Print this Article


දීපප්පසාදක මිහිඳු මහ රහතන් වහන්සේ

දීපප්පසාදක මිහිඳු මහ රහතන් වහන්සේ

වර්තමාන ශ්‍රී ලංකාවට වඩා ඉපැරැණි ශ්‍රී ලංකාව ඉතා සෞභාග්‍ය සම්පන්න රටක් වූ බව ඓතිහාසික වාර්තා හා පුරාවිද්‍යාත්මක සාධකවලින් තහවුරු වන කරුණකි. සෞභාග්‍යය, සශ්‍රීකත්වය, ශ්‍රී විභූතිය, සමගිය හා ඒකාත්මික බව මෙන් ම, සන්තුෂ්ටිය ද එවකට මෙහි සුරැකී තිබූ බව කීම නිවැරැදි ය.

මේ සියල්ල ක්‍රියාත්මක කරන ලද්දේ එකල විසූ දූරදර්ශී රජවරුන්ගේ සක්‍රීය දායකත්වය, බුද්ධිය හා කැපකිරීම නිසා ය.

දේවානම්පියතිස්ස රාජ්‍ය අවධියේ සිට අනුක්‍රමික ව ගොඩනැඟුණු ආර්ථික, දේශපාලනික, සාමාජික හා සාමයික සංවර්ධනයකට ශ්‍රී ලාංකිකයන් උරුමකම් කී බව ද සත්‍යයකි. මෙරට වැසියන් තම මූල්‍යමය ගනුදෙනු සඳහා රන් මසු භාවිත කළ බව අටුවා ග්‍රන්ථවල මෙන්ම, වංශකථාවන්හි සඳහන් වී තිබීම ම මෙයට කදිම සාක්ෂියකි. මෙහි දී වඩාත් වැදගත් කාරණය වන්නේ මෙබඳු සංවර්ධනයකට අවශ්‍ය දැනුම හා උපායශීලී බුද්ධිය ලැබුණේ කෙසේ ද යන්න සලකා බැලීමයි. මෙම කාරණයේ දී කවරෙකුගේ වුව ද, නිතැතින්ම සිහියට නැගෙන අපූර්ව ඓතිහාසික පුද්ගල බලවේගය වන්නේ අනුබුද්ධ මහා මහින්ද මහරහතන් වහන්සේ ය. ඓතිහාසික ලේඛනවලට අනුව දේවානම්පියතිස්ස රජු මිය යාමෙන් අනතුරුව රාජ්‍යයට පත් වූ ඔහුගේ බාල සොහොයුරු උත්තිය රජතුමාගේ කාලයේ දී උන්වහන්සේ චේතියගිරියෙහි වස් වසා සිටි සමයෙහි දී හැටවසක් ආයු වළඳා අදවන් දිනෙක පිරිනිවන් පෑහ. එම පරිනිර්වාණය එදා ශ්‍රී ලාංකිකයාගේ හදවත්වලට අනුවේදනීය සිදුවීමක් විය. එම ඓතිහාසික සිදුවීම මෙවන් දිනෙක සිහිපත් කිරීම කෘතවේදිත්වයේ සලකුණක් වේ.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය මැනවින් සටහන් කොට තැබූ වටිනා ග්‍රන්ථයක් වන මහාවංසය එකී පරිනිර්වාණය පිළිබඳ වාර්තා කොට ඇති ආකාරය මෙසේ ය. දේවානම්පියතිස්ස රජතුමාගෙන් පසුව ඔහුගේ බාල සොහොයුරු වූ ඉතා ප්‍රකට උත්තිය කුමරු ඉතා මැනවින් රාජ්‍යය කළේ ය. එකල මහා මහින්ද නම් වන ලංකා භික්ෂු ශාසනයේ මහා කීර්තිධර අනුබුදුවරයන් වහන්සේ පර්යාප්ති, ප්‍රතිපත්ති හා ප්‍රතිවේධ ශාසනය මැනවින් ශ්‍රී ලංකාවෙහි බබුළුවා, ලංකාවේ දියුණුවට බොහෝ දේ කරමින්, චේතිය පර්වත විහාරයෙහි වාසය කරද්දී වර්ෂ හැටක් ආයු වළඳා ඒ උත්තිය රජතුමාගේ අභිෂේකයෙන් අට වැනි වර්ෂයෙහි අස්සයුජ මාසයෙහි හෙවත් වප් මාසයෙහි ශුක්ල පක්ෂයෙහි අටවැනි දින පරිනිර්වාණයට පත් වූ හ. එය ඇසූ රජතුමා ඉතා ශෝකයට පත්ව බොහෝ සේ හඬා වැළපී තෙරුන් වැඳ, සුවඳ තෙල් ගැල්වූ රන් දෙනක තෙරුන් වහන්සේගේ දේහය තබවා, අලංකාර කරන ලද ස්වර්ණමය කුළුගෙයක මනා කොට තබවා, එම කුළුගෙය ගෙන්වා, නන් දෙසින් පැමිණි ජන සේනාව ද, මහත් වූ බල සේනාව ද, සමගින් අනේකවිධ පූජා සත්කාර කරමින්, මඟ සරසවා, නගරයෙන් නගරයට ගෙනගොස් අලංකෘත රජ වීථි ඔස්සේ මහාවිහාරයට පමුණුවා, එහි පඤ්හම්බමාලක නම් ස්ථානයෙහි එම රන්කුළුගෙය සහිත දේහය දින හතක් තැන්පත් කොට තැබවී ය. එපමණක් නොව මහා විහාරය ද, ඒ අවට යොදුන් තුනක් ද තොරණ, ධජ පතාක, පුෂ්ප, සුවඳවත් පුන් කලස් ආදියෙන් අලංකාර කරවී ය. රජුගේ අනුහසින් ද, දෙවියන්ගේ අනුහසින් ද මුළු ලක්දිව ම එලෙස ම අලංකෘත වූයේ වෙයි. රජතුමා මෙසේ නන්වැදෑරුම් පුද සත්කාර කොට නගරයෙහි නැගෙනහිර දෙස පිහිටි බද්ධමාලකයෙහි චිතකයක් කොට, මහාථූපය වටා ප්‍රදක්ෂිණා කරවා එම මනරම් කුළුගෙය ගෙනවුත් චිතකයෙහි තබා අවසන් සත්කාර කළහ. තව ද, උත්තිය රජතුමා ධාතු නිදන් කොට එහි චෛත්‍යයක් ද කරවී ය. ධාතුවලින් භාගයක් ගෙන ඒවා තැන්පත් කොට සෑගිරියෙහි ද අවට සෙසු විහාරස්ථානවල ද චෛත්‍යය කරවී ය. උන්වහන්සේගේ දේහය ආදාහනය කළ ස්ථානයට ඉසිභූමංගන යැයි කියනු ලැබේ.

මහාවංසයෙහි සඳහන් වන එකී සිදුවීම වූකලී එවක ශ්‍රී ලංකාවේ භික්ෂු භික්ෂුණී සමාජයට පමණක් නොව, රජ ඇමැති සෙන්පති පිරිස් ඇතුළුව සමස්ත ජන සමාජයටම දුර්දශාපන්න කල දසාවක් උදා කළ දින කිහිපයක් පිළිබඳ සමරු සටහනකි. ඒ සිංහල දේශයට සම්ප්‍රාප්ත වූ අද්විතීය හා අසහාය උතුම් අනුබුදුවරයන් වහන්සේගේ පරිනිර්වාණය නිසාවෙනි. මෙරට වැසියාගේ සිත් සතන් කුළුණු වදනින් සැනසූ එවකට විසූ ප්‍රථම මහරහතන් වහන්සේගේ අභාවය නිසාවෙනි. දැහැමින්, සෙමෙන් රට පාලනය කිරීමෙහි න්‍යාය හා මග පෙන්වීම කළ දූරදර්ශී යතිවරයාණන් වහන්සේගේ අහිමි වීම නිසාවෙනි. ලක් දෙරණ බතින් බුලතින් සශ්‍රීක කිරීමට ඉවහල් වූ සුවිසල් වැව් පොකුණු, ඇළ දොළ, මං මාවත් ඉදි කිරීමටත්, මිනිස් හදවත් සොම්නසින් පිරවීමටත්, අහස සිඹින දාගැබ්, වෙහෙර විහාර හා විස්මිත නිමැවුම් ඉදි කිරීමටත් මඟ පෙන්වූ මහා බුද්ධිමතාණන් වහන්සේගේ සමුගැනීම නිසාවෙනි. නිල්වන් දිය දහරින් පිරි වැව් පොකුණු, රන්වන් වී කරලින් බර වූ කෙත්වතු, මල් පල සපිරි තුරුලතා, සුදු පැහැයෙන් වොරඳන විස්මිත දාගැබ්, සුදෝසුදු වතින් සැරසුණු යහගුණැති මිනිසුන් සහිත පරිසරයකින් යුතු කවර නම් භූමි භාගයක් මිනිසුන්ගේ මනදොළ නො සපුරා ද? මෙබඳු පරිසරයක් තම වාසයට සකස් කරදුන් උතුමන් වහන්සේ නමක් දැයෙන් සමුගැනීම එවක ජනයාගේ හදවත් කෙබඳු කම්පනයකට පත් කරන්නට ඇද්දැයි ඔබට සිතාගත හැකි ය.

