[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිනිවනට වැඩි සේක අනුබුදු මිහිඳු මා හිමි

පිරිනිවනට වැඩි සේක අනුබුදු මිහිඳු මා හිමි

අපගේ ශාස්තෘ වූ සම්බුදු රජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන සාල වන උද්‍යානයේ දී පිරිනිවන් යහනෙහි වැඩ සිටිමින්, මේ ශ්‍රී ලංකාද්වීපය ගෞතම බුදු සසුන පිහිටන ද්වීපය බව පෙන්වා වදාළ සේක.

එමෙන් ම ලක්දිව මිනිස් වාසය අරඹන විජය කුමරු ඇතුළු සත්සියයක් පිරිසට ආරක්ෂාව සලසන ලෙස සක් දෙවිඳුට නියම කළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය සැබෑ කරමින් අපගේ මිහිඳු මහරහතන් වහන්සේ, ලක්දිවට ශාස්තෘන් වහන්සේ නමක් බඳු (සත්ථු කප්පෝ) ගෞතම බුදු සසුන, ලක්දිව පිහිටුවා වදාළ සේක. ලංකාවාසී ගිහි, පැවිදි අප සියලු දෙනාම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම සම්බුදු ගුණ මහිමය, ශ්‍රී සද්ධර්මයේ අපමණ ගුණ කඳ, ආර්ය සංඝ රත්නයේ පිවිතුරු ගුණ දැනගත්තේ අපගේ පරම කල්‍යාණ මිත්‍ර වූ මිහිඳු මහරහතන් වහන්සේට පින් සිදුවන්නට ය.

අරහත් මහ මිහිඳු හිමි

මේ ලංකාධරණී තලයෙහි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ නො වන්නට ලොවෙහි නිර්මල බුදුවදන් කවුරු නම් දනිත් ද? ඒ ත්‍රිපිටක සම්බුදු වදන් ලක්දිවට දායාද කළෝ මිහිඳු මහ රහතන් වහන්සේ ය. ලක්වැසියන්ට සුගති රැකවරණයත්, මගඵල අමා නිවනත් දායාද කළ මිහිඳු මහ රහතන් වහන්සේට කෘතගුණ සලකා කෙසේ නම් අවසන් කරන්නට ද? අපට අනුබුදු බුදු අපගේ පරම පූජනීය කල්‍යාණ මිත්‍ර වූ මිහිඳු මහ රහතන් වහන්සේගේ උත්තම චරිතාපදානයෙන් ස්වල්ප මාත්‍රයක් හෝ කෙනෙකුට ඉගෙන ගන්නට ලැබීම වාසනාවක් ම ය . මහ සයුරේ දිය බිඳක් දිව ගා මහසයුර ලුණු රසයෙන් යුක්තබව නුවණැත්තෝ දැන ගනිති. එලෙසින් ම අප මිහිඳු මහ රහතන් වහන්සේගේ ගුණයෙන් බිඳක් තවරා, උන්වහන්සේ මහා ගුණ සයුරක් බවට නුවණැත්තෝ සිත පහදවා ගන්නාහ. මිහිඳු මහරහතන් වහන්සේ බඳු අසහාය ධර්ම දූතයන් වහන්සේ නමක් පිළිබඳ අපට වචනයෙන් වර්ණනා කළ නො හැකි ය. කෙටියෙන් පැවසුවහොත් කිවහැක්කේ මහානාම තෙරුන් මහාවංශයෙහ ිදී උන්වහන්සේ හැඳින්වූ වචනය වන “සත්ථු කප්පෝ” හෙවත් “ශාස්තෘන් වහන්සේ සමාන වන සේක” වශයෙනි. ඊටත් වඩා වර්ණනා කුමට ද?

