Print this Article


නව අරහාදී බුදුගුණ

නව අරහාදී බුදුගුණ

බුදුවරයෙකු සතු ( නව අරහාදී) ගුණ පැවසිය හැකි වනුයේ තවත් බුදුවරයෙකුට පමණි. එයට ද කල්පයක් පමණ කාලයක් ගත වෙතැයි සඳහන් ය.

සාමාන්‍ය ලෙසින් උන් වහන්සේ හැඳින ගැනීම සඳහා බොදුනුවන් විසින් නිරතුරුව භාවිත කරන ප්‍රකට බුදුගුණ පාඨයක් ඇත.

ඒ අනුව මජ්ක්‍ධිම නිකායෙහි මහාසීහනාද සූත්‍රයෙහි එන “ඉතිපි සො....”පාඨය දැක්වෙයි. එහි අරුත ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් වූ ද, සම්බුද්ධ වූ ද , විජ්ජා චරණ සම්පන්න වූ ද , සුගත වූ ද, ලෝක විදු වූ ද, පුරිසදම්ම සාරථී වූ ද, ශාස්තෘ වූ ද , බුද්ධ වූ ද , භගවා වූ ද “ යනුවෙනි.

මෙලෙස මෙම බුදුගුණයන්හි අරුත කෙටියෙන් දැන ගත්තේ නමුදු ශ්‍රද්ධාව වැඩෙන්නේ නැත. එහෙයින් මෙම ගුණයන් ගැඹුරින් යථාර්ථවත් ලෙස අධ්‍යයනය කිරීම වැදගත් වේ.

අරහං නම් වන සේක

අර්හත් ගුණයෙන් බුදුරදුන් ප්‍රාඥයෙකු ලෙස ඇගයීමට පුළුවන. අර්හත්වයට පත්වීම සඳහා නුවණ හෙවත් ඤාණය මුල් වේ. රාගාදී කෙලෙස් නැති කළ හැකි වනුයේ නුවණැත්තන්ට ය. බුදුරදුන් සියලු කෙලෙස් නැසූ බැවින් ද, දෙවියන් සහිත ලෝකයාගේ පුද පූජා ලැබීමට සුදුසු වූ බැවින් ද, රහසින්වත් පාපාදී කෙලෙසුන් නොකළ නිසා ද, ‘අර්හත්’ නම් වේ. බුදුරදුන්ගේ ඤාණයට හසු නොවන කිසිවක් මේ ලෝක ධාතුවෙහි නොමැති හෙයින් උන්වහන්සේ උතුම් නැණවතෙකි.

සම්මා සම්බුද්ධ නම් වන සේක

“සම්මා සම්බුද්ධ” යන්නෙන් මනා ලෙස සියල්ල අවබෝධය” යන අරුත ගෙන දෙයි. බුදුරදුන් කුඩා කල සිටම “කිං සච්ච ගවේසීව“ ක්‍රියා කළහ. එනම් “ලොව නියම සත්‍යය කුමක්ද?” යන මූලික සංකල්පය කෙරෙහි යම් පර්යේෂණාත්මක ගවේෂණයෙක යෙදීම ය. එනම් ඒ කෙරෙහි නියැළී සිටීම ය. එහි ප්‍රතිඵල වශයෙන් ලෝකයෙහි ඇති සියලු ධර්මතාවයන් හේතු ප්‍රත්‍යයන් මත ඇතිවන බව පසක් කර ගෙන එය ලෝකයාට පෙන්වා දුන්හ. පටිච්චසමුප්පාදය මගින් එය අනාවරණය කරයි. “අවිජ්ජා පච්චයා සංඛාරා” ආදී වශයෙනි. එමෙන් ම ලෝකයෙහි (විශ්වයෙහි) එකම සත්‍යය චතුරාර්ය සත්‍යය බව පෙන්වා දෙයි. එය කිසිවෙකුගේ උපකාරයෙකින් තොරව තම අවබෝධයෙන්ම ඇතිකරගත් විශේෂත්වයෙකි. මෙම ගවේෂණයන් නිසා තත් කාලීන ආගම් දර්ශන පවා ඛණ්ඩනය කළ හැකි විය. මේ අනුව ගුරූපදේශ රහිතව, තමා විසින් ම චතුරාර්ය සත්‍යය අවබෝධ කොට අන්‍යයන්ට ද දේශිත බැවින් “සම්මා සම්බුද්ධ” නම් වේ.

විජ්ජාචරණ ගුණයෙන් යුතු වන සේක.

“විජ්ජාචරණ “ යනු ත්‍රිවිද්‍යා, අෂ්ට විද්‍යා හා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්ත වීමයි. මෙම හැකියාවන් උපයෝගී කොට ගෙන ලෝවැසි අසරණයන්ට අනුකම්පාව දැක්වූ අයුරු ත්‍රිපිටකයෙන් පෙනෙයි. තමාට විරුද්ධ වූ සැමට අනුකම්පාව දක්වන ලදී. ආලවක, අංගුලිමාල , දෙව්දත් තෙරුන් හා නාලාගිරි ඇතා වැන්නවුන්හට දයානුකම්පාව දක්වා යහපත් මඟට යොමු කළහ.

සුගත නම් වන සේක.

යහපත් ගතියට පත් වූ බැවින් ‘සුගත’ නම් වේ. තවද (සුට්ඨුගතො – සුගතො) පෙර බුදුවරු මෙන්ම පාරමිතා දහම් සපුරමින් පැමිණි හෙයින් ‘සුගත’ නම් වේ. යනු විග්‍රහයයි. පුනර්භවය (පොනොභවිකා) නැති කළ බැවින් ද, සුන්දර ගමන් විලාශයක් හා දේශනා රටාවක් ඇති හෙයින් ද, සුගත නම් වේ යනුවෙන් පර්යාය අර්ථයන් ද තිබේ.

ලෝකවිදූ ගුණයෙන් යුතුවන සේක.

“ලෝකවිදූ යනු ලෝකය (විශ්වය) පිළිබඳව ඇති යථාවබෝධය යිකාම රූප, හා අරූප විසින් ලෝකය තෙවැදෑරුම් ය. තුන් ලෝකය හෙවත් ලෝකත්‍රය විෂයෙහි ඇති දැනීම (ම්දධඹතඥඤඨඥ) මෙනමින් හැඳින්වේ.

පුරිස දම්ම සාරථී නම් වනසේක.

බුදුරදුන් වෙත පැමිණි නොයෙක් ආකාරයේ පුද්ගලයන් දමනය කරන ලද්දේ අවිහිංසාව පදනම් කොට ගත් මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන උසස් ආධ්‍යාත්මික ගුණ දහම් මගිනි. මෙලෙසින් ඔවුනට නිවන් මඟ විවර කර දුන් බැවින්” පුරිසදම්ම සාරථි” නම් වේ.

සත්ථා නම් වන සේක.

දෙවියන්ට හා බ්‍රහ්මයන්ට විසඳිය නොහැකි ගැටලු වූ කල ඒවා විසඳීමේ කාර්යය බුදුරදුන් විසින් ඉටු කරන ලදී. එනිසා බුදුරදුන් මොවුන්ට අගනා ගුරුවරයෙකු විය. එසේම ආත්මවාදය හා අනාත්මවාදය පිළිබඳව මිනිසුන් තුළ පැවැති ගැටලුව විසඳූ හෙයින් මිනිසුනට ද ගුරුවරයෙකු විය. එසේම ජනයා සසර කතරින් මුදවා ගැනීට සමත් වූ බැවින් ද බුදුරදුන් අසහාය ගුරුවරයෙක් විය. මෙලෙසින් බුදුරදුන් දෙව්, බඹුන් හා මිනිසුනට ගුරු හෙවත් ශාස්තෘ වූ බැවින් “සත්ථා” නම් වෙයි.

බුද්ධ නම් වන සේක.

දැන ගත යුතු දෙය දැන ගත් බැවින් ද, අවබෝධ කළ යුතු දෙය අවබෝධ කළ බැවින් ද, වැඩිය යුතු ධර්ම (බෝධිපාක්ෂික දහම්) වැඩූ බැවින් ද, “බුද්ධ” නම් වේ. බුදුරදුන් විසින් දැන ගත් දෙය ලෝකයාට පැවසු අතර එය දෙවි බඹුන් ආදී කිසිවෙකුටවත් වෙනස් කළ නොහැකි බැවින් “න්‍යායාචාර්ය” යන නාමය ද යෙදෙයි.

මතු සම්බන්ධයි