[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුබුදු මාහිමි සහනසීලි දිවියකට මග පෑදූ සේක

අනුබුදු මාහිමි සහනසීලි දිවියකට මග පෑදූ සේක

මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම වීමත් සමඟ ම, මේ රට අවිහිංසාවාදී රටක් බවට පරිවර්තනය විය. මිහිඳු හිමියන් දැකීමත් සමඟම රජු කළේ තම අතෙහි තිබූ දුන්න හා ඊතලය බිම තැබීම යි.

ඊළඟට මිහිඳු හිමි කළේ රටේ පාලකයාගේ බුද්ධිය, අවබෝධය පරීක්ෂාකර බැලීමකි. මෙය ලේඛනගත ඉතිහාසය තුළ සිදු වූ ප්‍රථම බුද්ධි පරීක්ෂණය ලෙස පෙන්වා දිය හැකි ය. බුද්ධි පරීක්ෂණයෙන් පසුව කළ යුතු ඉදිරි කාර්යයන් සැලසුම් කර ඇත.

මහින්දාගමනය මෙරට ඉතිහාසයෙහි සුවිශේෂී සන්ධිස්ථානයකි. ලාංකික සමාජය තුළ ආගමික, සාමාජික, ආර්ථික හා සංස්කෘතික වශයෙන් සිදු වූ වෙනස අවිවාදාත්මක ය. මහින්දාගමන ය ඉහත සඳහන් අංශවලට පමණක් නොව කලාශිල්ප , චිත්‍ර , මූර්ති හා කැටයම් ආදී සෑම අංශයක් කෙරෙහි ම පුළුල් බලපෑමක් කර ඇත. ගසට පොත්තත්, පොත්තට ගසත් මෙන් සිංහල ජාතිය හා බුදුදහම එකට වෙළාගත් අයුරු ඉතිහාසය තුළින් දැකගත හැකි ය. මේ ආකාරයෙන් ශ්‍රී ලාංකික ජනතාව තම අනන්‍යතාවය ලොවට පෙන්නුම් කළ, අදීන ජාතියක් බවට පත් විය.

මිහිඳු හිමියෝ ශ්‍රී ලාංකික ජනතාවගේ ඇවැතුම් පැවැතුම් හා සිත් සතන් නිවැරැදි ව හඳුනාගෙන ධර්ම දේශනා කළ උත්තමයෙකි. උන්වහන්සේ දේශනා කළ ධර්මය අනුගමනය කිරීම ශ්‍රී ලාංකිකයාට දුෂ්කර කාර්යයක් නොවී ය. ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් කිරීමට වඩා උන්වහන්සේගේ අවධානය යොමු වූයේ මිනිසාගේ දෛනික ජීවිතය හැඩගැස්වීමට යි. අකුසලයෙන් ඉවත්කර කුසලයට යොමුකරලීමත්, ඒ තුළින් අන්‍යයන්ට හිරිහැරයක්, කරදරයක්, නොවන ආකාරයට තම ජීවිත ය නිවැරැ දි මඟකට යොමුකර සැනසිලිදායක සුවදායක ප්‍රජාවක් බිහිකරලීමත් තමන් වහන්සේ දේශිත ධර්මවෙහි අරමුණ විය.

රටක් නිවැරැදි මගට යොමුකරලීමට නම්, ඒ රටේ පාලකයා ආදර්ශ සම්පන්න විය යුතු ය. මිහිඳු මා හිමියන් මුලින්ම කළේ රටේ පාලකයා , නිවැරැදි පුද්ගලයෙකු බවට පත්කරලීමට අවශ්‍ය දෑ පෙන්වා දීමයි. එනම් පන්සිල් සුරකින පාලකයෙකු රට තුළ ඇතිකර ලීමයි. යක්ෂ,නාග වශයෙන් මෙරට පැවැති ගෝත්‍ර භේද මිහිඳු හිමියන්ගේ ආගමනයත් සමඟ වෙනස් වී, සමඟි සම්පන්න සමාජයකට මග පෑදිණි. දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව වැනි වටිනා උතුම් ගුණධර්මයන් තුළින් සමාජය තුළ තිබිය යුතු සමානාත්මතාවය තව තවත් වර්ධනය වූ අතර මෙත්තා, කරුණා, මුදිතා , උපෙක්ඛා ගුණයන් ක්‍රියාත්මක කිරීම තුළින් ගැටුම්වලින් තොර ව, අන්‍යොන්‍ය පි‍්‍රයශීලි, සබඳතාවය ගොඩනංවන සමාජයක් ඇති වු බව පෙන්වා දෙන්නට පුළුවන. මිහිඳු හිමියන් වැඩම වීමෙන් සිදු වු උදාරම මෙහෙය නම් ජන සමාජය පිබිදුණු මොහොතේ සිට රාත්‍රී නින්දට යන තෙක් මුළු දවසම බෞද්ධ දින චරියාවකට අනුව සැකසෙමින් තමන් ගැන මෙන් ම, අනුන් ගැන ද සිතන, සහනශීලි දිනයක් ගත කිරීමට මඟ පාදා දීමයි.

මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජුට දුන් උපදෙස් අතර, ‘මහරජ’ ,ඔබ මේ පොළොවේ අයිතිකරුවා නො ව ආරක්ෂක යා ය” යන්නෙන් හැම පැතිකඩකින් ම රට ආරක්ෂාකිරීම අදහස් කරයි. මිනිසා හා සත්වයා ආරක්ෂාකරන අතර, රටේ සම්පත් ද ආරක්ෂා කළ යුතු ය . මේ උතුම් පාඨය අපේ සියලු ක්‍රියාකාරකම් හි දී සිහිතබා ගත යුත්තකි.

හිංසාවකින් තොර ව ජීවත්විය යුතු ය යන්න මහින්දාගමනයත් සමඟම අපට ලැබුණ මූලිකම පාඩමකි. තැතිගන්වන, භයගන්වන, තර්ජනාත්මක වචන තුළින් පමණක් නොව, අවි ආයුධ පරිහරණය කිරීම් තුළින් ද, පාතාල කල්ලි යොදවා ගැනීමෙන් ද, මිල මුදල්, යාන වාහන, දේපළ පුද්ගල පැහැර ගැනීම් වැනි දැ සිදුවන අයුරු දැකගත හැකි ය.

තනතුරු ,ධනය, බලය පෙන්වා ඒ තුළින් සිදුවන හිංසා පීඩාවන් ද අප සමාජය තුළ දක්නට ඇත.

ලොවට උගතුන් බිහිකරන විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය දෙස බැලුවත් වාර්ෂිකව නවක සිසුන් වෙත එල්ලවන වධහිංසා දෙස බලන්න. මානසික පීඩාවට, අසහනයට, ආතතියට පත් ව අතර මං වන ජීවිත කොපමණ ද? මේ අතර සමහර සිසුහු විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය අතහැර යති. තවත් සමහරු මුළු ජීවිතය ම කල්පනා ලෝකවල නිමග්නව සිටිති. බුදු දහමෙන් පෙන්නුම් කරන අවිහිංසා ප්‍රතිපත්තිය පිළිබඳ ව අප නැවැත වතාවක් සිතා බැලිය යුතුව ඇත. අන්‍ය ආගමිකයන්ටත් වඩා ‘හිංසාව‘ අතින් අප ඉදිරියෙන් සිටින බව පෙනී යනු ඇත. විවිධාකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි මේ හිංසාකාරී ක්‍රියාකාරිත්වයෙන් මෙන් ම අවිහිංසා සිතිවිලි හා හැඟීම් කුඩා කල සිටම අපේ ළමා ලෝකයට ප්‍රවිෂ්ට කිරීම ගැන වැඩිහිටි සැම විශේෂයෙන් සැලකිලිමත්වීම යුග අවශ්‍යතාවයක් වනු ඇත. මේවායේ ඇති දුර්විපාක, වේදනාත්මක ප්‍රතිඵල ගැන සිතා මෙවැනි හිංසක ක්‍රියාකාරකම්වලින් ඉවත් වීමට සිත යි නම් එය එක්තරා අතකින් මිහිඳු හිමියන් වෙත පුදකරන සුවිශේෂි ගෞරවයක් ලෙස අපි දකිමු.

අනුරාධපුරය, මිහින්තලය ආදී පෞරාණික ස්ථාන නැරඹීමට යන බොහෝ දෙනා එය විනෝද චාරිකාවක් ලෙස යොදාගෙන ඇති බව පෙනේ. මත් ද්‍රව්‍ය පානය කරමින්, විවිධ සංගීත භාණ්ඩ වාදනය කරමින්, කාමුක හැඟීම අවුස්සන ගීත ගායනා කරමින් යුතුව අශෝභන අසංවර ගමන් විලාසය මිහිඳු හිමියන් මහත් කැපවීමෙන් අප වෙත ලබා දුන් ඒ ශ්‍රේෂ්ඨ දායාදයට අවමානයක් කරනවා නේ දැයි සිතිය යුතු ය.

මෙය මිහිඳු හිමියන්ට කරන අගෞරවයකි. බෞද්ධ හැඟීම් ඇතිකරන නවීන ගීත ගායනාකිරීම වරදක් නොවේ. නමුත් ඒවා පවා ගායනා කළ යුත්තේ තැනට සුදුසු බුද්ධිය මෙහෙයවමිනි. මිහිඳු හිමියන් සමරණ මෙවැනි අවස්ථාවල අප අතින් සිදුවන වැරැදි අවබෝධකරගෙන ඒවායින් දුරස්වීමට අධිෂ්ඨාන කරගත යුතු ය. මිහිඳු හිමියන් ලබා දුන් පණිවිඩය අපගේ සිතුම් පැතුම් හා ක්‍රියාකාරකම් තුළ නොමැතිනම් මිහිඳු හිමි සැමරීමේ ඇති ප්‍රතිඵලය කුමක් ද?

මිහිඳු හිමියන් ලක්දිවට වැඩම වීමෙන් පසුව අප රට තුළ සිදු වූ ගෘහ නිර්මාණ ශිල්පය හා කලාකෘති ගැන ද අප කල්පනා කළ යුතු ය. ශ්‍රී මහාබෝධීන් වහන්සේ වැඩම වීමේ දී පැමිණි අටළොස් කුලයක ශිල්පීන් නිසා, මෙරට කැටයම්, මූර්ති, චිත්‍ර, ගෘහනිර්මාණ, වාරිකර්මාන්ත ආදි විවිධ ක්ෂේත්‍රවල ශිල්පීය දැනුම, වර්ධනය වූ අයුරු දැකගන්නට පුළුවන.

හැඩි දැඩි කළුගලෙන් කරුණාව, දයාව මූර්තිමත් කරන බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන් ම සියුම් කැටයමෙන් අලංකෘත, බෞද්ධ දර්ශනය ප්‍රකට කරන සඳකඩපහන, කලා නිර්මාණවලින් ඔපවත් වූ පොකුනු වැනි නිර්මාණ ද බිහිවිණි.

මහා සමුද්‍ර වැනි විශාල වැව්, ඇළ, දොළ ,ගංගා මේ සියල්ල ශ්‍රී ලාංකිකයාගේ ශක්තිමත් දෑතින් නිර්මාණය වූ ඒවා ය. එදා ඉදිකරනු ලැබූ චෛත්‍යයන් ද, ලෝවාමහා ප්‍රාසාදය වැනි විශිෂ්ට නිර්මාණයන් ද සීගිරි සිතුවම් වැනි නිර්මාණයන් ද අපට මහත් ආඩම්බරයකි.

බොහෝ රටවල ඒ රටේ අනන්‍යතාවය සුරකිමින් නිර්මාණය කටයුතු කරන බව දැකගත හැකි ය. නමුත් අපේ රටේ ගෘහනිර්මාණ ශිල්පීන් කී දෙනෙක් ඒ පැරැණි අද්විතීය නිර්මාණවලින් ආදර්ශයක් ලබා ගන්නවා ද? මේ ගැනත් සිතිය යුතුව ඇත.

කෘෂිකර්මාන්තය දෙස බැලුවත් , ඊට අදාළ වාරිකර්මාන්ත දෙස බැලුවත් ඒවා දියුණු මට්ටමකට පත් ව ඇත්තේ මහින්දාගමනයෙන් පසුව ය. උට්ඨාන වීර්යයෙන් යුක්තව, ඉර උදාවීමට පෙරම කුඹුරට බසින ගොවියා ඇළ – දොළ, ගංගා, වැව්, අමුණූ ආශි‍්‍රතව කටයුතු කළ නිසා ම රට ආහාරයෙන් ස්වයං පෝෂිත විය. එදා සිටියේ දහඩිය වගුරවමින් වැඩකරන ජනතාවකි. අද බොහෝ දෙනා අලස ය. නිකරුණේ කාලය කා දමති.

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ දඹදිවින් වැඩමකළ බෝධි වෘක්ෂය තුළින් මෙරටට මොනතරම් මෙහෙයක් ඉටු වී ඇත් ද? වෘක්ෂ වන්දනාවට හුරුපුරුදු වූ ශ්‍රී ලාංකිකයා ඉතා ඉක්මණින් බෝධිය වටා එක් රොක් වූ හ. අනුරාධපුර පුණ්‍ය භූමිය මුල් කරගෙන එදා සිදු කළ සියලු නිර්මාණ පරිසරය සංරක්ෂණය වන අයුරින් සිදුකළ බව ඉතා පැහැදිලි ය. මිහිඳු මාහිමියන් සිහිපත් කිරීම යනු ඒ ප්‍රෞඪ, සාඩම්බර අතීතය දෙස නැවැත හැරී බැලීමක් ලෙස අපි දකිමු.

අපි ගමන් කරමින් යන අවාසනාවන්ත කනගාටුදායක අනාගතය තරමක් හෝ සැනසිලිදායක දැක්මකට යොමුකරලීමට අනුබුදු මිහිඳු මාහිමි චරිතාපදානය ආලෝකයක් කරගනිමු.

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk