Print this Article


ගරහදින්න කතා වස්තුව: තුන්කල් දුටු මුනිඳු

ගරහදින්න කතා වස්තුව:

තුන්කල් දුටු මුනිඳු

‘යථා සංකාරධානස්මිං
උජක්‍ධිතස්මිං මහාපථෙ,
පදුමං තත්ථ ජායෙථ
සුචිගන්ධං මනොරමං’

මහමඟ දමනලද කසළ ගොඩක, සුවඳැති, සිත්කලු පියුමක් යම් සේ හටගනී ද,

‘එවං සංකාරභූතෙසු
අන්ධභූතෙ පුථුජ්ජනෙ,
අතිරොචති පඤ්ඤාය
සම්මා සම්බුද්ධසාවකො’

එසේම කසළ ගොඩක් බඳු වූ, නුවණ නැති පුහුදුන් (අන්ධ බාල මිනිසුන්) ජනයා අතුරෙහි උපන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක (රහත්) තෙමේ නුවණින් (ගුණයෙන්) අන්ධ බාල (පෘථග්ජන) මිනිසුන් ඉක්මවා බබළයි.

“මහ මග දමා එකතු වූ කසළ ගොඩෙහි ද මනා සුවඳැති සිත්කලුවූ පියුම් උපදනේ යම් සේ ද, කසලගොඩක් බඳු, නුවණ නැති, පෘථග්ජනයා අතර උපන් බුද්ධශ්‍රාවක තෙමේ, තම නුවණින් කාමයෙහි ආදීනවත්, නෙක්ඛම්මයෙහි (පැවිදිවීමෙහි) ආනිශංසත් දැක පැවිදිව අධිශීල, අධිචිත්ත, අධි ප්‍රඥා, විමුක්ති ඥාන දර්ශන හා විමුක්ති විසුද්ධිය (නිවන) සම්පූර්ණකොට සාමාන්‍ය ලෝකයා ඉක්මවා අරහත්ව (නිකෙලෙස්ව) බබළන්නේ ය.” යනු මේ ගාථා දෙකේ ඉතාම කෙටි අදහසයි. මේ ගාථා දෙක දේශනා කරන්නට හේතු වූ කරුණ මෙසේ ය.

භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන ආරාමයෙහි වැඩ වසන සමයෙහි මෙම නගරයෙහි ම බෞද්ධ උපාසක සිරිගුත්ත හා නිගණ්ඨනාථ උපාසක ගරහදින්නයැයි ධනවත් මිතුරෝ දෙදෙනෙක් වූ හ. ගරහදින්න, තුන්කල් දන්නා අපේ ශාස්තෘ හා ශ්‍රාවකයෝ ඇසුරු කිරීමට එන්න යැයි සිරිදත්තට නිතර පෙරැත්ත කළේ ය. එපමණක් නොව, ඔබට ශ්‍රමණ භවත් ගෞතමයන්ගෙන් ඇති ප්‍රයෝජන කවරේදැයි? විමසන්නට විය. සිරිගුත්ත නිගණ්ඨයන්ගේ ඇති පුහු බව දන්නාමුත්, එය සඟවා දිනක් හොඳයි, හෙට දවසේ අප නිවසේ දානයකට මගේ වචනයෙන් ඔබ ම ගොස් ආරාධනා කරන්නැයි කියා සිටියහ. ගරහදින්න එදා ම ගොස් වැඳ නිගණ්ඨයන් වෙත ආරාධනාව කළහ. නිගණ්ඨයෝ බලවත් සේ සතුටුව ඉටා තිබූ කරුණු ඉටුවූයේ යි කියන්නට විය. සිරිගුත්ත නිවෙස කොටස් දෙකකින් යුත් විශාල ගෙයකි. ගෙවල් දෙක අතර විශාල වළක් කපා, අසූචි පුරවා, වළෙහි කෙළවර පුටු තබා පසුපස පාද දෙක ලනු වලින් එල්ලා ඇතිරිලි එලා වළ නො පෙනෙන පරිදි කළේ ය. ලොකු සැළි ගෙන කටවල් කෙසෙල් කොළ වලින් බැඳ ඒවායෙහි ඉඳුල් තවරා ගෙයි පිටිපස තබ්බවා හැම තැන බත් ඇට, කැඳ, ගිතෙල්, හකුරු, කැවුම් කෑලි විසුරුවා හැරියේ ය. ගරහදින්න ද උදෑසනම දානයට සූදානම බැලීමට අවුත් සතුටුව ස්තූති කොට ගියේ ය.

නියමිත වෙලාවට පන්සියයක් නිගණ්ඨ පිරිස දානයට වැඩිය විට පෙරමගට ගිය සිරිදත්ත මගේ යහළු ඔබලා තුන්කල් දකින උතුමන් බව මට කියා ඇත. එහෙයින් එසේ දකින්නේ නම් පමණක් ගෙට ඇතුල් විය හැකි බවත්, නො දන්නේ නම් ඇතුල් නොවිය යුතු බවත්, ඇතුල් වුවත් කිසිවක් නො ලැබේ යැයි ද කී හ. ඇතුල් වුවොත් වළෙහි වට්ටවා තලන්නේ යයි සිතා සිටි සිරිගුත්ත, සියල්ල එකවර වාඩි වීම (හිඳිනවච) අපගේ ආචාර ධර්මයක් බවත් දැනුවත් කර සියල්ලෝ ඇතුළට ගෙන එකවර වාඩිවනවාත් සමගම ඇතිරිලි ටික ඉවතට ගැනීමටත් ලනු කැපීමටත් සේවකයන්ට උපදෙස් දී තිබුණි. සියල්ලෝ පැමිණ එකවර වාඩි වෙද්දී පුටු පෙරළී නිගණ්ඨයෝ අසූචි වලට වැටුණෝ ය. පසුව දොරවල් වසා තුන්කල්හි වනදේ තොපි දැක්කේදැයි අසමින් ඇති තරම් තඩිබා අනතුරුව දොරවල් හැර දුවනතෙක් ගැසී ය. ගරහදින්න නිවසට දුව ගිය ඔවුහු උපාසකය, තෝ අප නසන ලද්දමෝයි හඬමින් කෑගසන්නට විය.

වැන්ද පමණින් පින් ලැබෙන මගේ පින් කෙත්වලට සිරිගුත්තය, කළ නරක වැඩය ගැන රජුට පැමිණිලි කොට කහවනු දහසක් දඩ ගැස්ස වී ය. සිරිගුත්ත රජු වෙත ගොස් එක් පැත්තකින් නඩු අසා තීන්දුව දීම නීතියක් නො වන බව කී විට රජු දෙදෙනා ගෙන්වා නැවැත නඩු ඇසී ය. මගේ යහළු ගරහදින්න නිතර මා වෙත පැමිණ ශ්‍රමණ භවත් ගෞතමයන් කිසිත් නො දන්නා බවත්, අපේ ශ්‍රාවකයන් තුන් කාලයේ ම වන දේ මැනවින් දන්නා හෙයින් ඔවුන්ට දන් දී පින්සිද්ධ කරගන්නා ලෙසත් කීවේ ය. කරදර ද කළේ ය.

එනිසා දිනක් දනක් පිළියෙළ කොට තුන්කල් දන්නේ නම් පමණක් ගෙට පිවිසෙත්වා. නැතිනම් නො පිවිසෙත්වායි වැඳගෙන ම කීමි. ඔවුන් අනාගතය නො දැන පිවිස මේ විපත් කරගත්හ. මහජනයා බොරුවෙන් රවටමින් තමන් බුදුයයි බොරු කියති. ගරහදින්නගෙන් රජු විමසූවිට ඒවා එසේම බව පිළිගත්විට දඩය තමාට ම ගෙවීමට නියමවිය. ටික දිනක් උරණ ගතියෙන් පසු වූ ගරහදින්න පළිගැනීමේ අදහසින් යළිත් යහළු වී ය. දිනක් සිරිදත්ත ගරහදින්න අමතමින් නිවටුන් ඇසුරෙන් ඔබට කුමක් ලැබේද? ආර්යයන්ට දනක් දී පින් රැස් කරගන්න යයි කී ය.

එය, කසන තැන නියපොත්තෙන් හීරුවාක් මෙන් වී ය. සිරිදත්ත කළ පරිදි ම ගරහදින්නගේ විශාල නිවසෙහි වලක් කපා, කිහිරි දර පුළුස්සා ගිනි අඟුරුවලින් වළ පුරවා, දානය පිළියෙල කළ සේ රවටා පෙන්වමින් සිරිදත්ත ලවා ආරාධනය කොට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් භික්ෂූන් වහන්සේ සමඟ වැඩම කරවන අවස්ථාවේ ආවේ ය. සිරිදත්ත ලවා කලින් ආරාධනාව කරන විට තමා නිවටුන්ට කළ වැඩේට පළිගැනීම් කළහැකි බව සිරිදත්ත බුදුරජාණන් වහන්සේ දැනුවත් කළ විට ගරහදින්නගේ ක්‍රියාව බුදුරජාණන් වහන්සේ එවෙලෙහි ආවර්ජනය කරන්නේ ඇති තතු සියල්ල පෙනී, මිසදුටු ආරාධනාවක් නිසා, බොහෝ ජනයා රැස්ව බණ අසා ධර්මය අවබෝධ කරගන්නා බව හා යහළුවන් දෙදෙනා සෝවාන් වන බව දැනගෙන ම මෙසේ වැඩම කිරීම සිදුවිය. වැඩම කළ බුදුරදුන් ප්‍රධාන පිරිස් ගරහදින්න විසින් පිළිගෙන තුන්කල් දන්නේ නම් පමණක් නිවෙසට වඩින ලෙස පෙර ආකාරයෙන් ම දැන්වීය. බුදුරජාණන් වහන්සේ යහපතැයි කියා ඇතුළට වැඩියේ අඟුරු වළට සිරිපා දික්කරන විටම වළ බිඳගෙන රිය සකක් පමණ වූ නෙළුම් මල් උඩට ආවේ ය.

ඒ මත්තෙන් අසුන කරා වැඩි භාග්‍යවතුන් වහන්සේ පනවා තිබූ ආසනයෙහි වැඩ සිටිසේක. ගරහදින්නගේ ඇඟ දැවෙන්නාක් මෙන් විය. සිරිගුත්ත ළඟට දිව ගොස් ‘අනේ මා රැකගන්න’ යැයි ඉල්ලීය. සිද්ධිය තේරුම්ගත් සිරිදත්ත, බඳුන් සියල්ල හැර බලන්න. අඩුවක් නො වන්නේ යැයි ඔහු සනසා බුදුරදුන් සමගින් පන්සියයක් භික්ෂූන් ද වළඳවා බත්කිස අවසන් කොට බුදුරජාණන් වහන්සේ මුලින් සඳහන් ගාථා දෙක මාතෘකා කොට දහම් දෙසුයේ දෙදෙනා සෝවාන් වූ හ.

බොහෝ පිරිසකට ධර්මාවබෝධය වුණි. දෙදෙනා සතු සියලු ධනය බුද්ධ ශාසනය විෂයයෙහි වියදම් කළහ. සවස් කාලයෙහි දහම් හමුවට ආ භික්ෂූන් වහන්සේ බුද්ධ ගුණ නම් පුදුම ය. කිහිරි ගිනි අඟුරු බිඳගෙන පියුම් පිපුණේ යැයි කතා කරමින් සිටින විට එහි වැඩි බුදුරජාණන් වහන්සේ අරුම නොවන්න. අතීතයේ ද මෙසේමයයි සිහිකොට බදිරංගාර ජාතකයෙන් ද දහම් දෙසූ සේක.