[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය

"මෙරට ජන හදවත් ආගමික ප්‍රබෝධයෙන් පුබුදුවාලු, සිංහල සභ්‍යත්වයෙහි හා සදාචාරයෙහි නියමුවා වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිනිවීම පාලකයා පමණක් නොව රටවැසියා ද ධර්ම සංවේගයෙහි හෙළන්නට විය. එනිසා උන්වහන්සේගේ පරිනිර්වාණය කන වැකුණු නන්දෙසින් පැමිණි මහාජනකාය මහත් පූජා කරමින් රටෙහි හා ජාතියෙහි ගෞරවය පුද කළහ. මෙසේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙරට ජනහදවත්වල අනුබුදු නාමයෙන් බැසගෙන තිබුණු සිතිවිලිවල ප්‍රබලත්වය නිසා උන්වහන්සේ ජනයාගේ නිසි බුහුමනට පාත්‍ර වූ හ."

මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය සිංහල සංස්කෘතියෙහි හා ශාසනයෙහි ආරම්භය සනිටුහන් කරන්නකි. උන්වහන්සේ භාරතයෙහි ව්‍යාප්තව පවැති, සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ බුදු දහමත්, සම්බුද්ධ ශාසනයත්, බුදුන් වහන්සේ විසින් හඳුන්වා දුන් ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයත් මෙරටට රැගෙන වැඩිය හ.

එය අරමුණක් නැතිව ජීවත් වූ ලාංකේය වැසියන්ට මහත් අස්වැසිල්ලක් විය. සභ්‍යත්වයක් නොමැති ජනයාට ඉමහත් කායික මානසික සතුටක් ගෙන දුන්නේ ය. මේනිසා දහස් ගණන් මෙරට ජනයා පළමු දින කිහිපයතුළ දී ම සම්බුද්ධ ශාසනය වටා ඒකරාශී විය. මිහිඳු මාහිමියන් වහන්සේ එදා රාජකීය පවුලෙන් ආරම්භ කළ සදාචාරය, සභ්‍යත්වය හා සංස්කෘතිය බුදු දහම හා බද්ධ වී, පෝෂණය වී සිංහල ජනයාගේ ජීවිතයට ඒකාබද්ධ විය. එදා සිට සිංහලයා සමස්ත මානව වර්ගයා හමුවේ කැපී පෙනෙන ලෙස සාඩම්බර ව, අභිමානයෙන් යුක්තව පෙනී සිටියේත්, ගරු සම්මාන ලැබූවේත් බුදු දහමෙන් පෝෂිත වූ සිංහල සංස්කෘතිය නිසා ය. බුදු දහම හා සිංහල සංස්කෘතිය ගසට පොත්ත මෙන් අන්‍යොන්‍යව බද්ධ වී අද දක්වා ක්‍රියාත්මක ව පවතින අතර, එය යම් දවසක සිංහලයාගෙන් වෙන්වේ ද, එදාට ප්‍රාග් මහින්ද යුගයේ පැවැති ගෝත්‍රික ලක්‍ෂණ සිංහලයාගෙන් පෙන්නුම් කරයි.

මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වඩින විට තිස් දෙවෙනි වියෙහි පසු වූ තරුණ තෙරුන් වහන්සේ නමකි. දේවානම් පියතිස්ස රජුගෙන් පසුව රජ පැමිණි උත්තිය රජුගේ අටවැන්නේ දී වප්මස පුරපක්‍ෂය අටවැනි දිනයෙහි දී ලංකාද්වීපය බැබළවූ මෙරට ශස්තෘ ශාසනයෙහි දියුණුවට පමුණුවා ලංකාවට කීර්තිය ගෙන දුන්නා වූ, ලංකාද්වීපවාසීන්ට යහපත පිණිස කටයුතු සිදු කළ මිහිඳු මහ රහතන් වහන්සේ සැටවන වයසේ දී (සට්ඨිවස්සෝ) එනම් අවුරුදු අසූවක් ආයු වළඳා වස් වැස සිටියදී පිරිනිවන් පෑ සේක. උන්වහන්සේ පිරිනිවන් පෑ දිනය අටවක් දා යැයි එදින සිට සම්මත විය. මහාවංසයෙහි විසිවෙනි පරිච්ඡේදයෙහි තිස්දෙවන ගාථාවෙහි සිට දැක්වෙන තොරතුරුවලට අනුව උන්වහන්සේගේ පිරිනිවන් පෑම අසා රජු ශෝකය නමැති උලෙන් පරහරණ ලද්දේ (වේදනාවෙන් පෙළුණේ) ශ්‍රී දේහය සමීපයට ගොස් වැන්ඳේය. එහි දී රජු නොයෙක් අයුරින් බොහෝ සෙයින් වැළපුණේය. ඉන්පසු රජු උන්වහන්සේගේ ආදාහනය උපරිම ගෞරවයෙන් සිදු කිරීමට කටයුතු කළේ ය. තෙරුන් වහන්සේගේ දේහය බොහෝ සුවඳ තෙල් පුරවන ලද රන් දෙනක මනාව තැන්පත් කරවී ය. අනතුරුව මනාව වසන ලද එම දේහය අලංකාර වූ රන්කුළුගෙයක තබවන ලදී. පසුව එම කුළුගෙය රැගෙන යහපත් රංගනයන් දක්වමින් උන්වහන්සේගේ දේහයට ගෞරවය දක්වන ලදී. එසේම ඒ ඒ දිශාවෙන් පැමිණි මහත් වූ ජන ගංගාවකින් ද, මහත් වූ බට සමූහයකින් ද, නොයෙක් විධියේ පූජා විධීන් ද සිදු කරන්නට විය. එසේ සරහන ලද රන්කුළුගෙය නගරයට ගෙනවිත් රාජකීය වීදිවල හසුරුවා මහා විහාරයට රැගෙන එන ලදී. අනතුරුව එහි තබවා සත්දිනක් උත්තිය රජු තොරන්, කොඩි, මල් හා සුවඳ පිරුණු කළවලින් විහාරයන් අවට තුන් යොදුනක් රජුගේ අණින් සරසන ලදී. එසේම මුළු ලක්දිව දෙවියන්ගේ ආනුභාවයෙන් සරසන ලද්දේ ද විය. රජු දින සතක් නොයෙක් ආකාරයෙන් පූජා පවත්වා තෙරුන්ගේ දේහය බඩමාළක නම් ස්ථානයෙහි සුවඳ දර සෑයක් කරවා මහාසෑය ප්‍රදක්‍ෂිනා කරමින් මනරම් කුළුගෙය එහි පමුණුවා, දර සෑයෙහි තබවා අවසන් ගෞරව සමාචාර සිදු කළේ ය. අනතුරුව උන්වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන්වා ගෙන අනුරාධපුරයෙහි සෑයක් ඉදි කළේ ය. තව ද ධාතූන් කොටසක් ගෙන්වා ගෙන සෑගිරි වෙහෙරෙහි ද, සෙසු විහාරයන් හි ද සෑයන් බැන්ඳවී ය.

මහාමහින්ද මහ රහතන් වහන්සේගේ ශ්‍රීමත් දේහය පිළිබඳ වු ආදාහන පූජෝත්සවය ශ්‍රී ලංකාද්වීපයෙහි සිදු වූ පළමු රාජකීය බෞද්ධාගමික ආදාහනය යි. මෙම ආදාහනය ඓතිහාසික කරුණු කිහිපයක් ඉතිහාසයට එකතු කර ඇත. උත්තිය රජු එකී රාජකීය ආගමික උත්සවයක් සිදු කළ පාලකයා වශයෙන් ද ඉතිහාසගත වී ඇත.

මෙරට ජන හදවත් ආගමික ප්‍රබෝධයෙන් පුබුදුවාලු, සිංහල සභ්‍යත්වයෙහි හා සදාචාරයෙහි නියමුවා වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිනිවීම පාලකයා පමණක් නොව රටවැසියා ද ධර්ම සංවේගයෙහි හෙළන්නට විය. එනිසා උන්වහන්සේගේ පරිනිර්වාණය කන වැකුණු නන්දෙසින් පැමිණි මහාජනකාය මහත් පූජා කරමින් රටෙහි හා ජාතියෙහි ගෞරවය පුද කළහ. මෙසේ මිහිඳු මහ රහතන් වහන්සේ මෙරට ජනහදවත්වල අනුබුදු නාමයෙන් බැසගෙන තිබුණු සිතිවිලිවල ප්‍රබලත්වය නිසා උන්වහන්සේ ජනයාගේ නිසි බුහුමනට පාත්‍ර වූ හ. ශ්‍රී ලංකේය ජනයා සිය ගෞරවය හෙළ සිරිත් විරිත් අනුව සිදු කළ බවට ද තහවුරු වේ. සුවඳ සුණු, සුවඳ ආලේප, සුවඳ දිය භාවිත කිරීමත්, එසේම සුවඳ දර යොදා ගැනීමත් නිසා උන්වහන්සේ කෙරෙහි වූ බොදු ජනයාගේ භක්තිය මනාව ප්‍රකට කරයි.

මිහිඳු මහා රහතන් වහන්සේ මෙරටට වැඩමවීමෙන් පසුව සිංහල දේශය ගොඩනැගීමට විවිධ මෙහෙයක් සිදු කළහ. ධර්ම දේශනාවකට පමණක් සීමා නොවූ උන්වහන්සේගේ දිනචර්යාව විවිධ අංශයන් වෙත පැතුරුණු සේවයක් විය. සිංහල ලේඛනයේ ආරම්භය සිදු වූයේ උන්වහන්සේගේ ආගමනයෙන් අනතුරුව ය. ලේඛන සඳහා අවශ්‍ය බ්‍රාහ්මී අක්‍ෂර මාලාව මෙරටට ලැබුණේ ය. ඉන්දු ආර්ය භාෂා රීතියට අනුකූලව ලියැවුණු පැරැණි සිංහල ලේඛන මහින්දාගමනයෙන් පසුව හමුවේ. මහින්දාගමනයත් සමග ත්‍රිපිටක ධර්මය තුළ අන්තර්ගත පාලි භාෂාව භික්‍ෂූන්ගේ භාෂා මාධ්‍ය බවට පත්විය. එය පසුකාලයේ අන්තර්ජාතික භාෂාවක් බවට පත් විය. පාලි භාෂාවේ ආභාෂය ලබා සිංහල භාෂාව පෝෂණය විය. එසේම කලා ශිල්පයෙහි උන්නතිය හා කලා ප්‍රබෝධය ඇති වූයේත් මහින්දාගමනය නිසා ය. ගෘහනිර්මාණ, චිත්‍ර, මූර්ති, කැටයම් ශිල්ප යන කලා මාධ්‍යය බිහි වූයේ උන්වහන්සේගේ ආගමනය නිසා ය. මෙරට ආගමික හා අධ්‍යාත්මික සමෘද්ධිය වෙත පියමං කරමින් ආර්ථික දියුණුව උදාවූයේ වැවයි - දාගැබයි, ගමයි - පන්සලයි යන උදාර සංකල්පය නිසා ය. මෙරට ජනයාගේ සිත්වල කලා රසකාමීත්වය ජනනය කරමින් පෙරහර ක්‍රමය බිහි විය. ශ්‍රී මහා බෝධියේ ආගමනයේ දී පැවැත් වූ එම ඓතිහාසික පෙරහර ජනයාගේ ශ්‍රද්ධාව, උද්දාමය හා අභිමානය ගොඩ නැංවීමට සමත් විය. අනතුරුව විවිධ සංස්කෘතිකාංගවලින් යුත් පෙරහර ක්‍රම මෙරට තුළ ව්‍යාප්ත විය. මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුපමේය සේවය මාතලේ අළුවිහාරයෙහි ලේඛණගත කර ඇති ත්‍රිපිටක ධර්මයත්, රජරට ප්‍රදේශවල පැතිර ඇති නිල්වන් කෙත්යායවලින් ද, විශාල වැව් අමුණු සහිත වාරි තාක්‍ෂණයෙන් ද, අහස උසට පැතිරුණු සුවිසල් දාගැබ් හා ගොඩනැගිලි නෂ්ඨාවශේෂවලින් ද, මහාවිහාරය, අභයගිරි, ජේතවන යන භික්‍ෂු අධ්‍යාපන මධ්‍යස්ථානවලින් ද මනාව කියාපායි.

සාමාජීය, සංස්කෘතික, අධ්‍යාපනික, ආර්ථික වශයෙන් අනුපමේය සේවයක් සිදු කිරීමට මාර්ගෝපදේශකත්වය ලබා දුන් මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවීම සිහිපත් කරන අද දිනයේ අපගේ වැදගත්ම කාර්යභාරය වන්නේ උන්වහන්සේගේ මඟපෙන්වීම තව තවත් පාලක පක්‍ෂයේ සිට රටවාසි සියලු දෙනාගේ ජීවිතවලට සමීප කර ගැනීමයි. අපගෙන් ගිලිහීගිය සදාචාරය නැවැත ඇති කර ගැනීමයි. සිංහලයා ඉහළට ඔසවා තැබූ අපගේ සංස්කෘතිය, සදාචාරය, ආගන්තුක සත්කාරය, පරහිතකාමීත්වය, සමගිය, සමාදානය, කරුණාව මෛත්‍රිය වැනි උදාර ගුණ ධර්මවලින් තව තවත් පෝෂණය වීමයි. අපගේ ඉදිරි පරම්පරාවට එකී ගුණධර්ම හඳූන්වා දෙමින් ඔවුන්ගේ ජීවිත ද ශ්‍රේෂ්ඨ සිංහල සංස්කෘතියෙන් ඔපවත් කිරීමයි.

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk