[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලාවෙන් හමා ආ මිහිඳු හිමි ගුණ සුවඳ

මිහින්තලාවෙන් හමා ආ මිහිඳු හිමි ගුණ සුවඳ

මිහිඳු මහ රහතන් වහන්සේ, ශ්‍රී ලංකාද්වීපයේ ජනතාවට අමතක නොවන නාමයක්. උන්වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් කළ සේවය මෙපමණයි යනුවෙන් සඳහන් කරන්න පුළුවන්කමක් නැහැ.

උන්වහන්සේ ගිහි කල පියාණන් වහන්සේ වූ ධර්මාශෝක රජතුමා දඹදිව රාජ්‍යයම එක්සේසත් කර, රාජාභිෂේක බවට පත්වුණා. නිග්‍රෝධ කුඩා ස්වාමීන් වහන්සේ දැක සිත පහදවාගෙන, ධර්ම ශ්‍රවණය කර, තුනුරුවන් සරණ ලබා, පන්සිල් රැගෙන නියමාකාර බෞද්ධයෙක් ව, බුදු දහම කෙරෙහි පුදුම ප්‍රසාදයකින් කටයුතු කළා. අසූහාරදහසක් වෙහෙර විහාර ජම්බුද්වීපය පුරාම ඉදි කළා. රටවල් නවයකට බුදු දහම ප්‍රචාරය කළා. ලංකාවේ එවකට රාජ්‍ය කළ මුටසීව රජතුමාගේ අභාවයෙන් පසුව දේවානම් පියතිස්ස රජතුමා ලක්දිව රාජාභිෂේකයට පත් වුණා. ජම්බුද්වීපයේ ධර්මාශෝක අධිරාජ්‍ය තුමා, දේවානම් පියතිස්ස රජතුමා සමඟ බොහොම හිතවත් වුණා. එයින් විශේෂ පුද සත්කාර ලෙසින් තුනුරුවන් සරණ යාම සිදු වුණා.

ඉන්පසුව මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි වූ මිහිඳු මහ රහතන් වහන්සේ සීමා මාලකයේ දී ම රහත් බවට පත් වුණා. උන්වහන්සේ එතරම්ම පුණ්‍යවන්ත යි. කල්ප ලක්ෂ ගණන් බුද්ධ ශාසනය රැක ගැනීමේ අදහසින් දස පාරමිතාවෝ සම්පූර්ණ කරගෙන වැඩම කළේ, උන්වහන්සේගේ ගුරුවරයා වූ මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ද බුද්ධ වර්ෂ 236ක් ඉක්මවා දඹදිව බුද්ධ ශාසනයේ භාරකාර ස්වාමීන් වහන්සේ ලෙසින් වැඩ සිටියා. රජ දරුවන්ට අවවාද අනුශාසනා කරමින්, සම්බුද්ධ ශාසනයේ දියුණුවට අනුශාසනා කරමින්, කටයුතු සිදු කළා. මිහිඳු මහ රහතන් වහන්සේගේ මවත් බොහොම සැදැහැති උත්තමාවියක්. සාංචි ස්තූප වඳින්න පුදන්න නිබඳව ම පැමිණෙන, ඉතාම ගුණවන්ත මෑණියන් වහන්සේ කෙනෙක්. එතුමිය ද බුදු ගුණ සිහිපත් කර සෝවාන් ඵලයට පත් වුණා. මෙවැනි උත්තමාවියක් සඟමිත් තෙරණියගේත්, මිහිඳු මහ රහතන් වහන්සේගේත් මෑණියන් වීමට භාග්‍ය ලැබුවා.

පොසොන් පොහොය දිනක මිහිඳු මහ රහතන් වහන්සේ ඉත්ථිය, උත්ථිය, සම්බල, භද්දසාල, සුමණ සාමණේර , භණ්ඩුක උපාසක තුමා ඇතුළු පිරිස ඍර්දියෙන් ම ලක්දිව අනුරාධපුර රජරට ප්‍රදේශයේ පිහිටි මිහින්තලා නමැති මිස්සක පර්වතයට වැඩම කළා. ඒ මොහොතේ දෙවියන්ගේ මෙහෙයවීමෙන් දේවානම් පියතිස්ස මහ රජතුමා මිස්සක පර්වතයට විනෝද චාරිකාවක් පිණිස දඩයමට පිටත් වුණා. එහි දී දිව්‍ය පුත්‍රයෙක් මුවෙකුගේ වේශයක් ගෙන, රහතන් වහන්සේ වැඩ සිටින පෙදෙසින් පැන ගියා. එහිදී ‘තිස්ස, යනුවෙන් හඬ ඇසුණු මහ රජතුමා විශ්මයට පත් ව , පර්වතය දෙස බැලුවා. එහි දී මහා දැකුම්කළු , මනරම් උතුමන් වහන්සේ පිරිස දැකීමෙන් ද ප්‍රසාදයට පත් ව වන්දනා මාන කළා. කතා බස් කළා. ඉන් පැහැදුණු රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිසට ආරාධනා කර, අටසැටලෙනක් සකස් කර, මිහින්තලා භූමියේ ම පළමු වස් කාලය වැඩ සිටින්න පූජා කළා. අටසැටලෙන් පූජාව දේවානම් පියතිස්ස මහ රජතුමා විසින් මිහිඳු මහ රහතන් වහන්සේට පූජා කළා. උන් වහන්සේ දිගු කලක්ම එතැන වැඩ සිටිමින් රජතුමාටත් අවවාද අනුශාසනා කර දෙමින්, අනුරාධපුර අටමස්ථාන පිහිටන තැන් පෙන්වා දුන්නා. රුවන්මැලි මහ සෑය ඉදිකරන්න,දෙවන පෑතිස් රජතුමා තීරණය කළත්, ඒ සඳහා අනාගතයේ දුටුගැමුණු නමින් රජ කෙනෙක් එනම්, දේවානම් පියතිස්ස රජතුමාගේ මුණුබුරු රුවන්වැලි සෑය ඉදිකරන බව වදාළා.

මෙලෙස මිහින්තලා පර්වතයෙන් ගලා ගිය අමා දහම අද දක්වාම ලක්දිව පුරාම ව්‍යාප්තව දියුණු තියුණු වුණා. අතර මගදී යම් විනාශයට පත්වුණත්, මේ වෙනවිට ගමක් පාසා ම වෙහෙර විහාර, බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ, සෑ රදුන් වහන්සේ, ගොඩනංවා ගෙන සියලු පුණ්‍ය කටයුතු සිදු කරන්න මග පෑදුණේ මිහිඳු මහ රහතන් වහන්සේ නිස යි. සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලවා, බුද්ධ ගයාවේ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩමවාගෙන අනුරාධපුර මහ මෙව්නා උයනේ උඩ මළුවේ ප්‍රතිෂ්ඨාපනය කළා. ගිනි දෙවියන් , ගස් , ගල් , පර්වත, ඉර දෙවියන්, සඳ දෙවියන් සරණ ගිය ජනතාවට චුල්ල හත්ථිපදෝපම සූත්‍ර දේශනාව ආදී විශේෂ ධර්ම දේශනා ආදියෙන් තුනුරුවන් සමීපයේ දණ නැමුවා. මෙලෙස බෞද්ධ ජනතාව බහුල වී, සම්බුද්ධ ශාසනය ශීඝ්‍රයෙන් දියුණුවට පත් වුණා. ප්‍රථම මහණ පින්කම, ප්‍රථම උපසම්පදාව, ලක්දිව භික්ෂුණී ශාසනය පිහිටුවීම, ආදිය මහා පින්කම් සියල්ලටම මුල් වුණේ මිහිඳු මහ රහතන් වහන්සේ යි.

උන් වහන්සේ ශාසනයට මහඟු සේවයක් සිදු කර, ලක්දිව සිව්වණක් පිරිස ඇති කර, රාජ රාජ මහාමාත්‍යාදීන්ට අනුශාසනා කර, බුදු දහම ව්‍යාප්ත කිරීම සඳහා පුදුම වෙහෙසක් දරාගෙන කටයුතු කළා. උන්වහන්සේ නිසයි, අප බෞද්ධ වුණේ, ලංකාවේ වෙහෙර විහාර , ලංකා බුද්ධ ශාසනය ව්‍යාප්ත වීම, ආර්ය මාර්ග ඵල ලාභීන් ඇති වීම, මිහිදු මහ රහතන් වහන්සේගේ වැඩම කිරීමෙන් පසුව යි, සිද්ධ වුණේ.

තුන් ලෝකාග්‍රවූ සම්බුදු පියාණන් වහන්සේ ද ලක්දිවට තෙවරක් ම වැඩම කර, ශාන්තිය සලසා දී, ස්ථාන දාසයක සමවත් සුවයෙන් වැඩ හිඳ, ලංකාවට යහපතක් සලසා දුන්නා. අනාගත බුද්ධ ශාසනය සුරක්ෂිත වන බව උන්වහන්සේගේ නුවණින් දැක තිබුණා. ඒ නිසයි, ධර්මාශෝක අධිරාජ්‍ය තුමත් තමන්ගේ පුතා ම ලංකාවට එවීමට තීරණය කළේ. ලංකා බුද්ධ ශාසනය දිගු කලක් බැබළෙන බව දැනගන්නට ඇති. දෙවි දේවතාවුන් හෝ පවසන්නට ඇති.

මිහිඳු මහ රහතන් වහසේ ඉර , සඳ සේ බැබළෙන, මහා වාසනාවන්ත අමිල ජීවිතයක් ගත කර බුදු කෙනෙකුට දෙවන තේරුම ඇති අනුබුදු මා හිමි නමින් හඳුන්වනවා. ශාසනය ව්‍යාප්ත කර, සිව් වණක් පිරිස, ධර්ම දේශනා, සංස්කෘතික දේ, ආගමික පරිසරය සම්පූර්ණයෙන් දියුණු තියුණු කර, මිථ්‍යා මතවාදී අදහස් සම්පූර්ණයෙන් විනාශයට පත් කර, කටයුතු කළා. දාන, සීල, භාවනා පින්කම් කිරීම පිළිබඳව වැදගත් දේශනාවෝ මෙන් ම අනුසස් ද පැහැදිලි කළා. සීල, සමාධි, ප්‍රඥා ගුණ, කරුණා, මෛත්‍රී , දයාව , අනුකම්පා ගුණ, සමඟිව සමාදානයෙන් ජීවත් වීමේ වැදගත්කම, ආදී සියල්ල පැහැදිලි කරමින් යහපත් සමාජයක් ගොඩ නැංවූවා. මව් පියන්ට සැලකීම නොතිබුණු වකවානුවක ඒවා සිදු කිරීමට තරයේ අවවාද අනුශාසනා සිදු කළා. තුනුරුවන් වඳින පුදන ක්‍රමය, බණ භාවනා කරන ක්‍රමය, ඉතාම පැහැදිලි ලෙස උගන්වන්නට යෙදුණා. දස පාරමිතාවෝ, බෝධි පාක්ෂික ධර්මයන් දියුණු කරන ක්‍රමය පැහැදිලි ලෙස ගෙනහැර දැක්වූවා. රාජ රාජ මහා මාත්‍යවරු , ගමේ රටේ ජනතාව, දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද මහා ගෞරවනීය ලෙසින් වන්දනා මාන කළේ, උන්වහන්සේ ශාසනයට කළ සේවය නිස යි.

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වුණ වෙසක් පුන් පොහොය දින සමස්ත ලෝකයම ගෞරවය පුද කරනවා. මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පොහොය දවසක ලක්දිවට වැඩම කර අමිල සේවයක් සිදු කළා. මිහිඳු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ වප් පුර අටවක පොහොය දිනයක යි. මේ ගැන සිතා කල්පනා කර මිහිඳු මහ රහතන් වහන්සේට කාගෙත් ගෞරවය පුද කරමින්, නිබඳව ම ඒ නාමය සිහිපත් කර, වන්දනා මාන කළ යුතු යි. උන්වහන්සේ නිසයි, අප මෙතරම් ම පින් දහම් සිදු කරන්නේ. ඒ ශක්තිය තව තවත් දියුණු තියුණු කරගෙන යාමට අධිෂ්ඨාන ප්‍රාර්ථනා තබාගත යුතු යි. කරදර කම්කටොළු බාධක කෙතරම් ඇතත්, ඒවා පසෙක ලා ඉදිරියට ම යන්නට , මිහිඳු මහ රහතන් වහන්සේ කළ අවවාද අනුශාසනා නිස යි.

එසේනම්, උන් වහන්සේගේ ගුණ සිහිපත් කර, ලංකාවාසී ජනතාව කටයුතු කරනවා. උන්වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් පසුව මිහින්තලා පුදබිමේ වසරක් පාසා මිහිඳු මහ රහතන් වහන්සේට ගෞරවය පුද කර, පළාතම විදුලි අලෝකයෙන් ආලෝකවත් කර, සීල සමාදාන කටයුතු, ධර්ම දේශනා, පිරිත් දේශනා ආදියෙන්, මිහිඳු මහ රහතන් වහන්සේගේ නාමය සිහිපත් කර ගෞරවය පුද කරනවා. ඒ ගැන කල්පනා කර පොසොන් පුර පසළොස්වක පොහෝ දවස ඉතා වැදගත් දවසක් බව මතක තබාගෙන මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වුණ වප් පුර අටවක පොහොය දිනය ද ඉතාම වැදගත් දවසක් ලෙස සිහියේ තබාගෙන කටයුතු කළොත් වටිනවා. මිහිදු මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ මෙම දිනය බොහෝ පිරිසක් දන්නේ නැහැ. ඒ දිනය ස්මරණය කරමින් මිහින්තලා පුරවරයේ අති විශාල පින්කමක් සංවිධානය කරනු ලබනවා. මිහින්තලා නායක ස්වාමීන් වහන්සේට ද එහි ගෞරවය ද පිරිනමමින්, රාජ්‍ය ගෞරවය සහිතව, ත්‍රිවිධ හමුදාව ආදී සෑම දෙනාගේම සහායෙන් , රටේ නන් දෙසින් පැමිණෙන දායක කාරකාදීන්ගේ ද සහසම්බන්ධයෙන් මේ මහා පින්කම ඔක්තෝබර් 04, 05, 06 දිනවල සිදු කරනු ලැබීම සතුටට කරුණක්.

ඒ නිසා අපටත් ලෝකයාටත් විශාල ශාන්තියක් ලැබෙනවා. මෙතෙක් සිහි නොකළ ඒ දවස සිහි කර, සිදු කරන්නේ සද්පුරුෂ ධර්මයක්. එය කළ ගුණ සැලකීමක්. ප්‍රත්‍යුපකාර කිරීමක්. බෞද්ධයෝ ලෙස උන්වහන්සේට ගෞරවය පුද කිරීමෙන් අප නියමාකාර සද්පුරුෂයෝ වෙයි. කොයි කවුරුත් මෙවන් සද්පුරුෂ ගුණ ධර්ම දියුණු කර, සද්පුරුෂ උතුමෝ සිහිපත් කර, තමන් ද අවංක භක්ත්‍යාධරයෙන් සියලු කටයුතු දියුණු තියුණු කරගනු ලැබුවොත්, සංසාර ගමන වරදින්නේ නැහැ. එසේනම්, ශාසනය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ , ඉමහත් සේවයක් කරන්නට යෙදුණු ආගමික , ජාතික සංස්කෘතික වශයෙන් මෙහෙවරක් කළ, වප් පුර අටවක පොහොය දිනයේ, පරිනිර්වාණයට පත්වුණ මිහිඳු මහ රහතන් වහන්සේට අපේ ගෞරවය හිමි වේවා! ඒ වගේ ම උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි අප කටයුතු කිරීමෙන් සංසාර ගමනෙන් නිදහස් ව ලැබෙන නිවන් පසක් කර ගැනීමට ද භාග්‍ය ලැබේවා!

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk