[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං
 

දිවිමඟේ 66 වසරක් හා සසුන් මඟේ 50 වසරක් සපුරන ඊතණවත්තේ අත්ථදස්සි හිමිපාණෝ

“යො හොති වියත්තො ච විසාරදො ච
බහුස්සුතො ධම්මධරො ච හොති
ධම්මස්ස හොති අනුධම්මචාරී
ස තාදිසො වුච්චති සංඝසොභනො”

යම් භික්ෂුවක් ව්‍යක්ත වූයේ ද, විශාරද වූයේ ද බහුශ්‍රැත වූයේ ද, ධර්මධර වූයේ ද, ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැස ගෙන සිටියේ ද එබඳු භික්ෂුව සංඝසෝභන වේ.

ඊතණවත්තේ අත්ථදස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් ද පිළිබිඹු වන්නේ මෙකී ගුණ ධර්මයෝ ය. උන්වහන්සේ සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියට හේතුකාරක ය. ආචාර්ය සම්ප්‍රදාය ඇසුරු කරමින්, මහාවිහාරයට ළැදිව ශාසනික සම්ප්‍රදායයේ යශෝරාවය පතුරුවමින්, ඒ සඳහා අමිල සේවයක් සිදු කරන සුපේශල ශික්ෂාකාමී යතීන්ද්‍රයන් වහන්සේ පිළිබඳ සංක්‍ෂිප්ත හැඳීන්වීමකි මේ.

ජාතියට පණ පෙවූ, අභීත විරුවන් බිහි වූ සුන්දර වෙල්ලස්සේ, සශ්‍රීක කෙත්වතුවලින් සුසැදි මනරම් ග්‍රාමීය පරිසරයකට උරුමකම් කියූ බිබිල, ඊතණවත්ත නම් සුන්දර ගම් පියසෙහි 1953 ඔක්තෝබර් මස 13වැනි දින දිසානායක මුදියන්සේලාගේ සුදුබණ්ඩා පියතුමාට දාව සිටි සේකර මුදියන්සේලාගේ සුදුකුමා මෑණියන්ගේ කුසින් මෙලොව එළිය දුටු කුමරුවාට මව්පියන් විසින් සෙනෙවිරත්න බංඩාර යනුවෙන් නම් තබන ලදී. සහෝදරයන් 05ක් සහ සහෝදරියන් 05කගෙන් සැදුම්ලත් පවුලේ සිවුවැනියා වූයේ සෙනෙවිරත්න බණ්ඩාර දරුවා ය. යල්කුඹුර, ඊතණවත්ත ග්‍රාමයට පුණ්‍ය ක්‍ෂේත්‍රයක් වූ ටැම්ගොඩ රජමහා විහාරස්ථානයෙන් ආගමික පරිසරයත් ඒ අසල ඇති සිරි ධම්මපාල විද්‍යාලයෙන් අධ්‍යාපනික පරිසරයත්, ගමේ ළමා ළපටින් සමග කෙළිදෙළෙන් සෙල්ලම් පරිසරයත් ඇසුරින් සෙනෙවිරත්න කුඩා දරුවා හැදී වැඩුණේ ය. 09වැනි ශ්‍රේණිය ධම්මපාල විද්‍යාලයෙන් උගත් ඔහුට මුහුකුරා යන අවධිය එළඹෙන විට තමන්ගේ පෙර පින් කළ කුසල මහිමය නිසා ප්‍රවෘජ්ජා භූමියට ඇතුළුවීමට සිතක් ඉපැදිණි. දෙමාපිය ආශිර්වාදය නොමඳව ලබාගත් ඔහු තම ප්‍රදේශයේ පිහිටි පින්කෙත වූ ටැම්ගොඩ රජ මහාවිහාරස්ථානයේ දී 1969 සැප්තැම්බර් මස 27වැනි දින පැවිදි භූමියට ඇතුළු විය. ඒ ටැම්ගොඩ හා උදයගිරි රජමහා විහාරද්වයාධිපති සේනාපතියේ ධර්මකීර්ති ශ්‍රී ධම්මපාල සුදස්ස්‍යාභිධාන අම්පාර මඩකලපු දෙපළාතේ ප්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේගේ සහ ලුණුගල සුනන්ද හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙනි. එදින පටන් උන්වහන්සේ ඊතණවත්තේ අත්ථදස්සි හිමි නම් වූ හ.

පැවිදි දිවියට අවැසි වත්පිළිවෙත ඉතා හොඳීන් ඉගෙනගත් උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය සඳහා තම ගුරු හිමියන් විසින් යොමු කරවන ලද්දේ, පාලි සංස්කෘත ඇතුළු විෂයයන් පිළිබඳ දැනුම භික්ෂු ජීවිතයක් සාර්ථක කරගැනීමට අතිශයින් ඉවහල් වන නිසා ය. මේ අනුව 1971දී මුද්දරගම හිරිකුළුව ශ්‍රී විද්‍යාදර්ශි පිරිවෙනට ඇතුළු වූ උන්වහන්සේ එහි පිරිවෙන්පති කළුතර ගුණානන්ද හිමියන්ගේ සෙවණෙහි වැඩ හිඳීමින් මූලික පිරිවෙන් අවසාන විභාගය තෙක් අධ්‍යාපනය ලැබූහ. ඒ කඩඉම ඉතා හොඳීන් තරණය කළ උන්වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා නුගේගොඩ, ගංගොඩවිල ශ්‍රී සුභද්‍රාරාම විද්‍යායතනයට 1976 වසරේ ඇතුළු වී එහි පිරිවෙන්පති තිඹිරිවැව සුමනසාර හිමියන්ගේ අනුසාසනා මධ්‍යයේ උසස්පෙළ විෂය ධාරාව පමණක් නොව ප්‍රාචීන විෂයයන් ද ඉගෙනගෙන ඉහළින්ම සමත්වූහ. තානායම්ගම විපස්සී, පොලිගහපිටියේ ධම්මදස්සි, කිරිඔරුවේ ධම්මානන්ද යනාදි හිමිවරු උන්වහන්සේගේ සමකාලීනයෝ වූහ. උන්වහන්සේ 1975 ජුනි මස 18වැනි දින සියම් මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහනුවර උපෝෂථ පුෂ්පාරාම විහාරස්ථ සීමා මාලකයේ දී උපසම්පදා භූමියට ඇතුළු වූහ. එහිදී ද ටැම්ගොඩ හා උදයගිරි රජමහා විහාරද්වයාධිපති සේනාපතියේ ධර්මකීර්ති ශ්‍රී ධම්මපාල සුදස්ස්‍යාභිධාන අම්පාර මඩකලපු දෙපළාතේ ප්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ සහ ලුණුගල සුනන්ද හිමිපාණන් වහන්සේ ආචාර්යවරු වූ හ. උසස් අධ්‍යාපනය නිමා කළ උන්වහන්සේ නැවත ටැම්ගොඩ විහාරස්ථානයට වැඩම කර එහි වැඩහිඳීමින් සාසනික කටයුතු සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළහ. 1983 වර්ෂයේ ටැම්ගොඩ විහාරස්ථානයේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ ආරම්භ කරන්නට යෙදුනෙන් උන්වහන්සේ ද ඒ සඳහා නොමඳ දායකත්වයක් ලබාදුන්හ.

උසස් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු අම්පාර, උහන උදයගිරි විහාරයට වැඩම කළ උන්වහන්සේ 1980-89 කාල සීමාවේ එහි වැඩ වෙසෙමින් ලෝක ශාසනික සේවයෙහි නියුක්ත වී 1989 වර්ෂයේ යල්කුඹුර, ටැම්ගොඩ රජමහා විහාරස්ථානයට වැඩම කොට ගුරුදේවෝත්තමයන් වහන්සේට සහාය වෙමින් පරාර්ථ චර්යාවේ නියුක්ත වූ හ. ටැම්ගොඩ රජමහා විහාරාධිපතිව වැඩසිටි ලුණුගල සුනන්ද හිමිපාණන් වහන්සේ 1996 අප්‍රේල් මස 12වැනිදා අපවත් වූ බැවින් අප කතානායක හිමියන් වෙත පැවරුණු වගකීම් සමුදාය අතිවිශාලය. විහාරස්ථානයේ විහාරාධිපති ධුරය පමණක් නොව පිරිවෙණේ කෘත්‍යාධිකාරිත්වය ද උන්වහන්සේට දරන්නට සිදුවිය. මේ සෑම අවස්ථාවකදීම තම ආචාර්යවරයන් වහන්සේ කියාදුන් මඟෙහි හා උන්වහන්සේ ක්‍රියා කළ අන්දම අනුගමනය කරමින් තමා වෙත පැවරුණු භාරදූර වගකීම් සමුදාය අඩුලුහුඬුතාවකින් තොරව ඉටුකිරීමට වෙර දැරූහ. පිරිවෙන් විහාරස්ථානයේ අඩුවක් ව පැවති ගොඩනැගිලි අලුතින් ඉදිකළ අතරම ගරාවැටී තිබුණු දෑ ප්‍රතිසංස්කරණය ද කළහ. විශේෂයෙන්ම, වර්තමානයේ දී සියලු විහාරාරාංගයන්වලින් සමන්විත ඌව පළාතේ ඇති පැරණිතම විහාරස්ථානය වශයෙන් නම් දරා සිටින්නේ මේ විහාරස්ථානයයි. ඒ ගමන් මඟේදී සුවිශාල සේවාවක් හා අත්වැලක් සපයන ලද්දේ අප කතානායක අත්ථදස්සි හිමිපාණන් වහන්සේ විසිනි. එපමණකින් නොනැවතී විහාරස්ථානයේ පවත්වාගෙන යන, ඌව පළාතට මිණි පහනක් බඳු ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණේ අධ්‍යක්ෂක ධුරය දරමින් ගුණ-නැණ බෙලෙන් යුතු ගිහිපැවිදි උගත් පඬිවරුන් බිහි කිරීමෙහිලා අප්‍රතිහත කැපවීමෙන් ක්‍රියා කරති. ඒ නිසාම තද්පිරිවෙණ වර්තමානයේ අවස්ථා කිහිපයකදීම සමස්ත ලංකාවෙන්ම පිරිවෙන් අතුරින් ප්‍රථම ස්ථානයට පත්වීමට හැකි වී තිබේ.

භික්ෂු ජීවිතයේ චිරාගත සම්ප්‍රදායයන් එලෙසින්ම ආරක්ෂා කරගැනීමට වෙහෙසෙන අප කථා නායකයාණෝ පරිත්‍රාණ ධර්ම දේශනා හා අනෙකුත් ආගමික කටයුතු සම්බන්ධයෙන් ද නෛපුණ්‍ය කථිකයෙකි. බණ, පිරිත, පාංශුකූලය පමණක් නොව යෙදෙන ඕනෑම ආගමික

කටයුත්තකට උන්වහන්සේ වැඩම කිරීමට දෙවරක් සිතන්නේ නැත. ඒ උන්වහන්සේගේ හදවතේ කිසිදා මිලින නොවූ උත්තරීතර මනුෂ්‍ය හිතවාදී හැඟීම් නිසා ය. තමන් වහන්සේගෙන් ඉටුවිය යුතු යම් කාර්යයක් වේ ද, පැවරෙන යම් කාර්යයක් වේ ද එය කිසිම පැකිලීමකින් තොරව ඉටුකරන්නේ ‘යුතුකම් වගකීම්’ පිළිබඳ සැමට ආදර්ශයක් ලබාදෙමිනි. ශාසනයෙහි උන්නතිය වෙනුවෙන් උගත්, බුද්ධිමත් ශිෂ්‍ය පිරිසක් දායාද කිරීමට නිති වෙහෙසෙන උන්වහන්සේ, වැදූ මව සේ හැදූ පියා සේ දක්වන මෙත්මුදිතාදී උත්තම ගුණ පිරි අසීමිත සෙනෙහස වදනින් පැවසිය නොහැකි ය. දැනුදු පැවිදි ශිෂ්‍යයන් 15කට අධික ප්‍රමාණයක් උන්වහන්සේගේ සෙනෙහස, රැකවරණය ලබමින් සසුන් කෙත අස්වැද්දීම පිණිස පන්නරය ලබන්නාහ.