ධර්මද්වීපයේ ජය හඬ

ලංකාදීපප්පසාදක වූ මිහිඳු මහරහතන් වහන්සේ අපගේ පරම පූජනීය කල්‍යාණ මිත්‍රයාණෝ ය. අප කෙරෙහි දැක්වූ කරුණාව නිසාවෙන් උන්වහන්සේට අපට ශාස්තෘන් වහන්සේ සමාන ය. සිය නිකෙලෙස් හදමඬල නමැති දියමන්ති මංජුසාවෙහි පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය නමැති සිංහ තෙල රඳවාගෙන ලක්දිවට වැඩම කළ සේක. උන්වහන්සේගේ නිකෙලෙස් හද මඬලින් දරාගෙන වැඩි උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් ලක්වැසි පුණ්‍යවන්තයෝ මහරහතන් වහන්සේ බවට පත් වූ සේක. දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය ලක්වැසියන්ගේ ශාසන මාතෘ උන්වහන්සේ ය. විමුක්ති සිත් පෝෂණය කළ පීතෘ උන්වහන්සේ ය.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩම නො කරන්නට අප තවමත් දීන මිනිසුන් ය. අණක් ගුණක් නොමැති ම්ලේච්ඡ ජාතියක් වන්නට සිටි සිංහලයා ලොවෙහි උතුම් ම ‘ආර්ය’ ජාතිය බවට පත් කළෝ උන්වහන්සේ ම ය. දෙවනපෑතිස් මහරජුන්ගේ මුතුන් මිත්තන්ගේ පරපුර වනාහී යකුන් ,යකින්නියන් සමඟ කෙළිදෙළින් ගත කළ පිරිසකි.ඇත්තෙන් ම ලක්දිව යක්ෂ ද්වීපයක් කළෝ ඔවුහු ය. එනමුදු අප අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ එකී යක් පුරය යම් සුවඳ හමන ධර්මද්වීපයක් කළෝ ය. ගෞතම බුදුරදුන්ගේ දහම් ගබඩාව කළෝ ය.

ලක්දිව පැවැති යක්ෂ විලාපය සාධු නාදයෙන් සෝදාහළ සේක. ගස්,ගල්, පර්වත, යකුන්, යකිනියන් ඇදහීම නමැති මිථ්‍යාදෘෂ්ටික අන්ධකාරය දුරුකල රිවි මඬල වනාහි අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ම ය.

මේ ලක්දිව සසුන් කෙත වැපුරූ උන්වහන්සේ ලක් බුදු සසුන එකළු කළ පහන් ටැඹක වූ සේක. හෙළ වැසියන්ගේ සැබෑ ම විමුක්තිදායකයාණෝ උන්වහන්සේ ය. බෝපත් ලෙලදී හමායන සුළං රැළි ලක්වැසියන්ගේ සෝ තැවුල් සංසිඳවූහ. අවිද්‍යාවෙන් තෙත්ව, දුකින් බර වූ දෙනෙත් මහා ස්ථූප නමැති අඳුනින් සිහිල් කළ සේක. ලක්වැසියන්ගේ දුක් ගිනි නිවූ මිහින්තලාවෙන් ගැලූ සිහිලැල් දහම් නදිය උන්වහන්සේ ම ය. මිහින්තලාවෙන් පෑයූ කෙලෙස් විඩා නිවාලන පොසොන් පුන් සඳ උන්වහන්සේ ය.අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඉතා අපූර්ව වූ සදහම් නගරයක් සිරිලක් බිමෙහි නිර්මාණය කළ සේක.

හිරු මඬල බැසයයි

එකල්හි උත්තිය රජු රාජාභිෂේකය ලැබ අටවෙනි වසර ය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේට වයස අවුරුදු අසූවක් වූ අතර උපසම්පදා වී සැට වසරකි. එකල්හි මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ සෑගිරි විහාරයේ වැඩහුන් සේක. සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව පසක් කරමින් පහන් සිලක් නිවී යන ලෙසින් අපගේ පරම කල්‍යාණ මිත්‍ර වූ සිංහලයාගේ ආධ්‍යාත්ම ගුරුවරයාණන් වහන්සේ වූ, මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවී ගිය සේක. ඒ වප් මාසයේ පුර පක්ෂයේ අටවක දිනයකි. එනිසා වප් මාසයේ පුර අටවක දවස එකල සිංහලයෝ හැඳින්වූයේ “ශ්‍රී මිහිඳු පුර අටවක “ නමිනි.

ශ්‍රී දේහයට උතුම් පූජා

මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ඇසූ උත්තිය රජු සෝකහුලින් පහර කන ලද්දේ ය. මිහින්තලේ සෑගිරියට ගොස් මහරහතන් වහන්සේගේ නිසල ශ්‍රී දේහට වන්දනා කොට උන්වහන්සේගේ ගුණ ගායනා කරමින් හඬා වැළපුණේ ය.