සමස්ත දිවයිනටම අමරණීය සේවාවක් සිදුකළ බැවින් ' දීපප්පසාදක' යන විරුද නාමයකින් පිදුම් ලැබූ මිහිඳු මහරහතන් වහන්සේ වර්ෂ හැටක් තරම් වන මුහුකුරා ගිය වයසක දී ජීවිතයෙන් සමුගැනීම රාජ්‍ය තන්ත්‍රයට මෙන් ම, රටවැසියන්ට ද වඩාත් සංවේගදායක කරුණක් විය. මහාවංසය වාර්තා කරන පරිදි මෙම සිද්ධියෙන් උත්තිය රජතුමා බලවත් ලෙසම සංවේගයට පත්විය. ඔහු එම දින කිහිපය බලවත් ශෝකයෙන් මෙන්ම හැඬූ කඳුළින් කල් ගෙවූ බව මහාවංසයෙහි සඳහන් වේ. එහෙයින්ම උන්වහන්සේ වෙනුවෙන් තමාට කළහැකි උපරිම සත්කාර කිරීමට ඔහු පෙළඹුණි. තමාට පෙර සිටි දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ සිටම දේශ මායිම්, කුල ගෝත්‍ර ආදී කිසි භේදයක් නොමැතිව පිරිසුදු මානව හිතවාදයක් සහිතව බුදු දහමින් සංයමයට පත් කාය, වාග් සංවරයකින් ද, අර්හත්ව පදප්‍රාප්තිය දක්වා දියුණු කළ අධ්‍යාත්මයකින් ද යුතුව මෙරට යහපත සඳහා ක්‍රියාකරන අයුරු ඇස් පනාපිට දුටු පුද්ගලයෙකු වශයෙන් උත්තිය රජුට එබඳු සංවේගයක් ඇතිවීම ස්වභාවික සංසිද්ධියකි. එය එලෙස ම මෙරට පොදු ජනයාට ද තිබූ බවට කිසිදු සැකයක් නැත.

මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමා සහ උත්තිය රජුගේ කාල සීමාවේ දී ශ්‍රී ලංකාවට සකසා දුන් රාජ්‍ය පාලන ප්‍රතිපත්තිමය පදනම කිසිවෙකු විසිනුදු ප්‍රතික්ෂේප කළ නොහැකි තරමට ආකර්ශනීය වූවක් විය. කාවන්තිස්ස, දුටුගැමුණු, විජයබාහු, පරාක්‍රමබාහු ආදී නරශ්‍රේෂ්ඨයන් විසින් පමණක් නොව එළාර වැනි දමිළ පාලකයන් පවා එම පාලන ප්‍රතිපත්ති දිගින් දිගටම බහුමානව ක්‍රියාත්මක කළ බව සඳහන් වේ. මිනිසාට පමණක් නොව සතා සිවුපාවාට ද, ගහ කොළ ඇළ දොළ ගංගාවනට ද හිතකර වූ හා සමස්ත මානව වර්ගයාටම සැනසුම කැඳවන බාහිර, අධ්‍යාත්මික දෙ අංශයම දියුණු කරවන ක්‍රමවේදයක් මිහිඳු මාහිමියෝ මෙරටට හඳුන්වා දුන්හ. සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවෙහි සුස්ථිර ලෙස ස්ථාපනය කරනු වස් ශ්‍රී ලාංකික ආකෘතියකින් යුතුව එය හඳුන්වා දීමට උන්වහන්සේ සමත් වූ හ. අරිට්ඨ ඇමති ඇතුළුව මෙරට දරුවන් සසුන්ගත කිරීමෙන් පුරුෂ පාර්ශ්වය වශයෙන් ද, මහානාග නම් යුවරජුගේ අගමෙහෙසිය වූ අනුලා දේවිය ඇතුළු පන්සීයක් කාන්තාවන් පැවිදි කිරීමෙන් ස්ත්‍රී පාර්ශ්වය වශයෙන් ද රටට කළයුතු අර්ථචරියාව කිරීමේ කාර්යභාරය ඔවුනට පැවරූහ. එම ක්‍රියාදාමය අද දක්වාම අඛණ්ඩව ශ්‍රී ලංකාද්වීපය තුළ ක්‍රියාත්මක වීමෙන් උන්වහන්සේගේ දූරදර්ශී බුද්ධිය ප්‍රදර්ශනය වේ.

අදටත් බෞද්ධයන් මිහිඳු හිමියන් වැඩ සිටි මිහින්තලා කඳු මුදුනේ පිහිටි ඓතිහාසික පුදබිම දැක බලා ගැනීමට, 1840 කින් යුතු පියගැට පෙළ නැග ඉමහත් භක්තියෙන් මිහින්තලයට පැමිණෙනුයේ උන්වහන්සේට දක්වනු ලබන උපහාරයක් වශයෙනි. මහාවංසය හා දීපවංසය සඳහන් කරන පරිදි මිහිඳු හිමියන්ට ලංකාවට වඩින ලෙස ඉන්ද්‍ර හෙවත් ශක්‍රයා විසින් ද ආරාධානා කරන ලදී. ඒ අනුව එය අශෝක අධිරාජයාගේ මෙහෙයවීම පමණක් නොව, දේවාශීර්වාදය හා රැකවරණය ද සහිතව සිදුවූවකි. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණවල නියුතු වූ නොයෙක් විද්වතුන් විසින් පෙන්වා දෙන ලද පරිදි මනා සැලසුම්කරණයක් සහිත එවක පැවති අනුරාධපුර පූජා නගරය ඉදිකිරීමේ සැලසුම හා උපදෙස් සම්පූර්ණයෙන් ම ලබා දෙන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. එපමණක් නොව අදටත් අපහට දැකගත හැකි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, මහමෙවුනා උයන, කාලපාසාදය, ලෝහපාසාදය, ථූපාරාමය, මහාවිහාරය, ඉසුරුමුණිය, කණ්ඨක චේතිය හා ඒ අවට හැට අටක් පමණ වූ ලෙන්, තිස්සවැව ආදි නොයෙක් වැව් පොකුණු ආදිය උන්වහන්සේගේ මග පෙන්වීම මත ඉදි වූ ඒවා ය. එපමණක් නොව මෙම දිවයිනෙහි බුදු දහම ද, කලාව ද සාහිත්‍යය හා ගෘහනිර්මාණ ශිල්පය ද විධිමත් කරන ලද්දේ මිහිඳු මාහිමියන් විසිනි. ඇතැම් විචාරකයන් දත්ත ගෙනහැර දක්වමින් මිහිඳු මාහිමියන් හඳුන්වා දෙනුයේ සිංහල සාහිත්‍යයේ පියා ලෙස ය.

සුපිරිසුදු ථේරවාදී බුදු දහම පැතිර ගොස් තිබූ ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව වැනි රටවල බුදු දහම නැතිවීමටත්, ශ්‍රී ලංකාව තුළ අද දක්වාම එය නොනැසී සුරක්ෂිත වීමටත් බලපෑ හේතු සාධක කවරේද යන්න විමසන කවරෙකුට වුවත් විවිධ අදහස් මතුවිය හැකි ය. වඩාත් පුදුම සහගත කරුණ වන්නේ එකී හේතු ලංකා සම්බුද්ධ ශාසනයටත් එලෙසම බලපෑ නමුත් මෙරට බුදුදහම කෙලෙසක හෝ සුරක්ෂිත වී තිබීමයි. ශ්‍රී ලංකාද්වීපයේ බුදුදහම සුරක්ෂිත වීමට ප්‍රධානතම හේතුව වන්නේ අදවන් දිනෙක පිරිනිවන් පා වදාළ අනුබුද්ධ මහ මිහිඳු මහරහතන් වහන්සේ විසින් ඉතා දූරදර්ශී ලෙස ශ්‍රී ලාංකේය බුදුදහමට සකසා දුන් අත්තිවාරම බව මෙහි ලා උපහාර පූර්වකව සඳහන් කළ යුතු ය. මෙයින් සනාථ වන අනෙක් කරුණ වන්නේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේ

විසින් තම ශාසනය ශ්‍රී ලංකාද්වීපයෙහි පවතින බවට ශක්‍ර දේවේන්ද්‍රයා අමතා කළ ප්‍රකාශයේ සත්‍යතාවයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සහ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අදවන් දිනෙක දැක්විය හැකි පරම උපහාරය වන්නේ ධර්මචරියාවෙහි නිරත වීමෙන් හා නිවන් මග හෙළි කර ගැනීමෙන් උන්වහන්සේලාගේ අරමුණ හා විශ්වාසය යථාර්ථයක් බවට පත් කිරීමයි.