ත්‍රිපිටක දහම-09:
අනිත්‍ය ගැඹුරු සංකල්පයක්
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති,
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
කොත්මලේ
කුමාර කස්සප හිමි
කෙනෙක් දුක අවබෝධ කරගන්නවා කියනවානම්, එයා දුකයි, කියන්නේ මේ ජීවිතයේ විඳින වේදනාව
ගැන නො වෙයි. එහෙමනම් එයා තේරුම් ගන්නට ඕනේ ඇසට පෙනෙන හැම තැනක දී ම, කනට ශබ්ද ඇසෙන
හැම තැනක දී ම, නාසයට ගඳ සුවඳ දැනෙන සෑම තැනක දී ම , දිවට රස දැනෙන සෑම තැනක දී ම,
කයට ස්පර්ශය දැනෙන හැම තැනක දී ම පවතින්නේ පෙළීම් සහගත බවයි. හේතුවට පවතින්නට බැරි
බව යි. එවිට මෙය අනිත්‍ය ලක්ෂණය යනුවෙන් සඳහන් කරනවා. ඇතැම් වේලාවට මෙය ලොවේ බොහෝ
දෙනෙක් වරද්දා ගන්නා දෙයක්. ඒ තමයි, අප අනිත්‍ය යනුවෙන් සිතාගෙන ඉන්නේ, දෙයක්
නැතිවන බව යි. තියෙන දෙයක් නැතිවෙලා යනවා, මෙය අනිත්‍ය යි. පුටුවක් තිබුණොත් කැඩී
බිඳී යනවා මෙය අනිත්‍ය යි, මනුස්සයෝ උපත ලබා මිය යනවා අනිත්‍ය යි. හැබැයි, එයත්
අනිත්‍යයක් තමයි, මේ ලෝකය තුළ. එහෙත්, බුද්ධ ශාසනයේ නිවන් දකින්නට හේතු වන, අවබෝධ
කරන්නට තිබෙන අනිත්‍ය, ගේ දොර කැඩී බිඳි යාම, මිනිසුන් උපත ලබා මිය යන බව නො වෙයි,
ඒ අනිත්‍ය දුටුවාට අපට නිවන් දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙමනම්, මේ අනිත්‍ය
ඉතාම ගැඹුරු සංකල්පයක්.
මෙහි ගැඹුර තේරුම් නො ගන්නා අය, තේරුම් ගන්නට පුළුවන්කමක්, වැඩුණු ඥාන ශක්තියක්,
නැති අය ඇතැම් වේලාවට අපට පේනවා, මෙයට වැරැදි අර්ථ කථන සපයනවා. එනම්, ‘කැමැත්ත ඉෂ්ඨ
නොකරනකම නිසා අනිත්‍ය කියනවා, නැත්නම් මේක අනිත්‍ය නො වෙයි ,අනිච්ඡ වෙන්නට ඕනේ
යනුවෙන් මහාප්‍රාණ’ඡ’ වෙන්ට ඇති යනුවෙන් පවසනවා. එනම්, අනිච්ඡ වෙලා තියෙන්නේ කැමැති
සේ පවතින්නේ නැහැ, කැමැත්ත ඉෂ්ඨ කරන්නේ නැහැ අර්ථයකින්. මෙය අනිත්‍ය යනුවෙන් සඳහන්
කළොත් වැරැදි බවට මිත්‍යා මතවාදයක් ද ඇති කරනවා. ඇත්තටම මෙය අප ටිකක් විමසා
බැලුවොත්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ‘යදමිච්චං තං දුක්ඛං’ යමක් අනිත්‍ය නම්,
එය දුක යි යනුවෙන්. ඇතැම් වේලාවට නුනුවණින් ධර්මය මෙනෙහි කරන කෙනෙකුට එනම්,
වැරැදියට ධර්මය අල්ලා ගන්නා කෙනෙකුට සිතෙන්නට පුළුවන්. අනිත්‍ය නිසා දුකයි නම්,
හිසේ කැක්කුමක් තිබුණොත්, එය අනිත්‍ය වුණොත් දුක එනවා ද යනුවෙන්. හිසේ කැක්කුම
අනිත්‍ය වුණොත් හොඳයි, පිළිකාවක් තිබී පිළිකාව අනිත්‍ය වුණොත් එවිට දුක් නැහැනේ,
සැපයි නේ, යනුවෙන්. එහෙම නම් සැප අනිත්‍යයක් ලොවේ තියෙනවා, 'යදමිච්චං තං දුක්ඛං'
යනුවෙන් සඳහන් කරන්නේ යමක් අනිත්‍ය නම් එය දුකයි යනුවෙන් අපට ගන්නට බැහැ. මෙය
කැමැති සේ පවතින්නේ නැති එක යනුවෙන් සිතුවොත් නිවැරැදි යි යනුවෙන් ධර්මය ගැන
නොදන්නා කෙනෙක් කල්පනා කරන්නට පුළුවන්.
අප මෙය විමසා බැලුවොත්, ඇත්තටම පේනවා, කුමක් ද? අනිත්‍ය දුක යනුවෙන්, එනම්, එතැන
ඇත්තටම තේරුම් ගන්නට ඕනේ, ‘යම් අනිච්ඡං තං දුක්ඛං’ මෙය යි සන්ධි කර තිබෙන්නේ ‘යද
මිච්ඡං තං දුක්ඛං’ යනුවෙන්. යමක් අනිත්‍ය නම් එය දුක යි යනුවෙන්. දැන් අනිත්‍ය දේ
දුකයි යනුවෙන් සඳහන් කරන්නේ හිසේ කැක්කුම නැතිවෙලා යන තැනකින් නො වෙයි. එහෙම
නැතිනම් පිළිකාව නැතිවෙලා යන තැනකින් නො වෙයි. අප යාබද නිවෙස් හිමියා සමග තරහ යි
නම්, ඒ මනුස්සයාගේ නිවස කැඩී බිඳිී යාම සතුටුයි කියන තැන නො වෙයි මෙලෙස සඳහන්
කරන්නේ. ‘යද මිච්ඡං තං දුක්ඛං’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ,
අනිත්‍ය කියන දේ ඉතාම ගැඹුරු දෙයක් බව යි. යමක් අනිත්‍ය නම්, ඒකම දුක්ඛ ධර්මයක්.
ස්කන්ධ ධර්මතා ටික මේ මොහොතේ හටගෙන, මේ මොහොතේ නැතිවෙලා යන දෙයක්. අප පැවසුවොත්,
ඔබට ඇසට රූපයක් පේන තැනක ඇස සහ රූපය තිබෙන තැන රූපස්කන්ධය ද, ඒ ගැන ඇතිවෙන
වේදනාත්මක බවට වේදනාස්කන්ධය ද , හඳුනන බවට සංඥා ස්කන්ධය යනුවෙන් ද , ඒ ගැන සිතන කමට
සංස්කාරස්ඛන්ධය යනුවෙන් ද, දැනගන්නාකමට විඤ්ඤාණස්කන්ධය යනුවෙන් ද , සඳහන් කරනවා.
ඔබ ඉදිරිපසින් ඇති ගසක් යනුවෙන් දැනගන්නා තැනක දී අප දන්නවා, මෙතැන තිබෙන්නේ
උපාදානස්ඛන්ධ පංචකයක් බව. එවිට රූප උපාදානස්ඛන්ධය, වේදනාඋපාදානස්කන්ධය, සංඥා
උපාදානස්ඛන්ධය, සංඛාර උපාදානස්ඛන්ධය, විඤ්ඤාණඋපාදානස්ඛන්ධය, වෙයි. මෙහි ගස වුණේ
කුමක්ද යනුවෙන් සඳහන් කළොත්, රූප උපාදානස්ඛන්ධය ගස නො වෙයි. අපට හටගෙන නිරුද්ධ වෙන
ස්කන්ධ ධර්මතා ටිකක් එහි තිබෙනවා. වර්ණ සටහන හටගෙන නිරුද්ධ වෙන දෙයක්. ඇස හටගෙන
නිරුද්ධ වෙන දෙයක්. එහෙම නම්, අපට ඒ ගස නැවත බලන්න පුළුවන්කමක් ඇත්තේ නැහැනේ. එවිට
අපට පේනවා, ගස පේනවා යනුවෙන් දැනගන්නා තැන දී පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිව
නැතිවෙලා යන ධර්මතා ටිකක් ඇති බව.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |