී ය. උත්තිය රජතුමා දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සහෝදරයෙකි. එතුමාගේ රාජ්‍ය කාලය දස වසර කි. එතුමාගේ අට වැනි රාජ්‍ය වර්ෂයේ දී මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පා වදාළ හ.

එදා පටන් මිහින්තලය මුල්කොට ගෙන අපේ රාජ රාජ මහාමාත්‍යවරු මහා සංඝයා වහන්සේගේ උපදෙස් පරිදි වාර්ෂික පින්කම් පෙරහර ශීල සමාදානමය කුසල ක්‍රියා සහ දන්සැල් පැවැත්වීම නොකඩවා සිදුකරගෙන ආ බව පෙනේ. පොසොන් උත්සව පවත්වන ලද්දෝ මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම කරවූ දිනය සිහිපත් කර ගෙන ය. වාර්ෂිකව ඉහත කී මිහිඳු උත්සව පවත්වන ලද්දෝ මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිනිවන් පා වදාළ වප් මස නොහොත් ඔක්තෝබර් මාසයේ දී ය. මෙවර ද මිහිඳු උත්සවය කලක් අමතක වී පැවැතිය ද, නූතන මිහින්තලා රාජ මහා විහාරාධිපති වළවා හැංගුණුවැවේ ධම්මරතන නායක ස්ථවිරතුමන්ගේ ප්‍රෞඪ උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම මස 4, 5, 6 යන දිනවල රාජ්‍ය අනුග්‍රහය ද මත රටවාසී බෞද්ධ ජනතාවගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් සිදුකිරීමට කටයුතු යොදා තිබීම නිසා නිම නොකළ හැකි තරම් සුවිශාල පුණ්‍ය ක්‍රියාවක් බව කිය යුතු ය. කෘතෝපකාරය මුල්වන බැවිනි. පමාවී වුව ද සිදු කරනු ලබන මේ මහා පුණ්‍යක්‍රියාවේ සුවිශේෂම අංගය වන්නේ මිහින්තලා පුදබිම ජාතික උරුමයක් බවට පත්කිරීමේ මහා පුණ්‍යෝත්සවය යි. ගරුතර මහා සංඝයා වහන්සේගේ සහ විදේශීය මහා සංඝයා වහන්සේගේ ද ථෙරවාද, මහායාන හිමිවරුන්ගේ ද සහභාගීත්වය ඇතුළු ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන්ගේ ක්‍රියාකාරීත්වයෙන් මිහින්තලා පුදබිම ජාතික උරුමයක් බවට පත් කිරීම ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට කරන ලද අනූපමේය සේවාවක් බව ඉඳුරාම කිය යුතුව ඇත.


මිහිඳු මාහිමියන් වහන්සේට අපි සදා ණය ගැති වෙමු


උන්වහන්සේ සිදු කළ සේවාව නිසා එතුමෝ අපට අනුබුදු කෙනෙක් ම වූ හ.

දීපප්පසාදක අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ බු.ව. 236 වසරේ පොසොන් පොහෝ දින සිරිලක වැඩම කොට, මෙරට ධර්ම ද්වීපයක් බවට පත් කිරීම සඳහා පුරා වසර 38 ක් ම කැප කළහ. 30 වැනි වියේ දී මෙරට සැපත් උන්වහන්සේ 80 වැනි වියේ දී සෑගිරියේ දී පිරිනිවී වදාළහ. මිහිඳු මාහිමියෝ නොමඟ ගිය සිංහල ජනතාව සුමගට යොමු කළහ. කාරුණික බව හා ප්‍රඥාවන්ත බව සිංහලයා හඳුනා ගන්නා ලකුණ බවට පත් කළේ අනුබුදු මා හිමියෝ වෙති.

