මේ වස්සාන කාලයයි - 08:
කායගතා සතිය
වර්ධනය කිරීම
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
" මම ද තිසරණය සහිත පන්සිල් ගෙන, පොහොයෙන් පොහොයට පෙහෙවස් සමාදන් ව මේ භික්ෂූන්
වහන්සේලාටත් උපස්ථාන කරමි. එමෙන් ම ධර්මය ඇසුරු කරගෙන මේ, කාලය ම ගෝර වූ සසරෙන්
එතෙරවන්නට හැකි නම් මටත් යහපත් යැ’යි, සිතුවා."
කොසොල් රට මාති නම් වූ සමෘද්ධ ගමක් පැවතුණා. එකල හැට නමක් පමණ භික්ෂූන් වහන්සේලා
බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන ඒ මාති නම් වූ ගමට පිඬු සිඟා වැඩියා. ඒ ගමෙහි
ප්‍රධානියෙක් වූ මාතික නම් වූ උපාසකයන්ගේ මෑණියෝ ඉතාම ශ්‍රද්ධාවන්තයි. ඕ මෙම
භික්ෂූන් වහන්සේලා තම නිවහනට වඩමවා දන් පිළිගැන්වූවා.
දන් පිළිගැන්වීමෙන් අනතුරුව පෙර පරිදිම ස්වාමිනි, ඔබ වහන්සේලා කොහි වඩිනා සේක් දැයි
විචාළා. උපාසිකාවෙනි, වස් විසීමට, පහසු තැනක් සොයාගෙන වැඩම කරන්නෙමුයි පැවසුවා.
භික්ෂූන් වහන්සේලා මෙන්ම, මේ උපාසිකාවන් ද වයසින් පමණක් නොව නුවණින් ද මුහුකුරා
සිටි බැවින් වස් වසන තැන් සොයා යන බව දැන ඒ භික්ෂූන් වහන්සේලාට වන්දනා කොට මේ වස්
තුන් මාසයක කාලය මෙහි වාසය කරන්නට යැයි ආරාධනා කළා. උපාසිකාවෝ තම තමන් මෙසේ සිතන්නට
පටන් ගත්තා. ‘මම ද තිසරණය සහිත පන්සිල් ගෙන, පොහොයෙන් පොහොයට පෙහෙවස් සමාදන් ව මේ
භික්ෂූන් වහන්සේලාටත් උපස්ථාන කරමි. එමෙන් ම ධර්මය ඇසුරු කරගෙන මේ, කාලය ම ගෝර වූ
සසරෙන් එතෙරවන්නට හැකි නම් මටත් යහපත් යැ’යි, සිතුවා. භික්ෂූන් වහන්සේලා කළ ආරාධනාව
පිළිගෙන වස් විසීම පිණිස එහි නතරවුණා. උපාසිකාවෝ වස් විසීමට සෙනසුනක් ද කරවා
දුන්නා. තෙරුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට ඇති අයුරින්
අප්‍රමාදී ව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව, සම්‍යග් ප්‍රඥාව ලබමු කියන අදහස සිතෙහි
දරාගෙන එහි වස් කාලය ගත කළා.
දිනක් මාති උපාසිකාව ගිතෙල්, මී සකුරු ආදිය ගෙන්වාගෙන, විහාරයට ගමන් කළා. භික්ෂූන්
වහන්සේලා එහි වැඩ සිටිනවා නොදැක, අපගේ ස්වාමි දරුවන් වහන්සේලා කොහිදැයි එහි අසල
සිටි මිනිසුන්ගෙන් විචාළා. උපාසක පිරිස සඳහන් කළේ ඝණ්ඨාව හෙවත් ගෙඩිය ගැසූ කල්හි ඒ
භික්ෂූන් වහන්සේලා මෙහි වැඩම කරන්නේ ය යනුවෙනි.
උපාසිකාවගේ ආරාධනාවෙන් උපාසකයෝ ඝණ්ඨාව නාද කළා. භික්ෂූන් වහන්සේලාත් කුමන හෝ නමකට
අපහසුවක් දෝයි සලකා වැඩහුන් තැන්වලින් නික්ම විහාරය මැද මළුවට රැස් වූණා. දෙනමක් එක
මඟින් වැඩම නොකොට වෙන වෙන ම ස්ථානයන්හි සිටිමින් වඩින ආකාරය දැක මේ ස්වාමීන්
වහන්සේලා දබරයක් කරගෙන අමනාප ව සිටින්නේ දැයි සිතා වැඳ, ස්වාමිණී, දබරයක් දැයි
උපාසිකාවන් විසින් භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරනු ලැබුවා. දබරයක් නැත
උපාසිකාවෙනි, භික්ෂූන් වහන්සේලා පිළිතුරු දුන්නා. උපාසිකාව නැවතත් මෙසේ ප්‍රශ්න
කළා. ස්වාමිනි, දබරයක් නැති නම් පිඬු සිඟා වඩින වේලෙහි එකටත්, දැන් වෙන වෙනමත්
වඩින්නට හේතු වූ කරුණු කුමක් දැයි ඇසුවා. උපාසිකාවනි, අපි වෙන වෙන ම හිඳ මහණදම්
පුරන්නෙමුයි වදාළා.
භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් ආකාරයෙන් හුදකලාව සෙනසුන්, ගස්මුල් ඇසුරු කොට තමා
තමා ම එක් තැනක හිඳ බාහිර ආරම්මණයන්ගෙන් බාධාවක් නොකොට ගෙන අපි මහණ දම් පුරන්නෙමු.
සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන්නෙමු. එකට එකතුවීම බාධාවක් විය හැකියි. විවේකය ලැබිය
යුත්තේ නම් මනසින් කෙලෙස් සකස්වීමෙන් බැහැරවීමෙන් ම ලබන විවේකයයි. ඒ විවේකය හුදකලාව
සිටින විට පහසුවෙන් අපට ලැබිය හැකි වන්නේ ය. මෙම කතාව ඇසූ උපාසිකාවන්ගේ සිත් වඩාත්
භික්ෂූන් වහන්සේලා කෙරෙහි පැහැද එමෙන් ම ධර්ම මාර්ගයට නතු වුණා. මෙහි දී උපාසිකාවන්
ස්වාමිනී, මහණදම් නම් කුමක් දැයි විමසුවා. භික්ෂූන් වහන්සේලා මේ කාලය තුළ පමණක්
තමන් වහන්සේලා වඩන කමටහන උපාසිකාවන්ට පැහැදිලි කළා. උපාසිකාවෙනි, දෙතිස් කුණප කොටස්
මෙනෙහි කරමින් කායගථා සති භාවනාවෙහි යෙදෙමින් ති‍්‍රලක්ෂණය මෙනෙහි කරන්නෙමි’යි
සඳහන් කළා.
එනම්, මේ ශරීර පුංජයේ කේසා, නඛා, දන්තා, තචෝ ආදී වශයෙන් දක්වන කෙස් ය. ශාරීරික ලෝම
ය. නිය ය. දත් ය. සම ය. ආදී වශයෙන් පිළිවෙළ කතාවෙන් දෙතිස් කුනපයන් අනුලෝම පටිලෝම
වශයෙන් එනම් මුල සිට අගටත් අග සිට මුලටත් නැවත නැවත මෙනෙහි කරමින්, ඒ කුනප කොටස්
සියල්ල ම අනිච්ච, දුක්ඛ, අනත්ථ නම් වූ ත්‍රිලක්ෂණ ධර්මයට යටත්කොට දකින ආකාරයයි. මෙය
විදර්ශනා මාර්ගයෙහි ආරම්භයක් හැටියට “උදයව්‍ය ඥානය” පහළ කර ගැනීමට අවස්ථාව සලසා
ගැනීමයි. මෙ මගින් මේ ශරීර පුංජය මුල්කොට සකස් වන්නා වූ සක්ඛාය දිට්ඨිය බැහැර කර
ගැනීමට හැකි වන්නේ ය. මේ පුංජය මුල්කොට ඇතිවන්නා වූ රාග, ද්වේෂ, මෝහා දී කෙලෙස්
සංසිඳුවා ගැනීමට හැකිවන්නේ ය.
භික්ෂූන් වහන්සේලා තමන් වඩන්නා වූ කායගතාසතිය පිළිබඳව ඇසූ උපාසිකාව නැවතත්, මෙසේ
ප්‍රශ්න කළා ය. මේ භාවනාව ඔබ වහන්සේලාට පමණක් වැඩීමට සුදුසු දෙයක් දැයි යනුවෙනි.
භික්ෂූන් වහන්සේලාගේ පිළිතුර වූයේ උපාසිකාවෙනි, දුක් නැති කර ගනු කැමැති කා හට
වූවත් මේ දෙතිස් කුනප කොටස් මෙනෙහි කරමින් සිදු කරන කායගතා සතිය වඩා සුදුසු බව ය.
- දීපා පෙරේරා |