Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 40: මහා පරාක්‍රමබාහු රජතුමාගේ රජමාළිගය

මහා පරාක්‍රමබාහු රජතුමාගේ රජමාළිගය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්ෂයේණ

පොළොන්නරුව රාජධානියෙහි ඉතා විශිෂ්ට රජවරු තිදෙනෙක් සිටි බව ඉතා ප්‍රකට ය. එහි ප්‍රථම සිංහල බෞද්ධ රජතුමා වූයේ ඒ වන විට චෝල බලය සම්පූර්ණයෙන් ම පළවා හැර පොළොන්නරුවේ රජ වූයේ මහ විජයබාහු රජු ය.

ඊට පසු රාජ්‍යත්වයට පත්වූයේ මහා පරාක්‍රමබාහු රජතුමා ය. ඉන් පසු රජ වූ නිශ්ශංකමල්ල යන මේ රජවරු පොළොන්නරුව රාජධානියේ ශ්‍රේෂ්ඨ රජවරුන් ලෙස මහාවංශයේ දෙවැනි කොටසේ සඳහන් වී ඇත. මහා පරාක්‍රමබාහු රජතුමා පිළිබඳ ඉතා දීර්ඝ ලෙසින් සඳහන් වන්නේ අතිශයෝක්තියෙන් බව සමහරු කියති. එය සැබැවින් ම සත්‍යයක් නොවේ. මේ රට පෙරදිග ධාන්‍යාගාරය ලෙසට පත් කිරීමේ ගෞරවය හිමි වන්නේ මේ රජතුමාට ය. මහා වැවක් නිර්මාණය කළ මේ රජු නමින් පරාක්‍රම සමුද්‍රය ලෙසින් අදත් දැකිය හැකි ය.

(ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය - 1 සිරිසමන් විජේතුංග, පි. 248 සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ - 2012 )

පොළොන්නරු රාජධානි සමයෙහි ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතාව කියාපාන්නා වූ හොඳම සාධකය වන ආගමික නොවන ගොඩනැඟිලි කිහිපය අතර රජමාළිගාවලට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. මෙහි දී රජවරුන්ගේ වාසස්ථාන ලෙස ඉදි වූ මෙවැනි මන්දිර තුනක නටබුන්

පොළොන්නරුවේ හමු වේ. 1. මහා පරාක්‍රමබාහු රජුගේ රාජ මාළිගයවන විජයෝත්පාය 2. නිශ්ශංකමල්ල රජුගේ රාජමාළිගය, 3. සීතල මාළිගය.

පොළොන්නරුවේ පැරැණි ස්මාරකයන්හි චිත්‍රගත සැරසිලි මෝස්තර - මහාචාර්ය සරත් ඥාණසිරි මල්දෙණිය (පි. 77 - 2016)

විජයෝත්පාය හෙවත් වෛජයන්ත ප්‍රාසාදය

පොළොන්නරුවේ නටබුන් රාජධානිය නැරැඹීමට යන විට ඉතා විශාල වූ නටබුන් ගොඩනැගිල්ල ඈත සිටම දිස්වනු ඇත. මහාපරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1153 - 1186) රජමාළිගය වන්නේ එයයි. මහල් හතකින් යුක්ත වූ නිසා ‘සත්බුමුපාය’ යන නමින් ද එය හැඳින්වේ. මෙම මාළිගයේ බිම් සැලසුම පඬුවස්නුවර (පරාක්‍රමපුරය) ඇති පරාක්‍රමබාහු මාළිගාවේ සැලැස්මට හා පොළොන්නරුවේ තෝපාවැවට අයත් දූපතක ඇති සීතල මාළිගාවේ සැලසුමට බෙහෙවින් සමාන ව, සුළු වෙනස්කම් සහිතව ඉදි කර ඇත.

මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා මේ පිළිබඳ මෙසේ සඳහන් කරයි.

