[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහිඳු මහ රහතන් වහන්සේ

මිහිඳු මහ රහතන් වහන්සේ

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්ෂයේණ

මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේ රටට වැඩම කළ ධර්මදූත පිරිස මහින්දාගමනය යන නාමයෙන් හඳුන්වනු ලැබේ. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ එම ධර්මදූත පිරිස ලංකාවට වැඩම කිරීමට ප්‍රථම මිහිඳු මහ රහතන් වහන්සේගේ මැණියන් වූ වේදිස දේවිය හමුවීමට වැඩම කළ බව වංසකතාවල සඳහන් වන කරුණකි.

එම මෑණියන් වාසය කළේ එතුමියගේ මෙන්ම මිහිඳු මහරහතන් වහන්සේගේ ද ජන්ම භූමිය වූ වේදිසගිරි ප්‍රදේශයේ ය. මෙය පැරැණි ජම්බුද්වීපයේ අවන්ති දේශයට අයත් ය. මිහිඳු මහරහතන් වහන්සේ සිය මෑණියන් හමු වී වේදිසගිරි විහාරයේ සිට පොසොන් පුර පසළොස්වක දා ලංකාවට වැඩම කළ සේක.

( ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය - -1 සිරිසමන් විජේතුංග පි. 60 - 2012 )


මිහිඳු සෑය

මිහිඳු මහ රහතන් වහන්සේගේ මහා සේවාව පිළිබඳ ඉතා දීර්ඝ වශයෙන් විස්තර කරන මහාවංසයේ ප්‍රථම කොටසෙහි මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම පිළිබඳව ද මෙසේ විස්තර කර ඇත. 'ඒ රජහු ඇවෑමෙන් (දේවානම්පියතිස්ස) උහුමල් උත්තියයි. ප්‍රසිද්ධ රජ කුමර අප්‍රකට ව රාජ්‍යය මොනවට කරවි. ඒ මහා මහේන්ද්‍ර ස්ථවිර වනාහි පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන උතුම් බුදුසස්න මොනවට ලක්දිව් හි බබුළුවා ලංකාවට ප්‍රදීපයක් බඳු වූයේ මහා සමූහ ඇත්තේ ලක්දිව බුදුන් වැනි වූයේ බොහෝ කල් ලෝ වැඩ කොට ඒ උත්තිය රජුගේ රාජාභිශේකයෙන් අටවැනි ජය වර්ෂයෙහි සැටවස් පිරුණු සේක් වස්සාන මාසයන්හි සෑ ගිරියෙහි (විසූ සේක) වෙසෙමින් වප් මස ශුක්ල පක්ෂයෙහි අටවන් දවස් ද්වීපවර්ධනයට හේතු වූ මහේන්ද්‍ර ස්ථවිර තෙමේ පිරිනිවන් පෑ සේක. අටවස් දවස්හි මහේන්ද්‍ර ස්ථවිරයන් පිරිනිව් කරුණෙක් දවස ද අටවක් පෝදායි සම්මත වී

(මහා වංසය පළමුවන කොටස - සිංහල පරිවර්තනය - පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි සහ බටුවන්තුඩාවේ පඬිතුමා 20 වැනි පරිච්ඡේදය ගාථා 29 - 35 )

මිහිඳු මහ රහතන් වහන්සේ පිළිබඳ මහාචාර්ය වල්පොල රාහුල නා හිමිපාණන් වහන්සේ මෙසේ සඳහන් කරති. “මිහිඳු හිමියන් පිරිනිවන් පෑවේ සැට වන වියේ දී බව දීපවංසයෙහි හා මහාවංසයෙහි සඳහන් වේ. භික්ෂුවක්ගේ වයස ගණන් ගන්නේ උපසම්පදාවේ පටන් ය. උන්වහන්සේ උපසම්පදාව ලබන්නේ විසි (20) වන වියෙහි දී ය. එබැවින් සැබෑ වයස ගණන් බලන්නට උපසම්පදා වයසට අවුරුදු විස්සක් එකතු කළ යුතු ය. දසවස් අජිත නම් භික්ෂුවක් සංඝයාට ප්‍රාතිමෝක්ෂ දේශකයා වී යැයි චුල්ලවග්ගයේ 426 වැනි පිටුවෙහි දැක්වේ. ඒ අනුව භික්ෂුවගේ වයස අවුරුදු 30 බවයි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින කාලයේ මිහිඳු හිමියන්ගේ වයස (උපසම්පදා) වයස අවුරුදු 12 (දොළහකි) එබැවින් උන්වහන්සේගේ උපතින් වයස අවුරුදු 32 කි. මේ පිළිවෙලට මිහිඳු මා හිමියන් පිරිනිවන් පාන විට උන්වහන්සේගේ වයස සැට වයස් යැයි සඳහන් කිරීමෙන් හැඟවෙන්නේ සැබෑ වයස අසූව (80) බව ය. වැස්ස යන පාලි වචනය වස් කාලය, වර්ෂය යන අර්ථ දෙකෙහි ම යෙදේ. භික්ෂුවගේ ‘පැවිදි’ වයස ගැනෙන්නේ උන්වහන්සේ ගතකොට ඇති වස් ගණන අනුව ය. භික්ෂුවක් වයස් ගත වූ විට සට්ඨිවස්ස කො (සැටවස්) යැයි කීම සිරිත කි. එසේ නම් උන්වහන්සේගේ සැබෑ වයස 80 විය යුතු ය. එහෙත් මෙසේ කීමෙන් හැඟවෙන්නේ සැබැවින් අසූ හැවිරිදි බව නොව වයසක බව යි. සමහරවිට වස්ස යනු සාමාන්‍ය වර්ෂ සඳහා යෙදේ.

(ලංකාවේ බුදුසමයෙහි ඉතිහාසය - මහාචාර්ය වල්පොල රාහුල නා හිමි පි. 62 - 1962 )

උත්තිය රාජ සමයේ වැදගත් සිදුවීම් දෙකක්

දේවානම්පියතිස්ස රජතුමා අවුරුදු හතළිහක් රජකම් කළේ ය. එම කාලයේ දී මිහිඳු මහ රහතන් වහන්සේ ද, තවත් සංඝයා වහන්සේ ද, සංඝමිත්තා මෙහෙණිය සහ තවත් මෙහෙණින් වහන්සේ ද ලංකාවේ බුදුදහම පැතිරවීමෙහි සුවිශාල මෙහෙයක් ඉටු කළහ. දේවානම්පියතිස්ස රජතුමාගෙන් පසුව ඊළඟට රජ වූයේ දේවානම්පියතිස්ස රජතුමාගේ බාල සොහොයුරෙකු වූ උත්තිය කුමරු ය. මිහින්තලේ ඇති ශිලා ලිපි තුනක ම උත්තිය රජුගේ නාමය සඳහන් වී ඇත. උත්තිය රජුගේ අට වැනි රාජ්‍ය වර්ෂයේ දී අප රටේ දියුණුවට ඉමහත් සේවාවක් ඉටු කළ මිහිඳු මහ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු විය. මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කිරීමේ පූජෝත්සවය ඉතාමත් පූජනීය ලෙසින් ඉටු කරන ලද්දේ උත්තිය රජතුමා විසිනි. මිහිඳු මහ රහතන් වහන්සේගේ ආදාහනයෙන් පසුව එම ධාතූන් වහන්සේලා තැන්පත් කර මිහින්තලේ සහ ලංකාවේ විවිධ පුදබිම්වල දාගැබ් සාදවන ලද බැව් ද මහාවංසයේ සඳහන් වෙයි. මිහින්තලේ එවැනි දාගැබක් පිළිබඳ තොරතුරු හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් සොයාගන්නා ලදී. මිහින්තලා කඳු මුදුණේ මහා සෑය අසල මිහිඳු සෑය නමින් ප්‍රකට දාගැබ මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිදන් කර සාදන ලද දාගැබකි.

තවත් දාගැබක් නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ රජගල නමින් ප්‍රකට වූ පුදබිමෙහි පිහිටා ඇත. මේ රජගල ඇති දාගැබ මිහිඳු මහරහතන් වහන්සේගේ සහ, එම දූත පිරිස සමඟ ලංකාවට වැඩම කළ තවත් භික්ෂූන් වහන්සේ නමක් වූ ඉට්ඨිය තෙරුන්ගේ ධාතූන් වහන්සේ ද තැන්පත් කර සාදන ලද දාගැබක් ගැන ඒ දාගැබ අසල පිහිටි පර්වතයක බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා ඇති පර්වත ලිපියේ සඳහන් වේ.

(ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය අංක 1 - සිරිසමන් විජේතුංග පි. 397 - 2012)

ඓතිහාසික ව හා පුරාවිද්‍යාත්මක ව ඔප්පු වී ඇති මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම.

දීපවංසය සහ මහාවංසය ඇතුළු ඓතිහාසික ග්‍රන්ථ රාශියක මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ බව සඳහන් වී ඇත. ඉහත සඳහන් කළ පරිදි රජගල පර්වතයක බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා ඇති එම ශිලා ලිපිය මෙසේ ය. යෙ ඉමදිපි පටමය ඉදිය අගතන ඉඩික තෙර මහිද තෙරහ තුබෙ එහි අදහස මෙසේ ය. ‘මේ දිවයිනට එහි වාසනා මහිමය නිසා පැමිණි ඉට්ඨිය සහ මහින්ද තෙරුන්ගේ ස්තූපය යි. මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් ලියන ලද Inscriptions of Ceylon - vol I -1970 p - 35  

(වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය සිරිසමන් විජේතුංග පි. 82 - 83 දයාවංශ ජයකොඩි සහ සමාගම.)

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk