Print this Article


තෙවළා බුදු වදන් අතරින් - 44: ලස්සන වීමේ රහස කුමක්ද?

තෙවළා බුදු වදන් අතරින් 44:

ලස්සන වීමේ රහස කුමක්ද?

" වර්තමානයේ ජීවත් වන්නෙකුට අතීතය ගැන දුක්වීමට අවශ්‍ය නොවේ. වර්තමානය යනු එළඹ සිටි මොහොත යි. අනාගතය යනු වර්තමානයට එළඹීමට ඇති මොහොත යි. එළඹ සිටි මොහොත ට අවධානය යොමුකරන විට තිදොරින් අකුසල ක්‍රියා සිදු නොවේ."

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි, එක්තරා දේවතාවෙකු උන්වහන්සේ වෙත පැමිණ වනයෙහි වෙසෙන, දිනකට, එක් වේලක් පමණක් ආහාර අනුභව කරන, ශාන්ත වූ බ්‍රහ්මචාරීන් මෙතරම් ලස්සන කවර හේතුවක් නිසාදැයි විමසී ය.

දෙවියා ඇසූ පැනය ට පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේ එයට හේතු කවරේදැයි පැහැදිලි කළහ. ඒ අනුව “දෙවිඳ, ඔවුහු අතීතය ගැන ශෝක නොකරති. අනාගතය ගැන බලාපොරොත්තු තබා නොගනිති. වර්තමානයෙන් යැපෙති. එබැවින් ඔවුන්ගේ සම වර්ණවත් ය. දෙවිඳ, නොලත් දේ ගැන ප්‍රාර්ථනා ඇතිකර ගැනීමෙන් ද , ඉක්මගිය දෑ ගැන ශෝක කිරීමෙන් ද යන කරුණු දෙකින් යුක්ත අනුවණ ජනයා කපා දමන ලද බට ගසක් මෙන් වියළීම ට පත් වෙති ” යනුවෙන් තථාගතයන් වහන්සේ දෙවියා ඇසූ පැනයට පිළිතුරු ලබාදුන් සේක.

වන ගත අරණක විසූ බ්‍රහ්මචාරීන් පිරිසක් දුටු, දෙවියෙකු ඇසූ මෙම පැනයට බුදුරදුන් ලබාදුන් පිළිතුර මනෝවිද්‍යාත්මක ය. දෙවියා දුටුවේ එම බ්‍රහ්මචාරීන්ගේ මතුපිට ජීවිතය පමණි. ඒ අනුව දිනක ට, එක් වේලක් පමණක් ආහාර අනුභව කරන, එසේම වන ගතව ජීවත් වන, ශාන්ත වූ බ්‍රහ්මචාරීන්ගේ වර්ණය මෙතරම් සිත්කලු වූයේ කෙසේද? යන ගැටලුව දෙවියා ට ඇතිවිය. එබැවින් ඔහු බුදුරදුන් වෙත ගොස් බ්‍රහ්මචාරීන් මෙතරම් ලස්සන වීමට හේතුව කවරේද? යන්න විමසී ය.

බුදුරදුන් ඔහුට ලබාදුන් පිළිතුර අතිශයින් ම දාර්ශනික මෙන්ම මනෝවිද්‍යාත්මක වූවකි. එම පිළිතුර අනුව වනගතව සිටි මෙම බ්‍රහ්මචාරීහු අතීතය ගැන මෙනෙහි කරමින්, ඉකුත්ව ගිය දෑ පිළිබඳව කල්පනා නොකරති. අතීතය ඉක්ම ගොසින් ය. අතීතයේ සිදු වූ නොයෙක් දෑ ගැන නැවත නැවත කල්පනා කරමින් ඒ සම්බන්ධයෙන් තම මානසික අවධානය යොමු නොකිරීම ඔවුනගේ පිළිවෙත ය. අතීතය ගැන පමණක් සිතීම නොව, අනාගතය ගැන ද, ඔවුහු බලාපොරෙත්තු නොතබති. අනාගතය සම්බන්ධයෙන් ද ඔවුන්ට කිසිදු ප්‍රාර්ථනාවක් නොමැත. අතීතය හා අනාගතය ගැන කල්පනා කරනු වෙනුවට, ඔවුහූ වර්තමානයේ ම සිත පිහිටුවා කටයුතු කරති. වර්තමානයේ ම ජීවත් වෙති. වර්තමානය ම අත්දකිති. එළඹ සිටි මොහොත ගැන පමණක් අවධානය යොමු කරති. එසේ වර්තමානයේ සිත පිහිටුවා ජීවත්වන හෙයින්, මෙම බ්‍රහ්මචාරින්ගේ සමේ වර්ණය චිත්තාකර්ෂණීය යැයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ. ඉක්ම ගිය අතීතය ගැන දුක් වෙමින් හා නොපැමිණි අනාගතය ගැන ප්‍රාර්ථනා ඇති කර ගනිමින් කටයුතු කරන අනුවණ පුද්ගලයා හරිත පැහැ ඇති බට ගසක් කපා දැමූ විට, එය ක්‍රමයෙන් වියළී ගොස් දුඹුරු පැහැ ගන්නාක් මෙන් වියළීමට පත් වෙතැයි තවදුරටත් පැහැදිලි කළහ.

සාමාන්‍ය පුහුදුන් මිනිසාගේ සිත, නිතර දෝලනය වන්නේ අතීත මතකයන් අතර හෝ අනාගත බලාපොරොත්තු හා අපේක්‍ෂා අතර ය. ඔහුගේ පුහුදුන් සිත අතීතයේ කළ, නොකළ හා සිදු වුණු හා සිදු නොවුණු දෑ පිළිබඳ කල්පනා කරමින් අතීතය සමගත් , මෙතෙක් ඉටු නොවූ විවිධ බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවන් ගැන සිතමින් අනාගතය සමගත්, නිතර පැටලී තිබේ. පුහුදුන් මිනිසා සාකල්‍යයෙන් ම කැමැත්තක් දක්වන්නේ වර්තමානයේ එළඹී මොහොතෙහි කටයුතු කරනු වෙනුවට අතීතයේ හෝ අනාගතයේ දෝලනය වෙමින් සිටීම ට ය.

පුහුදුන් මිනිසා, අතීතය ගැන දුක් වෙන අතර අනාගතය ගැන සිහින හා බලාපොරොත්තු තබා ගනී. අතීත ජීවිතය හා සම්බන්ධ විවිධ පුද්ගලයන් හා සිද්ධීන් නැවත නැවතත් මෙනෙහි කරමින් නොකළ යහපත් දෑ ගැන මෙන් ම කළ අයහපත් දෑ ගැන පසුතැවීම නීවරණ ධර්මය කි (කුක්කුච්ච). එය සිත ආවරණය කෙරෙන (නීවරණ), ප්‍රඥාව දුර්වල කෙරෙන (පඤ්ඤාය දුබ්බලී ), දුර්වල මානසික තත්ත්වයකි. බොහෝ දෙනෙකු අතර ගැටුම් ඇතිවීමට, අතීත සිදුවීම් නැවත නැවතත් මෙනෙහි කිරීම හෝ ඒවා ඉස්මතුකොට දැක්වීම හේතු වී තිබේ. කවරෙකුගේ වුව අතීත අත්දැකීම් සාකල්‍යයෙන් ම යහපත් වූ ඒවා නොවේ. එම අත්දැකීම්වල හොඳ නරක මිශ්‍ර වී තිබේ. එම අතීත සටහන් අතර තිබෙන හොඳ නරක අත්දැකීම් කෙරෙහි විවිධ හේතු සාධක බලපා තිබේ. විවිධ අවස්ථාවලට මෙන්ම, විවිධ සංසිද්ධිවලට පුද්ගලයා මුහුණ දෙන ආකාරය වෙනස් ය. එබැවින් අතීතයේ සැරිසරමින් තමා ගැන මෙන්ම අන්‍යයන් ගැනද කළකිරීම හෝ දුකට පත්වීම තම කායික හා මානසික සෞඛ්‍ය පිරිහීමට හේතුවේ. අතීතයේ ඇතැම් අමිහිරි සිදුවීම් මනසේ තදින් පැලපදියම් වීම හේතුවෙන් දරුණු ආකාරයට මානසික අවපීඩනයට ලක්ව, ප්‍රතිකාර ලබන රෝගීන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. එබැවින් තම ජීවිතයේ ඉක්මගිය දෑ ගැන පසුතැවෙමින්, ශෝක වෙමින් කාලය ගත කිරීම බුද්ධ දේශනාව අනුව නිශ්ඵල ය. අර්ථ ශූන්‍ය ය.

අතීතය ගැන පසු තැවීම මෙන් ම, අනාගතය ගැන සිහින මැවීම ද නොකළ යුතුයි. බොහෝ දෙනෙකු අනාගතය ගැන අනවශ්‍ය ආකාරයට කල්පනා කරති. එසේ සිතා අනාගතය සැලසුම් කරති. වර්තමානය මුළුමණින් ම අමතක කොට අනාගතයට සැලසුම් සැදීම බුද්ධිමත් බවේ ලක්ෂණයක් නොවේ. අනාගතයට මුහුණ දීමට අවශ්‍ය පෙර සූදානම අවශ්‍ය ය. එහෙත් අසාමාන්‍ය ආකාරය ට ඉටුකරගත නොහැකි බලාපොරොත්තු ගොන්නක් හිස තබාගෙන සිහින දැකීම නම් යුක්ති සහගත නැත. තමන් ගැන මෙන් ම, තම සමීපතමයන් වන දූ දරුවන්, හිතවතුන් මෙන්ම ආදරය කරන්නන් ගැන තිරසාර අපේක්‍ෂා ගොඩ නැගීම බුද්ධි ගෝචර නොවේ. අස්ථිර ලෝකය තුළ, ස්ථිරව පවතින කිසිවක් නොමැත. සියල්ල සිදු වන්නේ වෙනස්වන ලෝකය ට සාපේක්‍ෂක ව ය. එබැවින් යමක් හෝ යම් කෙනෙකු සම්බන්ධයෙන් දැඩි ප්‍රාර්ථනා, බලාපොරොත්තු , අපේක්‍ෂා තබා ගැනීම බලවත් දුකකට හේතුවක් විය හැකි ය. ප්‍රාර්ථනා අපේක්‍ෂා ඉටු නොවීම නිසා ඇති වන ඉච්ඡාභංගත්වය, මානසික ආතතිය ඇතිවීමට හේතු වේ. එබැවින් අනාගතය ගැන සිහින, බලාපොරොත්තු , අපේක්‍ෂා තබා ගැනීමේ දී සිහිනුවණින් කටයුතු කළ යුතු වේ.

සැබැවින් ම පවතින්නේ වර්තමානය පමණි. වර්තමානයේ ජීවත් වන්නෙකුට අතීතය ගැන දුක්වීමට අවශ්‍ය නොවේ. වර්තමානය යනු එළඹ සිටි මොහොත යි. අනාගතය යනු වර්තමානයට එළඹීමට ඇති මොහොත යි. එළඹ සිටි මොහොත ට අවධානය යොමුකරන විට තිදොරින් අකුසල ක්‍රියා සිදු නොවේ. එවැන්නෙකුට නරක අතීතයක් ඉතිරි නොවේ. අතීතය තීරණය වන්නේ වර්තමානය අනුව ය. අතීතයට යන්නේ වර්තමානය යි. එබැවින් වර්තමානයේ ජීවත් වන්නාගේ ජීවිතය සුන්දර එක කි.

ඉහතින් දැක්වූ පරිදි වන ගත බ්‍රහ්මචාරීන්ගේ ලස්සන වීමේ රහස මානසික සන්තෘප්තිය මිස අනිකක් නොවේ. ඔවුහු අතීතය ගැන සන්තාපයට, වේදනාවට පත් නොවු හ. එසේ ම අනාගතය ගැන දැඩි බලාපොරොත්තු තබා ගෙන සිහින නොමැවූහ. එනිසා අනාගතය ගැන බියක් ද, සංකාවක් ද ,තැති ගැනීමක් ද නොවී ය. එළඹ සිටි මොහොතෙහි ම ජීවත් වූ හ. ඔවුන්ගේ ලස්සන වීමේ රහස ආහාර පාන නොවේ. ඔවුන් යැපුණේ දිනකට එක් වේලකින් පමණි. බොහෝ දෙනෙකු කල්පනා කරන්නේ ආහාර පාන ගැනීමෙන් පමණක් ම රූමත් සිරුරක් ලැබිය හැකි බව යි. එහෙත් ඒ සඳහා මානසික පවිත්‍රත්වය ද අත්‍යවශ්‍ය බව බුද්ධ දේශනාවෙන් පැහැදිලි වේ. අතීතයට ත්, අනාගතයට ත් ගමන් කරමින් සිත් තැවුල් ඇතිනොකරගෙන වර්තමානයේ ජීවත් වීම බුදු සව්වන්ගේ පිළිවෙත යි. එහෙයින් ඔවුහු දුටුවන් සිත් පහදවන රූ සෝභාවෙන් යුක්ත වෙති. ලස්සන වීමේ ආධ්‍යාත්මික රහස එය යි.