වෛදික දෙවියෙකු වූ ඉන්ද්‍රගේ ප්‍රාසාදයෙහි නාමය අනුව යමින් පරාක්‍රමබාහු රජු ස්වකීය මාළිගය “වෛජයන්ත ප්‍රාසාදය” යනුවෙන් නම් කළේ ය. මෙම මාළිගය පිළිබඳ චූලවංසයෙහි (මහාවංසයේ දෙවැනි කොටසේ) පෙනෙන විස්තරය අනුව අග රජ තෙමේ ගව් ගෙවල් දහසින් හෙබියා වූ විසිතුරු නොයෙක් සිය ගණන් ටැඹින් සැරසුණා වූ කලස් කුළුවන් කුළු ගෙවක් කැටි කළා වූ නන් විසිතුරු ලියකම් හා මල්කම්වලින් දිලිසෙන්නා වූ රන්මුවා මහදොර සුලුදොර හා කවුළු ඇති මොනවට බෙදන ලද බිතු හා හිණි පෙති ඇති සියලු සෘතුයෙහි සුව එලවන්නා වූ රන් මුවා දළකඩමුවා ආදී වූ අහස් මා හැඟි ඇතිරියෙන් යුක්ත වූ නොයෙක් හැඳ දහසින් අනවරතයෙන් හෙබියා වූ අහස් ගඟ හොබනා බවට සිනාසෙන්නාක් බඳු තැලුම් ඇති සඳ රැස් සේ සුදු වූ සතර කොන්හි එලෙන දළමුතු කළඹින් නිතොර අතිශයින් හොබෙනා වූ රන්මුවා මහත් පහන් මාලාවෙන් තෙවුනා වූ මල්දම් සුවඳ දුර හමන සුවඳ අනවරතයෙන් නගන්නා වූ සිරියහන් ගැබින් යුක්ත කළා වූ උතුම් පසතුරු රැව් සුදුසු රැව් වගුරන්නා වූ කුසලයන්ගේ නොමඳ අනුසස් ගුගුරන්නා වූ බඳු ඒ ඒ තැන එල්ලෙන රන් කිකිණි දැලින් යුක්ත වූ විස්කම් දෙව්පිත්හු අසමාන මැවීමක් සමාන වූ පහන් බැව් එළවන විජයොත් නමින් යුත් තමාට වැඩියක් නැති උතුම් වූ සත්බුමු මහ පහයක් කරව්”

ඉහත විස්තරයට අනුව එය අතිශයෝක්තියෙන් කරන ලද ප්‍රකාශයක් බව පැහැදිලි වන නමුදු සත්‍ය නම් එය අති විශාල ගොඩනැගිල්ලක් ද වීම යි. වර්තමානයේ වුව ද එහි මහල් තුනක අවශේෂ දක්නට ලැබෙන අතර මාළිගා සංකීර්ණයෙහි ඇති පිට ගෙවල් හා කුටීර ගණනය කළහොත් මැදුරු දහසකින් එය සමන්විත වූ බවට කෙරෙන විස්තරය නිවැරැදි ය.

මහ පරාක්‍රමබාහු රජුගේ මාළිගය විස්තර කිරීමේ දී මහාවංසයේ දෙවැනි කොටසේ මෙම ශ්‍රේෂ්ඨ නරපතියා විසින් එම යුගයේ දී ගත කරන ලද සුඛෝපභෝගී සහ පවිත්‍ර ජීවිතයට අත්‍යවශ්‍ය වූ චිත්‍ර ශාලා, නෘත්‍ය මණ්ඩප, අතිරේක ප්‍රාසාද වැනි විශාල ප්‍රමාණයක උපකාරක ප්‍රාසාදයන් එයට අනුබද්ධිත ව පැවැති බව ප්‍රකාශ කරයි. මෙය එකල ‘රාජත්වය යනු අර්ධ දිව්‍යමය වූ ත් උත්තරීතර වූ ත් තත්ත්වයකි’ යන්න තහවුරු වන සේ ජනතාවගේ සිත් සතන්හි හැඟීම් උපදවීමට තරම් සමත් ව ඇත.

 (පොළොන්නරුව මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පි. 130 - 131 - 1998)

මෙකල එහි ලී කුළුුණු ගැන සාක්ෂි දක්නට නැත. එහෙත් ඒවා පිහිටි ශාලාවේ පාදම තවමත් දක්නට ලැබේ. ප්‍රධාන ශාලාව හැරුණු විට ශාලාවේ අති විශාල වහලය දරා සිටි කුළුණු 36 ක් දක්නට ලැබේ. මාළිගයේ ඉහළ මාලයන් කරා නැගීම පිණිස පාෂාණයෙන් සෑදු පිය ගැට පෙළකි. මෙකල පවා මාළිගා බිත්ති ඝන බවක් පෙන්නුම් කරයි. සමහර ස්ථානයන්හි දී අඩි 30 ක උසක් අදත් දක්නට ලැබේ. ප්‍රධාන මාළිගය හා සමගම පිටතින් ඇමැතිවරු, ආරක්ෂක නිලධාරීන් සහ මෙහෙකරුවන් උදෙසා සාදන්න ඇතැයි සැලකිය හැකි නිවාස පෙළකි. මෙම මාළිගය පොළොන්නරුවේ ඇති අති දැවැන්ත ගොඩනැගිල්ලක් ලෙස එහි ඇති බිත්තිවලින් පැහැදිලි වේ.