කීර්තිමත් සංස්කෘතියක්, ශිෂ්ටාචාරයක් හා ශ්‍රේෂ්ඨ ආගමක් ද එතුමෝ අපට දායාද කළ හ. මේ හැර සිංහල කලාව, සිංහල සාහිත්‍ය යැයි දැක්විය හැකි උරුමයන් ද අපට දායාද කිරීමට පදනම දැමුවෝ අනුබුදු මිහිඳු සමිඳාණෝ ය. නොදියුණු ශිෂ්ටාචාරයකට ගොනු වී සිටි සිංහල අපට අධ්‍යාත්මික, අධ්‍යාපනික හා ආර්ථික වශයෙන් විශ්ව කීර්තියට පත්වන තරමේ සමෘද්ධියක් උදාකර ගැනීමට මාවත විවර කර දුන් දීපප්පසාදක මිහිඳු මාහිමියන් වහන්සේට අපි සදා ණය ගැති වෙමු. උන්වහන්සේ සිදු කළ සේවාව නිසා එතුමෝ අපට අනුබුදු කෙනෙක් ම වූ හ. සදානුස්මරණීය සේවාවක් සිදු කළ අනුබුදු මිහිඳු සමිඳුන්ගේ පිරිනිවීම සිදු වූ මිහින්තලා පුද බිමේ දී උන්වහන්සේ අනුස්මරණය කරමින් මිහින්තලය පූජා භූමිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, මිහිඳු මහ පෙරහරක් සහ දහස් නමක මහා දාන පින්කමක් රාජානුග්‍රයෙන් පැවැත්වීම සම්බන්ධයෙන් අපගේ බලවත් ප්‍රසාදාත්මක ආශිර්වාදය මෙත් සිත් පූර්වක ව පිරිනමම්හ.

චිරං තිට්ඨතු ලෝකස්මිං
සම්මා සම්බුද්ධ සාසනං


ලක්දිව සම්බුදු සසුනේ තිඹිරිගෙය ඓතිහාසික මිහින්තලාවයි


බුද්ධ වර්ෂ 236 ක් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දින, දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ දෙටුපුත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිස ශ්‍රී ලංකාද්වීපයට වැඩම කොට, දඩකෙළියෙහි යමින් සිටි දෙවන පෑතිස් මහ නිරිඳුන් ඇතුළු 40,000 ක් පිරිස පංච සීලයෙහි පිහිටුවා, චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කරමින් පළමුවෙන් ම සම්බුද්ධ ශාසනය පිහිට වූ ස්ථානය ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භූමිය යි. එකල සිරිලක රජකම් කළ දේවානම්පියතිස්ස මහ නිරිඳුන් ඇතුළු පිරිස දුනු හී බිම දමා මරණ බියෙන් දිව යන ප්‍රාණියා හට අභය දානය ලබා දීම හරහා ලොව පළමු අභය භූමිය හැටියට ද පත් වන්නේ මෙම උතුම් පුණ්‍ය භූමිය යි. අනුබුදු මිහිඳු මා හිමියන් හා දෙවන පෑතිස් නිරිඳුන් අතර ඇති වූ පැණ විමසීම ලෝකයේ පළමු වාචික බුද්ධි පරීක්ෂණය හැටියට සඳහන් වන අතර සම්බුදු දහමෙහි උත්තරීතර දායාදය ලක් වැසියනට උරුම වූ ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භූමිය සිරිලක බෞද්ධ දර්ශනයේ තිඹිරිගෙය හැටියට සඳහන් කළ හැකි ය.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වයස අවුරුදු 32 දී පමණ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරමින් සිරි ලක්වැසියන්ට අර්ථයෙන්, ධර්මයෙන් යහමග ගමන් කිරීමට කියාදෙමින් අවුරුදු 48 ක් පුරාවට මෙරට වැඩහිඳිමින් වස් 60 සම්පූර්ණ කරමින් වයස අවුරුදු අසූවක් පිරුණු තැන බුද්ධ වර්ෂ 287 හි වප් මස පුර අටවක පොහෝ දින පරිනිර්වාණය කළ බව මහාවංශය ඇතුළු ග්‍රන්ථයන්හි තොරතුරු සඳහන් ය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පරිනිර්වාණය කරන විට එකල ලක්දිව රජකම් කළ උත්තිය මහ රජතුමන් විසින් එම දිනය “මිහිඳු පුර අටවක දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර මහ රජුන් ඇතුළු ජනයා මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් කෘතවේදීත්වය පළ කිරීම සඳහා විවිධ පුණ්‍යෙීත්සවයන් සිදුකළ ආකාරය ද ඉතිහාසගත බොහෝ තොරතුරු මඟින් අනාවරණය වේ. අතීතයේ සිට ම රාජරාජ මහාමාත්‍යාදීන් විසින් තම දිවි දෙවැනි කොට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් සිදු වූ ඒ උත්තරීතර අමිල සේවාවට කෘතවේදීත්වය දැක්වීම ට කටයුතු කර ඇත.

සිංහල රජ දවසින් පසු මහින්දාගමනය සිදු වී වසර 2327 ක් ගත වීම හා අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වී වසර 2279 ගෙවීම කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කිරීම වෙනුවෙන් වර්තමාන ශ්‍රී ලංකා රජය විසින් විවිධ වැඩසටහන් රාශියක් රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පළමුව පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය ප්‍රකාශ කර සිටිමි. සිංහල රජ දවසින් පසුව ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භූමිය කේන්ද්‍රකර ගනිමින් විශාල මුදලක් යොදවමින් සංවර්ධන ව්‍යාපෘතීන් රාශියක් ආරම්භ කර ඇත. ඒ අතර සුවිශේෂීම හා අගය කළ යුතුම කාර්යය වනුයේ මහින්දාගමනය සිදුවී වසර 2327 ගතවන තෙක්ම කිසිදු රජයක් මඟින් සිදු නොකර තිබූ, ශ්‍රී ලාංකීය සංස්කෘතික පුනර්ජීවනයේ කේන්ද්‍රස්ථානයක් වූ මිහින්තලා පෞරාණික සිද්ධස්ථානය හා පුරාවිද්‍යා වනජීවී වන සංරක්ෂණ කලාපය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් වශයෙන් නම් කිරීම, වාර්ෂිකව පැවැත්වෙන ලංකාවේ පළමු පෙරහර හැටියට සැලකෙන අනුබුදු මිහිඳු මහා පෙරහර හා වාර්ෂික පොසොන් උත්සවය රාජ්‍ය උත්සවයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ආදී වූ කාරණාවන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන්, ගරු අගමැතිතුමන් හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් යුතුව ප්‍රකාශයට පත් කිරීම යි.

ලක්දිව සම්බුදු සසුනෙහි තිඹිරිගෙය වන ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භූමිය කේන්ද්‍ර කර ගනිමින් මිහින්තලාවෙහි පවතින ඓතිහාසික සංසිද්ධීන් හා වාස්තු විද්‍යාත්මක උරුමයන් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරදීමෙහිලා ඓතිහාසික තීන්දු තීරණ ගනිමින් කටයුතු කරන්නට යෙදුණු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ටත්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ටත්, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමන්ටත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මැතිතුමන්ටත්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඇතුළු ඒ හා කැපවූ සියලු ම අමාත්‍ය මණ්ඩලටයත්, අපරිමිත සේවාවක් ඉටු කරන්නට යෙදුණු සියලුම ලේකම්වරුන්ටත්, ත්‍රිවිධ හමුදාවටත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත්, මේ වෙනුවෙන් ඇප කැප වූ සියලු ම ජනතාවටත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පුදකරන අතර සම්බුදු සසුනෙහි අභිවෘද්ධිය පිණිස මෙම උතුම් කාර්යය ඉටු කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන, අග්‍රාමාත්‍යතුමන් ප්‍රධාන සමස්ත මැති ඇමැතිවරුන් ප්‍රධාන වර්තමාන රජයට අපගේ සුභාශිංසනය ඉත සිතින් ප්‍රාර්ථනා කරම්හ.

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk