Print this Article


වස්සානයයි කඨින චීවර පූජාවයි: කඨින වස්ත්‍ර පූජාව

කඨින වස්ත්‍ර පූජාව

“මයං භන්තේ කම්මං ච කම්ම ඵලං ච සද්ධහිත්වා සංසාර වට්ටදුක්ඛනෝ නිත්ථරණත්ථාය ඉමං කඨිනදුස්සං භික්ඛුසංඝස්ස දේම” යන වාක්‍යය දුතියම්පි, තතියම්පි දෙවැනි තුන්වැනි වරටත් කියා සියල්ලෝ ම අතගසා මහා සාධුකාර මැද සඟසතු කොට පූජා කළහ.

ඉන්පසු අර මහා සංඝයා වහන්සේ විනයානුකූලව දොළොස් රියනක වස්ත්‍රය භික්ෂු නමකගේ උස මහතට ගැළපෙන පරිදි, නූල් ගසා වස් අත්ත – ඇලඅත්ත – නුවා - ජංගෙය්‍ය - ගීවෙය්‍ය - ගණ්ඨිපාස ආදී වශයෙන් කඩ කඩ කොට කපා අතින් ම ගෙත්තම් කිරීමට පටන් ගත්හ. ඒ පිළිබඳ දන්නා කියන තරුණ ගිහි ළමයි ද මේ සිවුරු ගෙත්තම් කිරීමට සම්බන්ධ වූ හ. එනිසා ම උදේ දානය පමණක් නොව දවල් දානය ද පිළියෙළ කොට සිවුරුකම් කරන භික්ෂූන් වහන්සේලාට දායක දායිකාවෝ දන් දුන්හ. ඉර අවරට යත් ම සිවුර මසා නිමකරන ලද හෙයින් කොස් ගස්වල මුල් පොතු – නුග පොතු ගෙන තම්බා තිබූ රස්නය සහිත කහට (පඬු) වතුරෙන් පොඟවා පොඩිකර නිසි පරිදි දෙතුන් වරක් පඬු පොවන ලදී. ඉන් අනතුරු ව තරමක් වේලාගත් සිවුර බෝමු කොළ සහ පොතු තැම්බූ රශ්නය සහිත කහ පාට වතුරෙන් ද සෝදා, මිරිකා, වේලා, පිළියෙළ කරගත් සිවුර එදින රාත්‍රියෙහි ප්‍රථම යාමය ඉක්මෙන්නට කලින්, එනම් රාත්‍රී දහය වීමට පෙර අද වේලාවෙන් නම් රාත්‍රී අට පමණ වන විට එම සිවුර ම ඇඳගෙන මහතෙරුන් වහන්සේ විසින් සියල්ලන්ට ම කඨිනානිශංස ධර්ම දේශනාව පවත්වන ලදී.

කඨින චීවරය පූජා කරද්දී ප්‍රකාශ කළ පාලි පාඨයේ අදහස මෙසේ ය. “ඔකාස මයං භන්තේ”, අවසරයි ස්වාමීනි, මේ පින්කමට සම්බන්ධ වූ අප සියල්ලෝ ම, “කම්මං ච” මෙම කුසල කර්මය ද, “කම්මඵලං ච”, මෙම මහ පින්කමෙන් ලබන කුසල විපාකයන් ද, “සද්දහිත්වා”, හොඳ විශ්වාසයකින් යුතුව. “සංසාර වට්ටදුක්ඛනෝ”, සාංසාරික වශයෙන් ලැබෙන සකල දුක්වලින්, “නිත්ථරණත්ථාය” එතෙරවනු පිණිස “ඉමං කඨින දුස්සං”, කඨිනය පිණිස කැපකිරීම සඳහා මෙම වස්ත්‍රය “භික්ඛුසංඝස්ස දේම” සැරියුත් මුගලන් පරම්පරානුයාත මහා සංඝරත්නයට පූජා කරම්හ. යන වාක්‍යය තෙවරක් ම පවසන්නේ වඩාත් ම ස්ථිර කරවනු සඳහා ය. නැවත එම වචනය වෙනස් නො කරනු සඳහා ය.