විහාරස්ථානය හා සම්බන්ධව පවත්වාගෙන යන ශ්‍රී පුණ්‍යවර්ධන දායක සභාව, සිරි ධම්මපාල දහම් පාසල ඇතුළු සමිති සමාගම් රැසක ගරු අනුසාසක වශයෙන්, උන්වහන්සේ ඒවායේ ඉදිරි පැවැත්ම උදෙසා මහඟු සේවාවක් සපයති. උන්වහන්සේ කිසිදින බැබළීමට උත්සාහ නොගත් අතර නිරන්තරව මහන්සි ගත්තේ තමා දරන තනතුරු බැබළවීමට ය. ඒ සමාජයේ සුබසිද්ධිය උන්වහන්සේ නිරන්තරයෙන් අපේක්ෂා කළ නිසා ය. ජාතියට පණ පෙවූ වෙල්ලස්සේ විරුවන්ගේ අත්‍යුදාර මෙහෙවර නිතර සිහිකරන අප කතානායකයාණෝ එකී ‘ඉතිහාස සටහන්’ අනාගත පරපුර වෙනුවෙන් ශාස්ත්‍රීය කෘති මගින් සමාජගත කොට ඇත්තාහ.

පැවිදි දිවියට පත්ව අර්ධ ශතවර්ෂයක් සම්පූර්ණ කරන උන්වහන්සේ මෙතරම් අතිදීර්ඝ කාලයක් ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කළ කැප කිරීම සදානුස්මරණීය වේ. උන්වහන්සේගේ සෙවණේ රැඳී හිඳීමින් ඇසුරු කරන්නට ලැබීමත්, වෙල්ලස්සේ ජන්ම දායාදය ලැබූ සැමදෙනා කළ පින් මහිමයක ප්‍රතිඵලයකැ’යි හැඟේ. උන්වහන්සේ වඩාත් ප්‍රීති ප්‍රමෝදයට පත්වන්නේ අර්ධ ශතවර්ෂයක් පුරා බෞද්ධ ජනතාව වෙනුවෙන් කළ අමිල මෙහෙවර නිරන්තරයෙන් සිහිපත් කරමිනි. ජන්ම දායාදයෙන් වර්ෂ 66ක් සපුරන ඊතණවත්තේ අත්ථදස්සි අස්මදාචාර්යෝත්තමයාණන් වහන්සේ සම්බුද්ධ ශාසනයට, සමාජයට හා අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සිදු කරන ලද සේවාව තව චිරාත් කාලයක් සිදු කිරීමට ත්‍රිවිධ රත්නයේත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හා ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

2019 ඔක්තෝබර් මස 13වැනි පුර පසළොස්වක පොහෝ දිනයේ දී බිබිල, යල්කුඹුර ටැම්ගොඩ රජමහා විහාරස්ථානයේ දී පෙරවරු 9.00ට උපහාර මහෝත්සවයක් පැවැත්වේ. ඒ සඳහා ප්‍රදේශයේ පූජනීය මහාසංඝරත්නය හා සම්භාවනීය ගිහි ප්‍රභූවරු ද සහභාගි වෙති. ශ්‍රී පුණ්‍යවර්ධන දායක සභාව ඇතුළු විහාරස්ථානය හා සම්බන්ධ සමිති සමාගම් රැසක් මෙකී සද්කාර්යයෙහිලා ප්‍රමුඛත්වය ගනු ලැබේ.

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk