[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රද්ධාවෙන් පිරි සිත උදාර ය

ශ්‍රද්ධාවෙන් පිරි සිත උදාර ය

ශ්‍රද්ධාවෙන් පිරුණු සිත උදාර ය. එබඳු ජීවිතයක වටිනාකම පෙන්වා දෙමින් වදාළ බුදුබණ අනන්ත ය. බුදුපියාණන් වහන්සේ ශ්‍රද්ධාව කොටස් දෙකකට බෙදූහ. එනම් අකාරවති සද්ධා සහ අමූලිකා සද්ධා යනුවෙනි.

ත්‍රිවිධ රත්නය කෙරෙහි කරුණු කාරණා මැනවින් තේරුම්ගෙන ඇති කර ගන්නා ශ්‍රද්ධාව අකාරවති සද්ධා නම් වේ. අන්ධ භක්තිය හෝ කරුණු කාරණා නොදැන ඇති වන පැහැදීම අමූලිකා සද්ධාව වන්නේ ය. මේ කාරණා දෙකම පුද්ගල සන්තානයේ පහළ වන්නේ ය. කෙසේ වුව ද ශ්‍රද්ධාව යනු නිවන් මගේ දොරටුවයි. එසේත් නොමැති නම් ඒ සඳහා වන ව්‍යායාමයේ පළමු සිතිවිල්ලයි. පළමු බීජයයි. ඒ පිළිබඳ මනරම් දෙසුමක් කසීභාරද්වාජ සූත්‍රයේ දක්නට ලැබේ. එහි අන්තර්ගතය මොනතරම් අගනේදැයි විමසා බලමු.

එක් කලෙක බුදුපියාණෝ මගධයේ ඒකනාලා නම් බමුණුගම වැඩ විසූ සේක. එකල්හි කසීභාරද්වාජ නම් බමුණු පුත්‍රයෙක් තමන්ගේ කුඹුරෙහි නගුල් පන්සියයක් පමණ යොදා සී සෑමට සූදානම් වෙයි. එ දවස පෙරවරු කාලයෙහි බුදුපියාණෝ කසීභාරද්වාජ බමුණාගේ කුඹුර යම් තැනක ද එතනට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ එලෙස වඩින විට, කුඹුරෙහි වැඩ කළ ඇත්තෝ ආහාර අනුභව කරමින් සිටියහ.

එ කල්හි බුදුරජාණන් වහන්සේ බමුණාට පෙනෙන සේ වැඩසිටි සේක. ඒ දුටු බමුණා බුදුරදුන් හමුවට ගොස් මෙසේ කී ය.

ශ්‍රමණය, මම වූ කලී සී සාන්නේ ද වෙමි. වපුරන්නේ ද වෙමි. එසේම සී සා , වපුරා ලබන දේ අනුභව කරන්නෙමි. ඉදින් ශ්‍රමණය, නුඹත් සී සෑම ද කරන්න. වැපිරීම ද කරන්න. එසේ කොට ලබන දේ අනුභව කරන්න. එසේ නොකොට අනුභව නොකරන්න.

කිසිවක් නොකර හිඳ, නිකම් ද ඉදන්, අනුන්ගෙන් ලැබෙන දේ අනුභව නොකරනු මැනවැයි යන හැඟීමක් මේ තුළින් ගම්‍යමාන වේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ බමුණාට ලබාදුන් පිළිතුර මොනතරම් වටින්නේදැයි බලන්න.

‘අහම්පි ඛො කසාමි ච වපාමි ච, කසිත්වා ච, වපිත්වා ච භුඤ්ජාමිති’

බමුණ මම ද, සී සා වපුරා අනුභව කරමි. එවිට බමුණා අසන්නේ , නුඹ වහන්සේ සන්තකයේ වියගහක්, නඟුලක්, සීවැලක්, කෙවිටක් , ගොනෙක්වත් දක්නට නැත. එසේ හෙයින් කෙසේනම් , සී සා, වපුරා අනුභව කරන්නේ ද? එවිට බුදුරදුන් වදාළේ මෙබඳු දහමකි.

සද්ධා බීජං තපෝ වුට්ඨි
පඤ්ඤා මේ යුග නංගලං
හිරි ඊසා මනෝ යොත්තං
ඵාලපාචනං

ශ්‍රද්ධා තොමෝ මාගේ බිජුවට වේ. තපස වර්ෂාව වේ. ප්‍රඥා තොමෝ විය ගස සහ නගුල වේ. ලජ්ජා තොමෝ නගුලිස වේ. සිත හෙවත් චිත්ත සමාධිය යොත වේ. සති හෙවත් සිහිය මාගේ සීවැල හා කෙවිට වේ.

මේ දහම මොනතරම් අපූරුද බලන්න. බුදුන් වහන්සේ දේශනා කරන අයුරු ශ්‍රද්ධාව කුඹුරෙහි වපුරන බීජය වන්නේ ය. තපස හෙවත් පැවිදි දිවිය වැස්ස වන්නේ ය. ප්‍රඥාව වියගහ සහ නගුල වන්නේ ය. අනතුරුව බුදුරදුන් වදාරන්නේ, බමුණ, මා තුළ පුරුදු කරන ලද කාය සුචරිතය ඇත්තේ ය . වාග් සුචරිතය ඇත්තේ ය. සිව්පසය වළඳන්නේ යැපීම පිණිස පමණි. සත්‍යය නමැති වචනයෙන් තෘණච්ඡේදනය කරන්නෙමි. අර්හත්ඵල විමුක්තිය මාගේ මිඳීම වන්නේ ය.

එසේම බමුණ, කායික ,වාචසික සංවරය සහිත වීර්යය මා නිර්වාණයට පමුණු වන්නේ ය. එසේ ගිය තැන ශෝක නො කරන්නේ ය. එය අන් කිසිවක් නොව නිවනයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිඳුණු තැන නිවනයි. තව ද බුදුන් වහන්සේ වදාරන්නේ, බමුණ, මෙසේ මවිසින් සාන ලද, වපුරන ලද කුඹුරෙහි අමෘතය නමැති ඵල ඇති වේ. මා විසින් සාන ලද කුඹුරෙහි සියලු දුක් නැති කරන්නේ ද වෙයි.

මෙම දේශනාව අසා අවසානයේ කසීභාරද්වාජ බමුණා මහත් වූ රන්තලියක බහා අමෘතඵලය දෙන්නා වූ බුදුරදුන්ට කිරි බතක් පිළිගැන්වී ය. එවිට බුදුරදුන්ගේ ඉවසීම වැදගත් ය. උන්වහන්සේ වදාරන්නේ, බමුණ ගාථා කියා (බණ කියා) ලබන ලද මේ කිරිබත වැළඳිය යුතු නොවේ. එය ඔබ ශ්‍රද්ධාවෙන් දෙන්නක් නොවේ. ගාථා කියු නිසා දෙන්නෙකි. එය වැළඳීම අනුදත් ක්‍රමය නොවේ. එබැවින් බමුණ ඔය කිරිබත මා බැහැර කරමි.අකැප දේ බැහැර කොට දැහැමින් ලැබෙන දේ පමණක් වළඳමි. සියලු ගුණයෙන් යුක්ත වූ, සංසුන් අත් පා ඇති, සැක සංකා නැති, ක්ෂය කරන ලද ආශ්‍රවයන් ඇති, රහත් වූ භික්ෂු ගණයා කෙරෙහි ඇත්තේ පුණ්‍යක්ෂේත්‍රයකි. බුදුපියාණෝ මෙලෙස දම් දෙසු සේක. එවිට බමුණා අසන්නේ,

එසේනම්, ස්වාමීනි , මේ කිරිබත කාට නම් මා දෙන්නේද? එවිට බුදුරදුන් වදාරන්නේ, බමුණ ඔය කිරිබත වැළඳීමට මේ ලොව තුළ කිසිවෙක් සමර්ථ නොවන බවයි. එබැවින් එය සතුන් නැති. නිල් තණකොළ නැති තැනකට හෝ සතුන් නැති ජලයට හෝ දමන්න. බමුණා එසේ ම කළේ ය. කිරිබත ජලයට දැමු විට මහත් ශබ්දයක් සහිත දුමාරයක් නැංගේ ය. එනම්,

අථ ඛො සො පායාසං උදකෙ පක්ඛීත්තො විච්චිටායති චිටිචිටායති සන්ධූපායති සම්පධූපායති.

එලෙස චිටි චිටි ශබ්දය නගමින් දුම් දමන්නට විය. එසේ නැගෙන දුම දැඩිවන්නට විය. මෙය දුටු බමුණා අතිශයින් ම සංවේගයට පත් විය. හෙතෙම බුදුරජාණන් වහන්සේ වෙත එළැඹ පා අල්ලා වැඳගෙන මෙසේ කී ය. ස්වාමීනි, නුඹ වහන්සේගේ දෙසුම මනරම් ය. ඔබ වහන්සේ ගේ දහම ඉතා යහපත. මුනින් අතට තිබු භාජනයක් උඩු අතට තබන්නේ ද, වැසී තිබුණු යමක් විවර කරන්නේ ද, මං මුලා වූවකුට යම්සේ මාර්ගය කියන්නේ ද, ඇස් ඇත්තෝ රූප දකින්නෝ ද, අඳුරේ යන කල තෙල් පහනක් දල්වන්නේ ද, එපරිද්දෙන් තථාගතයන් වහන්සේ දම් දෙසූ සේක. මම බුදුන් වහන්සේ ද, ධර්මය ද, භික්ෂු සංඝයා ද සරණ යෙමි. එසේම මම බුදුන් වහන්සේගේ ශාසනයේ පැවිද්ද සහ උපසම්පදාව ද ලබන්නෙමි.

එලෙසම කසීභාරද්වාජ බමුණු තෙමෙ පැවිද්ද සහ උපසම්පදාව ලැබුවේ ය. උපසම්පදාවෙන් වැඩිකල් නොගොස් ම හෙතෙම පැවිද්දෙහි මුඛ්‍ය පරමාර්ථය වන අර්හත්ඵලය නමැති නිවන සාදා ගත්තේ ය. කෙනෙකු ශ්‍රද්ධාවෙන් දහම කෙරෙහි යොමුවන අයුරු මේ තුළින් මොනවට පෙනේ.

කසීභාරද්වාජ සූත්‍ර දේශනාවෙන් විස්ථාරණය වන පරිදි වැදගත් දහම් කරුණු රැසක් පැනේ. එනම්,

* ශ්‍රද්ධාව ඇති තැන නිවනට යන මාර්ගය විවෘත වන බව ය.

* ඉඳුරන් දමනය කිරීම නිවනට යාමට තවත් පහසුවක් වන බව ය.

* වීර්ය වැඩීම නිවන් මගට යාම ඉක්මන් කරන බව ය.

* ගාථා කියා හෝ, බණ කියා හෝ ලබන සිව්පසය අර්ථවත් නොවන බව ය.

* ත්‍රිවිධ රත්නය කෙරෙහි පැහැදීම තුළින් දෙන දානය උතුම් වන බව ය.

* ශ්‍රද්ධාව නිවන් දක්නට යන ගමනේ පළමු බීජය වන බව ය.

* ආශ්‍රවයන් දුරුකළ භික්ෂුව පුණ්‍යක්ෂේත්‍රයක් වන බව ය.

ගිහිගෙය හැරදමා පැවිදි වීමේ මුඛ්‍ය අරමුණ නිවන වන බව ය.

පැවිද්ද, උපසම්පදාව සහ රහත් ඵලය භික්ෂු දිවියේ උතුම් අවස්ථා වන බව ය.

මේ ආදි වශයෙන් කසීභාරද්වාජ සූත්‍ර දේශනාව තුළින් වටිනා දහම් කරුණු රැසක් අනාවරණය වන්නේ ය. ගිහි ජීවිත ගෙවන ලෞකික දිවියක මූලික අරමුණ ජීවත්වීමයි. ඒ සඳහා කෘෂිකර්මාන්තය වැනි දැහැමි රක්ෂාවක නිරත විය යුතුයි. එදා ඉන්දියානු සමාජයේ කෘෂිකර්මාන්තය වූ කලී ප්‍රධාන ජීවනෝපායන ක්‍රමයයි. බුදුරදුන් කසීභාරද්වාජය බමුණු පුත්‍රයාගේ කුඹුරට යන්නේ ද (වප්පකාලේ ) සී සා වපුරන අවස්ථාවේ දී ය . එම අවස්ථාවේ ඇති වු සංවාදය ලෝවැසි සැමට වැදගත් වූ ආකාරය ඉහත දේශනාවෙන් ප්‍රකට වන්නේ ය.

එබැවින් කෙනෙකු තුළ තිබිය යුතු වටිනාම සම්පතකි, ශ්‍රද්ධාව . එය නොමැති නම් කෙනෙක් පැහැදීම ඇති කර ගන්නේ නැත. ශ්‍රද්ධාවෙන් පිරුණු සිත නිවනට යන මාර්ගය විවෘත කර දෙන්නේ එබැවිනි. අන්ධකාරයෙන් ආලෝකයට පමුණුවන්නේ ද වේ. හැම හදවත් තුළම ශ්‍රද්ධාව උපදවා ගන්නේ නම්, එම දිවිය යහපත් වන්නේ ය.

මේ ලෝකයෙහි පුද්ගලයෙකුට තිබෙන ශ්‍රේෂ්ඨතම වස්තුව ද ශ්‍රද්ධාව වන්නේ ය. ශ්‍රද්ධාව චතුර්විධ (කාම ඕඝය,භව ඕඝය,දිට්ඨි ඔඝය,අවිජ්ජා ඔඝය) ඕඝය තරණය කිරීමටත් අවශ්‍ය වන්නේ ය. ඒ අනුව ශ්‍රද්ධාව යනු පුණ්‍ය ක්ෂේත්‍රය නමැති කුඹුරෙහි වපුරන බීජයකි. දක්ෂ ගොවි මහතෙකු තම කුඹුරෙහි වී වපුරා එහි අස්වනු නෙළා ගන්නේ යම් සේ ද, එපරිද්දෙන් පින්කෙත තුළ ශ්‍රද්ධාව නමැති බිජු වපුරා නිවන නමැති උතුම් ඵලය නෙළා ගත යුතු ය. සැමට තෙරුවන් සරණයි.

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.36 ට ලබයි. එම දා අපර භාග 11.56 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 28 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 5වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 05

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 13

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]