රන් දෙණක සුවඳ තෙල් පුරවා මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ශ්‍රී දේහය එහි තැන්පත් කරන ලද්දේ ය. ඒ දෙණ හොඳින් වසා රන් කුළු ගෙයක් මත තබවා සාධුනාද පවත්වමින් අනුරාධපුරයට වඩමවාගෙන එන ලද්දේ ය.

අනුරාධපුරය නගරය අලංකාරයෙන් සරසන ලද්දේ ය. තොරණ් බන්දවන ලද්දේ ය. ධජ පතාක ඔසොවන ලද්දේ ය. මල් මාලාවන්ගෙන් සරසන ලද්දේ ය. පුන්කලස් තබ්බවන ලද්දේ ය.

අනුබුදු මාහිමියන් වහන්සේගේ ශ්‍රී දේහය බැහැ දකින්නට පංච මහා ගංගාවන් ගලන සෙයින් ලක්දිවින් ජන ගංගාව ගලා ආවේ ය. ජනයාගේ නෙතින් ගැලූ කඳුළින් අනුරාධපුර නගරය තෙමී ගියේ ය.මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය පඤ්චම්බ මාලකයෙහි කූටාගාරයක තැන්පත් කරවා සත් දිනක් පූජෝපහාර පවත්වන ලද්දේ ය.

ශ්‍රී දේහයේ ආදාහනය

අනුරාධපුරයෙන් නැගෙනහිර දිසාවෙහි බද්ධමාලක නම් තැන සඳුන් දරින් චිතකයක් කරවන ලද්දේ ය. මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය රැගෙන ථූපාරාම සෑය ද පැදකුණු කරමින් වැඩමවාගෙන ඇවිත් ඒ සිත්කළු චිතකයෙහි කූටාගාරය තැන්පත් කරවූයේ ය.

සිංහල රහතන් වහන්සේ ද, සිංහල රහත් භික්ෂුණීන් වහන්සේ ද ධර්ම සංවේගය සිහි කරමින් අනිත්‍ය ප්‍රතිසංයුත්ත වූ සම්බුද්ධ දේශනාවන් සජ්ඣායනා කළ සේක.

මගඵල නො ලත් භික්ෂූන් වහන්සේ ද භික්ෂුණීන් වහන්සේ ද හඬා වැළපෙමින් මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ කියන්නට පටන් ගත්හ. මගඵලලාභී උපාසක උපාසිකාවෝ ධර්ම සංවේගයෙන් බලා සිටියහ. අවශේෂ උපාසක උපාසිකාවෝ චණ්ඩ මාරුතයෙන් ඇදහැලෙන වෘක්ෂයන් පරිද්දෙන් සෝකහුලින් පහර කන ලදුව හඬා වැළපෙමින් ඇද වැටුණාහ.

අහසින් මල් වරුසා ඇදහැලුණේ ය. ලක්වැසි දෙවියන්ගේ සෝකී රාවය සියල්ලන්ට ම අසන්නට ලැබුණේ ය. මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහයට ගිනි දල්වන ලදුව අනිත්‍ය ධර්මය පසක් කරමින් ගිනි ඇවිලී ගියේ ය.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට එතැන චෛත්‍යයක් කරවන ලදී. උන්වහන්සේ ආදාහනය කළ ස්ථානයට ගෞරව කිරීම පිණිස ඉසිභූමංගන යන නම තබන ලදී. ඒකාන්තයෙන් සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු සංස්කාරයෝ හටගෙන නැසීයන ස්වභාවයෙන් යුක්තයහ. මෙබඳු ස්වභාවයෙන් යුක්ත වූ සංස්කාර ධර්මයන්ගේ සංසිඳී යෑම සදහට ම සිදුවෙමින් යම් රහතන් වහන්සේ නමක් පිරිනිවන් පානා සේක් ද? ඒ සංසිඳී යෑම සැපයකි.

ඒ අපගේ පරම කල්‍යාණ මිත්‍ර වූ ලංකාදීපප්පසාදක වූ මිහිඳු මහරහතන් වහන්සේට පළමුවත් ,දෙවනුවත්, තෙවනුවත් නමස්කාර කරමි. අපගේ නමස්කාරය වේවා.

වප් පුර අටවක පෝය

වප් පුර අටවක පෝය ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා පූර්ව භාග 09.50 ට ලබයි. 06 වනදා ඉරිදා පුර්ව භාග 10.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 05 වනදා සෙනසුරාදා ය.

මී ළඟ පෝය ඔක්තෝබර්
13 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk